විදුලි සෝපානයක් බිලිගත් මහනුවර ජීවිත දෙකක් | සිළුමිණ

විදුලි සෝපානයක් බිලිගත් මහනුවර ජීවිත දෙකක්

වාසනා ගොඩනැගිල්ල

- තුට්ටුවකටවත් මායිම් නොකළ සේවක සුරක්ෂිතතාව
- අයිතිකරුවන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ බවට චෝදනා

තිදෙනෙකුට මරු කැඳවමින් මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටී මාසයක් ගත වන්නට මත්තෙන් මහනුවර රජපිහිල්ල මාවතේදී තවත් ඒ හා සමාන ඛෙදවාචකයක් සිදුවිය. ඒ නිමි ඇඳුම් අළෙවිසැලක නව ඉදි කිරීම් කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ බිම් මහළේ ඇති ගබඩා කාමරයට නිමි ඇඳුම් ගෙන යෑමට තාවකාලිකව සකස්කර තිබූ සෝපානයක් හා සමාන කේබලයකින් ක්‍රියාත්මක යකඩ හා ඇලුමිනියම් වලින් සකස් කරන ලද තට්ටුවක තබා සිමෙන්ති මිටි හයක් පහළට රැගෙන ඒමට ගිය අවස්ථාවේ කේබලය කැඩී යාමෙන් මේ පුද්ගලයන් දෙදෙනාත් සමඟ එය පහළට වැටීම නිසා ඔවුන් මරණයට පත්ව තිබිණි. මෙම සිදුවීමෙන් මරණයට පත්ව තිබුණේ ඔගස්ටාවත්තේ පදිංචි ඒ. ජී අරවින්ද (54) හා කටුගස්තොට උඩුවාවල පදිංචි උපාලි ජයරත්න (56) නැමැති දෙදෙනායි. 

වෘත්තියෙන් පෙදරේරුවකු වන අරවින්දගේ පුතා හා දියණියන් දෙදෙනා විවාහ වී සිටියත් තාමත් පවුල් බර කරට ගෙන කටයුතු කරන්නේ ඔහුය. දින කිහිපයක් වැඩක් නොමැතිව නිවසේ සිට අරවින්දව එම ස්ථානයේ වැඩට කැඳවාගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ පුත් අමිත් කුමාරය. සිද්ධිය වූ දින අදාළ නිමි ඇඳුම් අළෙවි සැළ ආසන්නයේ නිවසක කම්කරු වැඩක් කරමින් සිටි අමිත් සිද්ධිය මෙසේ විස්තර කළේය. මම වැඩ කරමින් ඉද්දී තාත්තා වැඩ කරපු පැත්තෙන් ලොකු ශබ්දයක් ආවා. උඩක ඉඳන් බැරල් එකක් බිමට වැටෙනවා වගේ හඬක් ආවේ.මම දුවලා ගියා ඒ පැත්තට.තාත්තා වැටිලා හිටියා. මම ත්‍රීවීල් එකකට දාගෙන තාත්තගේ පපුව අතගගා ඉස්පිරිතාලෙට අරන් ගියා. එයා කතා කළේ නැහැ; හයියෙන් හුස්ම ගත්තා. ඩොක්ටර් බලලා කිව්වා තාත්තා මැරිලා කියලා. තාත්තා එතැන වැඩට ගිහින් දවස් දෙකයි. තාත්තා එක්ක මැරුණ උපාලි මගේ යාළුවෙක්. එයා තමයි මට කිව්වේ මෙතන වැඩ තියෙනවා බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා. වැඩක් නැතුව හිටිය තාත්තා මගෙත් එක්කම උදේ එතන්ට ගියා. එදා වැඩකරලා එනකොට මම මොරගොල්ලේ බිරිඳගේ ගෙදර ගියා. එයාට ළමයෙක් ලැබෙන්න ඉන්න නිසා එයාගේ අම්මා ළඟ මේ දවස් වල ඉන්නේ. සිද්ධිය වුණ දවසේ මම වැඩට අාවේ බිරිඳගේ ගෙදර ඉඳලා. තාත්තා උදේ වැඩට ඇවිත් හිටියා. මම කතා කරලා පහළ මම වැඩකරන තැනට ගියා. එතන වැඩකරන කොට තමයි ලොකු ශබ්දයක් ආවේ. 

තාත්තා එක්ක වැඩ කරමින් සිටියදී මියගිය උපාලි මගේ හිතවතෙක්. එයා මේ ආයතනයේ කම්කරුවෙකු ලෙස සේවය කරනවා. සමහර දාට රෑ මුරකරන වැඩෙත් කරනවා. එයා කිව්වා පොඩි වැඩක් තියෙනවා බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා. තාත්තා වැඩක් නැතුව ගෙදර හිටපු නිසා මම තාත්තට කිව්වා මෙහෙම වැඩක් තියෙනවා යමු කියලා. එ් වැඩේට ගිහින් දෙවැනි දවසේ තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වුණේ. අමිත් කුමාර වැඩිදුරටත් පැවසුවේය.

