රට මුළා කළ ගානියාට නීතිපතිගෙන් පාඩමක් | සිළුමිණ

රට මුළා කළ ගානියාට නීතිපතිගෙන් පාඩමක්

ශ්‍රී ලංකාවත් රජයත් අපහසුතාවට හා අපකීර්තියට පත් කිරීම ගැන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට පසුගිය 22 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හරහා අධි චෝදනා බාරදීමට නීතිපතිවරයා විසින් කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාව අප කීර්තියට පත් කළ මේ කතාව දිග හැරෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

ඒ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකාවක එම මාසයේ 25 වැනිදා පැහැරගෙන යාමක් සම්බන්ධව වාර්තාවීමත් සමඟය. විනාඩි කිහිපයක් ඇතුළත එය ශ්‍රී ලංකාව පුරාම පැතිර ගිය අතර තවත් විනාඩි කිහිපයක් ඇතුළත බී.බී.සී. ඇතුළු සියලු විදෙස් මාධ්‍ය ඔස්සේ එම සිදුවීම වාර්තා කෙරිණි. එය සමස්ත ශ්‍රී ලංකාවටම කළු පැල්ලමක් වනු ඇති බවට ඒ මොහොතේම සමාජ ක්‍රියාකාරීන්, දේශපාලඥයින් මෙන්ම ආගමික නායකයෝද පැවසූහ. එම නිසා වහාම ඒ සම්බන්ධව සොයා බලා කටයුතු කරන ලෙසට රජයට බලපෑම් ආවේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිල්ලකින් මේ කතාව ආරම්භ විය. තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා වූ රාහුල් ඉන්බැජ් නොවැම්බර් 27දා කළ පැමිණිල්ලේ සඳහන් වූයේ තම සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් බම්බලපිටිය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ලිංගික හිංසනයට ලක් කර ඇති බවයි.

දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට ගිය රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගැන ප්‍රශ්න කරමින් ඇයගේ ජංගම දුරකථනය බලෙන් පරීක්ෂා කළ බවත්, එම පැමිණිල්ලෙන් කියැවිණි. මෙය ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා ඇදී යාමට තුඩු දිය හැකි බැවින් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස රජයෙන් පොලිසියට, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

ගානියා විසින් පොලිසියට සිදු කළ ප්‍රකාශයේ සඳහන් වූයේ තමාගේ දියණියකගේ පාසල වන බම්බලපිටියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරු දෙගුරු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදී තමා පැහැර ගත් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීය. ඒ අනුව එක් කණ්ඩායමක් පාසල හා සම්බන්ධ සිදුවීම ගැන විමර්ශනය කරන ලදී. තවත් පරීක්ෂණ කණ්ඩායමක් සීසීටීවී කැමරා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. මේ අතර ගානියාගේ පසුබිම පිළිබඳ විමර්ශනය තවත් කණ්ඩායමක් විසින් සිදු කරන ලදී. ගානියාට හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට වැරැදුණේ එවිටය. පොලිසියට ගල්මුල් කොතරම් ආවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු සිදුවීම් සුළු සංඛ්‍යාවක් හැරෙන්නට පොලිසියට බරපතළ අපරාධ විමර්ශනය නොකිරීම සම්බන්ධ දෝෂ දර්ශන එල්ල වී නැත. බහුතර අපරාධකරුවන් අදාළ සිදුවීමට වැඩි කාලයක් යන්නට මත්තෙන් නීතිය හමුවට ගෙන එන්නට පොලිසියට, විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇත. එවන් හැකියාවන් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඟපෑම් කරන්නට ගානියා තවමත් ආධුනික බව පෙන්වමින් ඇයගේ නාටකයේ පිටු එකින් එක දිග හැරුණි.

එදින තම දියණියගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමට ගිය බව ගානියා පැවසුවද එදින එම විශේෂ රැස්වීමට පැමිණ ඇත්තේ මවුවරුන් 8 දෙනකු පමණි. එම රැස්වීම කැඳවූ පන්ති බාර ගුරුවරියගේ ප්‍රකාශයට අනුව එම දෙමාපියන් අටදෙනාගෙන් කිසිවකු තානාපති කාර්යාලයක සේවය කරන්නන් නොවේ. පාසලේ ලේඛනවලට අදාළව තානාපති කාර්යාලයන්හි සේවය කරන දෙමාපියන් පිළිබඳව විමර්ශනයේදී ගානියා බැරිස්ටර් ගැන හෙළි විය. ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහායක සංක්‍රමණික නිලධාරිනියක බව තහවුරු විය.

