නොනිදන නගරයේ දුප්පතාගේ හිතවතා | සිළුමිණ

නොනිදන නගරයේ දුප්පතාගේ හිතවතා

විවේක සන්තුෂ්ටිය පිණිස සංචරණයෙහි යෙදීම අතීතයේ පටන්ම කොළඹ රට්ටුන්ගේ ජීවන පුරුද්දක් විය. ලන්දේසි පාලන සමයේදී, ඇතැමෙක් ඒ සඳහා කැලණි ගංමෝය ආශ්‍රිතව පිහිටි වනයක ඉසව් හෙවත් මට්ටක්කුලිය දෙසට පිය නැඟූහ. සමහරු ගාලු මුවදොරින් පටන්ගෙන මුහුදුබඩ නෙරළු තුරු වියන්වල සිසිල විඳිමින් ගල්කිස්ස දෙසට ඇදුණහ. එකල බම්බලපිටියේ එක්තරා සියඹලා ගසක් යට, එළිමහන් ගිමන් පොළක් තිබුණි. ඊට නුදුරින් වූ නැවුම් පොල් රා තිප්පොළ සියඹලා ගස යට එළිමහන් සල්ලාපයන්ට ප්‍රීතිමත් අත්වැලක් සැපයීය.

කොළොම්පුරයේ සුන්දර නිහඬ මානයන් සේම වෙළෙඳාම් කටයුතු හේතුවෙන් ජනාකීර්ණ වූ සදාතනික ජනාධික ප්‍රදේශයන්ද වේ. කොළඹ හා තදාසන්නව ජීවත්වන මධ්‍යම පන්තික ජනතාවගේ එදිනෙදා ආහාරපාන අවශ්‍යතාව සපුරාලන කැලෑ පොළද එවැන්නකි.

මේ වන විට අඩසියවසකට ආසන්න කාලහෝරාවකට ආපස්සට දිවෙමින් අතීත පුරාවෘතයකට නෑකම් කියන කැලෑ පොළ දුප්පතාගේ හිතවතාය. දිවයිනේ සතරදිග්භාගයෙන්ම ගමේ ගොඩේ, කැලේ කොළේ හැදෙන, එළවළු, පලතුරු, අල වර්ග, පලා වර්ග, කොස්, වරකා, දෙල්, පොල්, තැඹිලි, බුලත්, පුවක්, හුණු, දුම්කොළ, නෙලුම් මල්, නෙළුම් කොළ, ඕලු, මානෙල් මල්, කජු, කරවල, බිත්තර පමණක් නොව ගඩාගෙඩි, පවා කැලෑ පොළේ දුලබ නැත. කොටින්ම කිවහොත් ගමකින් පවා සොයා ගත නොහැකි දුර්ලභ ගණයේ බෙහෙත් කොළ කැඳට ගන්නා පලා කොළ ද කැලෑ පොළේ වෙයි. පිටකොටුව මරදාන හා තදාසන්න පෙදෙස්වල වෙළෙඳුන් භාණ්ඩ අලෙවි කරන මෙය රටපුරා එළවළු, පලතුරු හා අනෙකුත් දෑ අලෙවි කරන හුවමාරු මධ්‍යස්ථානයයි.

කැලෑ පොළේ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් 400ක් පමණ වුවත් ගම්වල තවත් බොහෝ පිරිසකට ඒ ආශ්‍රිතව රැකියා අවස්ථා ලැබී ඇත.

කැලෑ පොළේ තතු සොයනු වස් රාත්‍රියේ හිමිදිරි පාන්දර හා උදේ වරුවේ අවස්ථා දෙක තුනකදී එහි ගිය අතර රාත්‍රී දහයහමාරේ සිට අලුයම දක්වා වෙළෙඳුන් ප්‍රබෝධවත්ව ලහි ලහියේ තොග වෙළෙඳාමේ යෙදෙන අයුරු දක්නට ලැබිණි. තමන්ට හිමි ස්ථානයේ ස්ථානගත වෙමින් දැඩි ශීතල දුරු කර ගැනීමට හිසේ පටන් මොට්ටැක්කිලියෙන්ද රෙදිවලින්ද මුළු ගතම පොරවා ගනිමින් සිටින වියපත් කතුන්ගේ දසුන් හද පාරවයි. හිමිදිරිය වන විට ඔවුන්ගේ මුහුණු මැලවිලාය. හිසකේ අවුල් වෙලාය. විඩාබර නිදිබර දෙනෙත් ආයාසයෙන් විවර කරගෙන ඉතිරි බඩු ටික කීයක් හරි අඩුවෙන් විකුණා ගම්බිම් බලා යන්නට ඔවුන් සූදානම්ය. රැයේ ඔවුන්ගේ විඩාව මඳකට හෝ සන්සිඳෙන්නේ තොටළඟ නවුෆර්ගේ කෝපි කෝප්පයෙනි.