අදාළ ගොඩනැගිල්ලේ සිව්වන මහළ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ බැවින් ඉදි කිරීම් සඳහා අවශ්‍යය භාණ්ඩ එම ස්ථානයේ බා ගැනීමෙන් පසු පහළට ගෙන ඒමට කේබලයක් ආධාරයෙන් ක්‍රියාත්මක තාවකාලික සෝපානයක් තිබේ.මියගිය පුද්ගලයින් දෙදෙනා සිව්වන මහලේ සිට මෙම සෝපානයට සිමෙන්ති මිටි හතරක් පටවා ඔවුන්ද එහි නැඟී පහළට එමින් සිටියදී එය කඩාගෙන වැටී ඇත. එම අනතුරින් මියගිය උපාලි අදාළ නිමි ඇඳුම් වෙළෙඳ සැළේ වසර හතක පමණ කාලයක් සේවයකර තිබේ. ඔහු තිදරු පියෙකි. උපාලිගේ බිරිය වන ධර්මවති තම සැමියාගේ වියෝව සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළාය. පසුගිය 16 වැනිදා අහළ පහළ අය මට කතා කරල කිව්වා මහත්තයාට හාට් ඇටෑක් එකක් ඇවිත් නුවර ඉස්පිරිතාලෙ ඉන්නවා යමු බලන්න කියල. පස්සේ මම අපේ ඥාතින් කිහිප දෙනෙක් එක්ක ගියා. එහෙම ගිහිල්ලා රෝහලට ගියේ නැහැ. මහත්තයා වැඩකරපු ආයතනයට ගියා. එහිදී මම දැනගත්තා එයාට කරදරයක් වෙලා කියල. මට මහත්තයා බලන්න දුන්නේ නැහැ. මහත්තයා එදා 16 වැනිදා වෙනදටත් කලින් රස්සාවට ගියා. මමත් ඉන්නේ ලෙඩින්. පොඩි පුතාටත් නිතර නිතර හතිය හැදෙනවා. අපේ මහත්තයා කවදාවත් පැනඩෝල් පෙත්තක් වත් බීපු කෙනෙක් නෙමෙයි. එයා දරුවන්ට උගන්වන්න තමයි හැම කැප කිරීමක්ම කළේ. ඉතින් දැන් අපි අසරණ වෙලා ඉන්නේ. ලොකුපුතා තාත්තා මියගිය දවසෙත් උසස් පෙළ විභාගෙට ලිව්වා. බාල පුතා මේ පාර සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නේ. දරු තුන්දෙනා ගේ අනාගතය ගැන තමයි හිතන්න වෙලා තියෙන්නේ. ලොකු දුවට ඉක්මනින් රැකියාවක් ලැබුණොත් අපිට යම් සහනයක් ලැබේවි කියල හිතනවා.

අවධානමට පෙර සූදානම යැයි කියමනක් තිබේ. අවධානම් ස්ථාන වල රජකාරී කරන අය තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුුතුය. අවාසනාවකට ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නොමැත. යතුරුපැදියක යන පුද්ගලයා ආරක්ෂිත හිස් අාවරණයක් පළඳින්නේ පොලීසියට අසුවේ යැයි කියන බිය නිසා මිස අනතුරක් වුවහොත් තමන්ගේ හිස බේරා ගන්නට හැකිවෙතයි යන විශ්වාසය නිසා නොවන්නේය. ලෝකයේ බොහෝ රටවල ආරක්ෂාව සහතික කර නොගෙන අවධානම් වෘත්තීන්හි නිරත වන්නට අවසරයක් නැත. අරවින්ද හා උපාලි අඩි පනහක හැටක පමණ උසක සිට අධික අවධානමක් සහිතව සිමෙන්ති මිටි හතරක් පහළට ගෙන ඒමට ගොස් අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ ඔවුන්ගේද ඔවුන්ට අදාළ කාර්යය පැවරූ පුද්ගලයන්ගේද නොසැලකිල්ලේ ප්‍රතිඵලයක් නිසාය. මෙරට මේ ආකාරයෙන් සිදුවූ පළමු අනතුර මෙය නොවන්නේය. සේවකයන් තමන්ගේ ආරක්ෂාව අවධානමට තබා කටයුතු කරද්දී බලධාරීන් එම වරද නිවැරදි කරන්නට උත්සහ නොකර තවත් දෑස් පියා සිටියහොත් ඉදිරියේදී තවත් ජීවිත මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස අපට අහිමි වනු ඇත.


එස්. ජී. විජේ­රත්න - කටු­ග­ස්තොට
ඡායාරූප - රුවන් මීගම්මන

Comments