ඇයගේ ජංගම දුරකථන අංක ඔස්සේ කළ විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය විය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී පැහැරගත් බව කියවුණද ඒ අවට සීසීටීවී කැමරා හයක දර්ශන පරීක්ෂා කළද එවැනි සිද්ධියක් එම කැමරාවන්හි සටහන්ව තිබුණේ නැත.

ගානියා පැවසූ කරුණු ඔස්සේ විමර්ශන කටයුතු මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගානියාගේ ජංගම දුරකථනයේ දත්ත හා එහි සංඥා ඔස්සේ විමර්ශනය කර ඇය පැහැර ගත් බව කියන නොවැම්බර් 25 දින සවස 3.15ට ස්විස් තානාපති කාර්යාලය හෝ අවට ප්‍රදේශයක සිට ‘ඌබර්‘ ටැක්සියකට කතා කර ඇති බව තහවුරු කර ගන්නා ලදී. අදාළ ඌබර් ටැක්සි රියැදුරුගෙන් රහස් පොලිස් කණ්ඩායම ප්‍රශ්න කිරීම හමුවේ තවත් තොරතුරු තහවුරු කර ගන්නා ලදී. ඒ අනුව ගානියාගේ පැමිණිල්ල සාවද්‍ය ලෙස සැලකිය හැකි කරුණු අනාවරණය විය.

ගානියා ගුරු දෙගුරු රැස්වීමට ගිය බව පැවසුවද ඇය බම්බලපිටිය, පැල්මයිරා නිවාස සංකීර්ණය අසලින් 3.36 ට අදාළ ඌබර් රථයෙන් බැස ඇති බවද අනාවරණය විය.

එහිදී ඇය නිවාස විස්සකින් යුත් පැල්මයිරා මහල් නිවාසයේ අංක 20, 2/2 නිවසට ගොස් තිබේ. එහි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරුවරියක වූ සෙල්වරාජා නම් තැනැත්තියක් පදිංචිව සිටී. ඇය හමුවීමෙන් පසුව ගානියා සිය සැමියා වූ ප්‍රදීප් එල්මෝ වෙත පස්වරු 4.58ට වට්ස්අප් දුරකථන ඇමතුමක් ලබා දී බව විමර්ශනයේදී හෙළි වී තිබේ. සැමියා සමග කතා කළ ඇය එම නිවසින් පිටවන්නේ පස්වරු 5.01ටය.

ඒ අනුව පැය 1ක් හා විනාඩි 25ක් අදාළ ගුරුවරියගේ නිවසේ සිටින ඇය ගුරුවරියත් සමඟ පැමිණ ත්‍රිරෝද රථයක් නවතා ගන්නට උත්සාහ දරා තිබෙන බව පරීක්ෂණවලදී හෙළි විය.

ත්‍රිරෝද රථයක් නවතාගත නොහැකි වූ නිසා වැල්ලවත්ත දෙසට ඇවිද ගොස් කොළ පැහැති ත්‍රිරෝද රථයකට ඇය නඟින අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණි. ඒ පස්වරු 5.08 ටය. විනාඩි 30කින් ඇය පදිංචි මාලිගාකන්ද නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබේ. මේ පැහැර ගැනීමේ කතාව ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීමට ගොතන ලද්දක් බව හෙළි වූයේ එහිදීය.

ඇය පැහැරගත් බවට කිසිදු සාධකයක් නොවීය. මේ අනුව ඇයගෙන් ප්‍රකාශ සටහන් කිරීමට රහස් පොලිසියට කැඳවද්දී තානාපති කාර්යාලය කොන්දේසි පනවන්නට විය. ගානියාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නම් ඇය නාරාහේන්පිට පෞද්ගලික රෝහලේදී එරට තානාපති, නීතිඥවරුන් දෙදෙනකු හා වෛද්‍යවරයකු ඉදිරියේ දී කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කළේ ය.