උදේ පාන්දර කැලෑ පොළේ තැඹිලි අලෙවි කරන චන්දික නිශාන්ත (අවුරුදු 49 පනාගොඩ) මෙසේ කීය. “ගමෙන් තැඹිලි එකතු කරලා පාන්දර තුනට හතරට අරන් එනවා. තොගේට හා සිල්ලරට විකුණනවා. මේ පොළට සමිතියක් තියනවා. දවසකට රුපියල් 50ක් සමිතියට දෙනවා. මේ පොළ ගැන මට 1970 සිට මතක තියෙනවා. කලින් වෙන තැනක තිබුණේ. මේ හයවන තැන.”

තම මියගිය සැමියා කරගෙන ආ පුවක් වෙළෙඳාමේ යෙදෙන ප්‍රදීපා කේ. කෞශල්‍යා (34) සිළුමිණට හඬ අවදි කළේ මෙහෙමයි.

“පුවක් ගෙඩි 3000ක් සුද්ද කරගෙන මම රෑ එකහමාරට එන්නෙ. සමහර දවස්වලට සේරම ඉවර වෙනවා. දවස් හතම එනවා. පෝය හැර. පුතාලා දෙන්නා බෝඩිම්වල ඉගෙන ගන්නවා. වැස්ස දවසට පොළත් තෙමිලා සේරම අපහසුතාවට පත්වෙනවා. අපි ගැන මිට වඩා උනන්දු වෙනවනම් හොඳයි.”

නෙලුම් මල් අලෙවි කරන ඩබ්ලිව්. වීරපාල (55) අප හා පැවසුවේ මෙවැන්නකි.

“මේ නෙලුම් මල් හොරොව්පතානෙන්. සමහර වෙලාවට ගිහින් ගේනවා. එහෙන් හවස හයේ බස් එකට දැම්මාම පාන්දර දෙකට තුනට මල් ටික කොළඹ. සති අන්තෙට මල් වැඩිපුර විකිණෙනවා.”

හොරණ, මිල්ලෑවෙ ඉඳලා ඇවිත් මඤ්ඤොක්කා, කොහිල, කොළ ජාති විකුණන ඩී. ගුණවතී (67) සිළුමිණට මෙසේ කීවාය.

“කැඳට ගන්න වැල්පෙනෙල, ගොනිකා, මොනරකුඩුම්බිය, වැල්කොත්මල්ලි, හීන් බෝවිටියා, නීරමුල්ලිය, හාතවාරිය කැලෙන් තමයි හොයාගන්නෙ. රෑ හතට ඇවිත්, උදේ 10 වනතුරු ඉන්නවා. කොළ ඉතුරු වුණොත් විසි කරලා යනවා. සමහරදාට බස් එකේ යන්නත් සල්ලි නැහැ.“

එස්. පී. ඩි. ලලිතා (60) ආනමඩුවෙ ඉඳලා කරපිංචා, දෙහි, දොඩම්, ඇඹරැල්ලා රැගෙන එන අතර, ලොකු කොස් ගෙඩියේ පොත්ත පමණක් ඉවත් කර මන්නයකින් කොස් ගෙඩිය මහ වේගෙන් වුණත් හීනියට ලියන පී. එල්. රාජපක්ෂ (59) කැලෑ පොළට එන්නේ මාතර සිටය.

