නිහඬවම නික්ම ගිය මහ පඬිරුවන | සිළුමිණ

නිහඬවම නික්ම ගිය මහ පඬිරුවන

නස්පතියක් මෙන් නිහඬ ව සිය ශාස්ත්‍රීය සේවාවේ නිමග්න මහා පඬිවරයෙක් ඉකුත් ඔක්තෝබර් 20වැනි දින දිවි රඟ මඬලෙන් බැස ගියේය. හේ අනූපමේය ශාස්ත්‍රීය සේවාවක අනවරතව නිමග්නව වයස 83 ක දිවිසැරිය නිමා කර තිබිණි.

මහාචාර්ය පී. බී. මීගස්කුඹුර 1958 දී ලංකා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ වළල මධ්‍ය මහා විද්‍යාලයෙනි. අනතුරුව සිංහල විශේෂවේදී උපාධිය හදාරා ඉනික්බිතිව 1962 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්යවරයකු ලෙස සිංහල අධ්‍යයන අංශයේ කටයුතු කළ පුංචි බණ්ඩා මීගස්කුඹුරයන් 1976 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයට ද 1980 වර්ෂයේ මහාචාර්ය ධුරයට ද 1991 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට ද පත් වූ මෙරට සිටින අග්‍රගණ්‍ය භාෂා පඬිවරයෙකි; වාග් විද්‍යාඥයෙකි; මානව විද්‍යාඥයෙකි; පරිවර්තකයෙකි; ජනශ්‍රැති පර්යේෂකයෙකි; විචාරකයෙකි. මේ ප්‍රාමාණික වියතාණන් ඇසුරේ ශාස්ත්‍ර ඥානය ලැබූ දෙස් විදෙස් විද්‍යාර්ථින් දහස් ගණනකි.

මෙරට පහළ වූ විශිෂ්ටතම පඬිවරුන් යටතේ ශාස්ත්‍ර ප්‍රගුණ කළ මහැදුරු මීගස්කුඹුරයන්ට විදෙස් ශාස්ත්‍රවන්තයන්ගෙන් ලැබුණු පන්නරය ද සුවිසෙස් ය. ඓතිහාසික වාග් විද්‍යාවේ ප්‍රවීණයකු වූ අමිරුත් මාධව ඝාටිදේ, යුරෝපීය භාෂා ප්‍රවීණයකු වන නිල් මාධව සෙන්, නූතන වාග් විද්‍යාඥ ප්‍රවීණ කේල්කර්, එම්. එස්. කාත්‍රේ වැනි ප්‍රාමාණිකයන්ගේ ඇසුර ලද මීගස්කුඹුරයන් විවිධ ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නිරත වෙමින් සක්‍රිය ව සාහිත්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ නිහඬ පඬිරුවනකි. පුද්ගලික ප්‍රචාරණයට දැඩි නොකැමැත්තක් දැක්වූ හේ, සිය සේවාව නිහඬ ව ඉටුකළ යුතු ය යන ආස්ථානයේ රැඳී සිටියෙකි. වියත් සභා මැද කරන ලද දේශන කිහිපයක පිටපත් වරින්වර පුවත්පත්හි පළ වී ඇතත්, මේ වියතාණන්ගේ පළමු පුවත්පත් සංලාපය අප පළ කළේ සිළුමිණ පුවත්පතේ එවකට ශාස්ත්‍රීය අතිරේකය වූ පුන්කලස හි ය; ඒ 2011 නොවැම්බර් මස 4 හා 11 ඉරිදා දිනද්වයේ ය.

සිංහල භාෂාව විෂයෙහි මුහුකුරා ගිය ප්‍රවීණතාවට පරිබාහිර ව මීගස්කුඹුරයන් අත්පත් කරගෙන සිටින වෙනත් ප්‍රාචීන භාෂාවෛෂයික වෛශාරද්‍යයත්, සාහිත්‍ය සහ ඥානපද්ධති පිළිබඳ දක්වන අභිරුචියත් කැපී පෙනෙයි. සිංහල විශ්වකෝෂයට සපයන ලද ”කණ්ණඩ (කර්ණාට) භාෂාව” (සවැනි වෙළුම - 1978), ”කාශ්මීරී භාෂාව” (සත්වැනි වෙළුම - 1988) ඇතුළු ලිපි ගණනාවක්ම සිංහල භාෂාව සහ තදනුබද්ධ විෂය පරාසයන්ට ඔබ්බෙන් පවත්නා එතුමන්ගේ රුචියේ අන්තර්දිශා පිළිබඳ ව සාක්ෂි සපයනු සමත් ය.