නීතිපතිවරයාගේ උපදෙස් මත ඊට අවසර නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය. සියලු කොන්දේසි ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ පසු ගානියා බැරිස්ටර් දෙසැම්බර් 08 වැනිදා ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ රහස් පොලිසිය හමුවේ පෙනී සිටියාය. එදින පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කිරීමට තීරණය කෙරිණි. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වෙත ඉදිරිපත් කරන ලෙසට ඇය කොන්දේසි ඉදිරිපත් කර තිබුණි. පසුදින (දෙසැම්බර් 09) ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හමුවට හා අධිකරණ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද කටයුතු යොදන ලදී. 10 වැනිදා යළිත් ඇයගේ ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කරන ලදී.

ගානියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පරස්පර ප්‍රකාශ හෙළි වෙන්නේ එහිදීය. තමන් නාඳුනන කණ්ඩායමේ ග්‍රහණයට ලක් වූයේ පැල්මයිරා නිවාස සංකීර්ණයේ වූ සෙල්වරාජා ගුරුවරියගේ නිවසේදී බව එහිදී ඇය ප්‍රකාශ කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණුවලට ඇයට කට උත්තර නැති විය.

ඇයගේ රඟපෑම අවසන් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ උපදෙස් පතන ලදී. සාක්කිකරුවන්ගේ ප්‍රකාශ, දුරකථන වාර්තා, සී.සී.ටී.වී දර්ශන ඇතුළු සියලු සාක්ෂි මත පැහැර ගැනීමේ පැමිණිල්ල හිතාමතාම ගොතන ලද අසත්‍ය ප්‍රබන්ධයක් බව හෙළි විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ පැය 607කින් යුත් සීසීටීවී දර්ශන විශ්ලේෂණය කර වාර්තා ලබා ගත් බවයි.

එම නිසා ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝග කරන ලදී. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී-23023/01/19 මඟින් ගානියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණි.

ඒ අනුව ගානියා දෙසැම්බර් 16දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබියදීත් ගානියා බැරිස්ටර් රැගෙන ගියේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරින් විසිනි.

අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට ඉදිරිපත් කිරීමට යෑමේදී ගානියා එය ප්‍රතික්ෂේප කර කාන්තා නිලධාරිනියක හමුවට ගෙන යන්නැයි ඉල්ලා සිටි නමුත් ඇය අධිකරණයට ඉදිරිපත් කරන මොහොතේ තානාපති කාර්යාලයේ විදේශිකයකු අතින් අල්ලා ඇය රැගෙන යාම මාධ්‍ය මඟින් දැඩිව කතාබහට ලක් විය.

සියලු සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව ඇය කිසිදු ලිංගික හිංසනයකට භාජනය වී නොමැති බවත්, පැහැරගත් බවට කර ඇත්තේ ප්‍රබන්ධ කතාවක් බවත් අධිකරණය හමුවේ අනාවරණය විය. ඇයට කිසිදු මානසික ආබාධයක් නොමැති බවද වෛද්‍ය වාර්තා මඟින් අනාවරණය විය.

අදාළ සිදුවීමෙන් පසුව ගානියාගේ දරුවන් තිදෙනාත් ඇයගේ මවත් විදෙස්ගතව ඇති බවද අනාවරණය විය.

එම නිසා ගානියාගේ මෙන්ම, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබාගැනීමට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම වාර්තා ලබා ගැනීමෙන් පසු නීතිපතිවරයාට යොමු කරන ලදී. ඇයට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා එම ලේඛන උපයෝගී කර ගන්නා ලදී.

එසේම ගානියා පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමේදී දැන ගන්නට ලැබුණේ ඇයගේ නියම නම ශ්‍රියාලතා පෙරේරා බවත් ඇය කැලණිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ බෙවන් පෙරේරාගේ ලේලියක බවයි. ඇය කතෝලික ආගමට හැරී ඇති බවත් එයින් පසුව නම වෙනස් කර ගත් බව හෙළිවිය.

මේ කාරණාවලින් හෙළි වන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත් ගානියාත් එක්ව මේ නාටකය ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කර ශ්‍රී ලංකාවට අසත්‍ය චෝදනා නඟන්නට කරන ලද්දක් බවයි. රජයට හා රටට හානිදායක වන ලෙසින් ව්‍යාජ රංගනයක් කළ ගානියාට වැඩ වැරැදී ඇත.

Comments