සන්නිවේදන සංවාද | සිළුමිණ

සන්නිවේදන සංවාද

අහගෙන හිටිය තමයි,

ඒත් මෙලෝ දෙයක්

තේරුණේ නැහැ

‘අහගෙන ඉන්නම් වාලෙ අහගෙන හිටියා. ඒත් මට නම් සංසාරේ දෙයක් තේරුණේ නෑ,’ මම මගේ ගුරුතුමාට කීවෙමි.

‘ඉතින් පුදුමයක් නෙවෙයි, සංසාරේ තේරෙන්නෙ නෑ නෙවේ නම්.’

‘නෑ මම කිව්වේ මට කිසි දෙයක් තේරෙන්නේ නෑ කියල.’

‘ආ ඒක මිසක්. ඒ කියන්නේ ඒ මනුස්සයා කතා කරපු කිසි දෙයක් තේරුණේ නැහැ කියල නේද?

‘අන්න හරි. ඒකට කියන්නේ කුමක් හෝ බාධකයක් ඇති වෙන්නට ඇති කියල. අපි බලමු. මොකක්ද සිද්ධ වුණු බාධකය කියල.’

‘මට මිනිහ කතා කරන කොට භාවිතයට ගත්තු සමහරක් වචන තේරුණේ නෑ.’

‘හරි වචන තේරුණේ නැත්තේ ඇයි බලමු.’

‘ඒ වචන අපට නුහුරු වචන වගයක්.’

‘ඒ කියන්නේ පාරිභාෂික වචන ද?’

‘වෙන්න පුළුවන්.’

‘වෙන මොන වචන ද?

‘ඉංග්‍රීසි සිංහල මිශ්‍ර කරපු වචන.’

ඒ කියන්නෙ පුරුද්දපු වචන.’

‘අන්න හරි.’

‘එතකොට අහන් හිටිය ඔබට මොකද වුණේ? අර­්ථය තේරුම් ගැනීම අපහසු වුණා නේ ද?’

‘අන්න හරි.’

‘අපි ඒකට කියන්නේ අර්ථ බාධක සිද්ධ වුණා කියල.’

‘මේවා හුදෙක් භාෂාත්මක ගැටලු විතරක් නෙවේ. සන්නිවේදන බාධක කියලයි. අපට උගන්වල තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සන්නිවේදන බාධක දෙකක් තිබෙන බවයි උගන්වන්නේ.’

‘මොනවද ඒ දෙක?’

‘පළමු බාධකය තමයි. අර්ථ බාධක (Semantic Noise). දෙවැනි බාධකය තමයි මාධ්‍ය බාධකය (Channel Noise). අර්ථ බාධක ඇති වීමට හේතු කීපයක්ම තිබෙනව. සමහරු භාවිතයට ගන්නා වදන්, යෙදුම්, සංකල්ප, කියමන්, ප්‍රකාශන, නුහුරු නුපුරුදුකම් ඇති නිසා ප්‍රකාශ කිරීමට වෑයම් කරන දේ නිසි ලෙස ප්‍රකාශයට පත් වන්නේ නැහැ. ඒ නිසා අර්ථය (meaning) ගිලිහෙනවා. අර්ථය ගිලිහෙනවා විතරක් නොවේ. බාගදා අර්ථය විකෘති වෙනවා. ඒ සමගම කුමක්ද මේ ප්‍රකාශ කරන්නේ කියන කාරණය වටහා ගැනීමට අපහසු වෙනවා.’

‘එතකොට මාධ්‍ය බාධක මොනවාද?’

‘අපි කියමු අපි කටින් යම් යම් වචන පාවිච්චි කොට බාගදා අපේ උච්ඡාරණ අපහසුකම් නිසා ඇතැම් වචන ගිලිහී යනවා. වචන වල අකුරු ගිලිහී යනවා. ඒවාට අපි කියන්නේ වාචික අපහසුකම් (verbal defects) කියල. ඒ වාගේම තමයි අප හමුවේ තිබෙන ජනමාධ්‍ය වල තාක්ෂණික අපහසුකම් (technological defects). දැන් බලමු පුවත්පතක, පොතක, වෙනයම් ලේඛනයක, මුද්‍රණ දෝෂ තිබුණොත් මොකද වෙන්නේ ? අපට අභිමත කියවීම වටහා ගැනීම අපහසු වෙනවා. වෙන වෙන අර්ථ බිහි වෙන්නට පුළුවන්. පුදුම බාධක ඇති වෙන්නට පුළුවන්. ඒ වාගේම ශබ්ද මාධ්‍යයක් වන ගුවන්විදුලිය ගත්තොත් නිසි ලෙස ශබ්දය විකාශනය නුවුණහොත් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ ශබ්දය විකෘති වුණොත් මොකක්ද වෙන්නේ?

ශබ්දය කනට විතරක් නොවේ. හිතටත් බාධාවක් වෙන්නට ඉඩ තියෙනවා. ගීතයක් වාදනය කරන කොට ඒ ගීතය නිසි ලෙස ඇසෙනවා වෙනුවට එකම තැන යළි යළිත් ඇහුණොත් මොකද වෙන්නේ ගීත රසාස්වාදනයට බාධාවක් ඇති වෙනවා.

ඒ විතරක් නොවේ දෘශ්‍ය මාධ්‍යයත් (visual medium) ගන්න පුළුවන්. අප චිත්‍රපටයකින් හෝ රූපවාහිනියකින් හෝ දකින රූපයක් එක්කෝ බොඳ වෙලා පෙනෙන්න පුළුවන්. ඒත් නැත්නම් එක පිට එක මිශ්‍ර වෙලා පේන්නට පුළුවන්. එවිට ප්‍රේක්ෂක අපට සිදුවන්නේ කුමක් ද? දෘශ්‍ය අර්ථය වටහා ගැනීම අපහසු වෙනවා.

 

වටහා ගත යුතු ය

ඔබ පවසන යමක්

මැනැවින් පැවැසේ ද?

වටහා ගතු යුතු ය

ඔබ ලියන යම් දෙයක්

මැනැවින් ලියැවිණි ද?

වටහා ගත යුතු ය

ඔබ දකින යම් රුවක්

මැනැවින් පෙනුනේ ද

නොඑසේ නම් ඔබෙන් සිදු වුණේ බාධකය

ලොව පුරා උගන්වන

සන්නිවේදන දහම

එය නොවෙද?

Comments