මේ එන්. ඒ. ප්‍රභාත් (32) ‘අපේ බඩු ගේන වාහන පාක් කරන්න තැනක් නෑ. වහිනකොට පියස්සක් නැහැ. හරියට ඉඩක් නැහැ. දෙළුම්, ඩොංගා, හිඹුටු, දං, මසං, කරඳ, කොකෝවා, කාමරංගා ආදී හැම පලතුරක්ම ‍තියෙනවා මෙහේ.” යයි පවසයි

පී. එච්. සුනිල් (70) පොල් සිල්ලරට විකුණන කෙනෙකි. පොල් හිමිකරු එන්. ලහිරු (44) යටතේ සේවකයන් දෙතුන් දෙනෙක් වැඩ කරති. ඔවුහුද කැලෑ පොලේ සාමාජිකයෝය.

කැලෑ පොළේ කරවල විකුණන එම්. අජන්ත පැවසුවේ (51) ඕනෑම කරවල වර්ගයක් මෙතැනින් ලබා ගත හැකි බවය.

කැලෑ පොළේ විසල් නුගරුක් සෙවනේ කන්කුන්, මුකුණුවැන්න, වැලගොටුකොළ, තම්පලා ආදී කීර පළා විකුණන පිළියන්දල නිසල් තිලක (19) වෙළඳාම් කරන්නේ පියා චින්තක කුමාරසිංහත් සමඟයි.

සී.ස. ඔල්කොට් මාවත, කැලෑපොළ සුළු වෙළඳුන්ගේ සංගමයේ උපසභාපති හේවාමලවිගේ ගාමිණි (57) ගුණසිංහපු‍රයේ පදිංචිකරුවෙක්. ඔහුත් පලතුරු වෙළඳාමේ යෙදේ.

කරපිංචා යායක් මැද සිටි යු. ඩී. සීලදාස (46) කැලෑ පොලට එන්නේ “ආනමඩුවේ සිටය. ඔහු කියන පරිදි සමහරදාට වාහන කුලිය ගෙවන්න තරමටවත් මුදල් ලැබෙන්නේ නැත.

කැලෑපොළ සමිතියේ ලේකම් ජයලත් බණ්ඩාර (60) සිළුමිණට මෙසේ කීය.

“කැලෑපොළ අවු 40 විතර පරණ වුණාට ස්ථිර තැනක් නෑ. මෙතන දුන්නෙත් ගෝඨාභය ජනාධිපතිතුමා. වහලක් නැති නිසා වැස්සට තෙමෙනවා. මීට වසර තුනකට කලින් නාකපන වැස්සක් වැස්සා. අවු: 72 වයසේ හිටිය හැරියට් අම්මා හොඳටම තෙමුණා. සීතලේ අල්ලලා මැරුණා. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. නාගරික සංවර්ධන එකෙන් සහන ඉල්ලුවට තාම දුන්නෙ නැහැ.”

අන්නාසි විකුණන ඩබ්ලිව්. ආරියසේන (53) කැලණියේ ඉඳලා එන්නේ බිරිඳ ගීතා ප්‍රියදර්ශනිත් සමඟ රූ 1 ට පමණය.

ආනමඩුවේ සිට පැමිණෙන ආර්.එම්. සුමනාවතී (63) එළවළු වර්ග, වට්ටක්කා, බතල, පිපිඤ්ඤා, රාබු, නෝකෝල් අලෙවි කරන අතර ඒවා රැගෙන එන්නේ දඹුල්ලෙන් බව කීවාය.

කැලෑපොළේ බඩු විකුණන බාලවයස්කාර පිරිමි දරුවෝද වෙති. එක් අතක් අහිමි වුවද බඩු විකුණන සරත් (58) මහනුවරය.

කැලෑපොළට භාණ්ඩ ලබා ගැනීමට පැමිණි කිහිපදෙනකු සමඟ ද කතා කළ අතර ඔවුන් පැවසුවේ කොළඹ අගනගරයේ සහන මිලට හැම දෙයක්ම ලබාගත හැකි මෙවැනි කැලෑපොළක් තිබීම විශාල සහනයක් බවයි.

කැලෑ පොළේද වැඩි ආදායම ගලා යන්නේ අතරමැදියන් අතරය. එමනිසාම හැමදාමත් දුප්පත් ගොවියා එකතැනමය. අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් තුට්ටු දෙකේ ලාභයට ජීවිතය සිල්ලරට විකුණන, කැලෑපොළ වෙළෙඳුන් ගැන අදාළ බලධාරීන්ගේ අවධානය වහ වහා යොමු විය යුතුයි.

ඡායාරූප - චින්තක කුමාරසිංහ

 

Comments