1960 දශකයේ අග්‍රභාගයේ දී භාරතයේ පූනා සරසවියෙහි දී ප්‍රාග් ඉන්දු-ආර්ය ශබ්ද විද්‍යාව විෂයෙහි ස්වකීය දර්ශනසූරී උපාධි පර්යේෂණය සිදු කිරීම එකී රුචියේ ප්‍රභවය වන්නට ඇත. සංස්කෘත සහ පාලි භාෂාද්වයෙහි පටුත්වය ද, ඒ ඔස්සේ භාරතීය සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය යථායෝග්‍ය ව ලබාගැනීමේ කුසලතාව ද සිංහල භාෂාව සහ සාහිත්‍යය මැනවින් හදාරනු රිසියන්ට ඒකාන්තයෙන් ම මහෝපකාරී වන බව එතුමාගේ අධ්‍යාපන දර්ශනයේ කැපී පෙනෙන්නකි.

ඓතිහාසික වාග්විද්‍යා මූලධර්ම අගයමින් පාලි බස උගැන්වීම සහ ඒ පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණයන්හි යෙදීමත්, පාලි වෛෂයික අධ්‍යයනයන්හි නිරත දෙස්විදෙස් සිසු සිසුවියන්ගේ පර්යේෂණ ව්‍යාපෘති අධීක්ෂණයත් මීගස්කුඹුර මහැදුරුතුමෝ එදා පටන් ම මහත් ආශාවෙන් සිදු කරති. එතුමා ලියූ ශාස්ත්‍රීය ලිපි එකට එකතු කොට ගත් කල එය අප්‍රමාණ අගයක් ගත්තද ඒවා සම්පාදනයේදී බොහෝ විශ්වවිද්‍යාලයීය ඇඳුරන්ට මෙන් විද්‍යාර්ථීන්ගේ දේශන හෝ පර්යේෂණ අධීක්ෂණ කිරීම මඟ හැරුණේ නැත.

මුළු ජීවිතය ම භාෂා - සාහිත්‍ය - සංස්කෘතික අධ්‍යයනයට කැප කළ එතුමා වයෝවෘද්ධ ව සිටින අවදියේ පවා තම විෂයට අදාළ ව අලුත් ම දැනුම එකතු කර ගනිමින් සිටියේ ශාස්ත්‍රාභිලාෂි පිපාසාව නිසාය.

සිංහල භාෂා අධ්‍යයනයේ දී අඩු අවධානයක් ලක් ව ඇති රීති පිළිබඳ අධ්‍යයනයට ද රුචි වූ මීගස්කුඹුරයන් භාෂා රීති ගැන අධ්‍යයනය කරමින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රීතිය ගැනත් කුමාරතුංග මුනිදාසයන්ගේ රීතිය ගැනත් විශේෂයෙන් ලිව්වේ ය.

උපභාෂා පිළිබඳ අධ්‍යයනයට ද එතුමා යම් රුචියක් දැක්වූ බව පෙනේ. එයට විශේෂයෙන් බලපාන්නට ඇත්තේ අප්‍රකට දේ පිළිබඳ සොයා බැලීමටත් කරුණු විග්‍රහ කිරීමටත් එතුමා තුළ වූ ශාස්ත්‍රලෝලීත්වයයි.

ජපන් ජාතික මහාචාර්ය හජිමෙ නකුමුර (1912 – 1999) විසින් භාරතය, චීනය, තිබ්බතය හා ජපානය, ගැන කළ අධ්‍යයනය බොහෝ විද්වතුන් ගේ ඇගැයීමට පාත්‍ර වී තිබේ. ඒ කෘතිය ‘පෙරදිග මිනිසුන් ගේ චින්තන විධි‘ යනුවෙන් මහාචාර්ය පී. බී. මීගස්කුඹුර විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. එයින් පිළිබිඹු වෙන සංස්කෘතියේ චින්තන ඇබ්බැහිකම්වල නෛසර්ගික ලක්ෂණ හා සංස්කෘතියේ පරිච හා ආකල්ප ගැන වන විවරණය එතුමාගේ චින්තන පරිධිය පිළිබඳ සාක්ෂ්‍යයක් බඳුය. නැත්නම් එවැනි කෘතියක් පරිවර්තනය කිරීමට කෙනකුට පෙලඹවීමක් ඇති වන්නේ නැත.

එතුමා සම්පාදනය කරන ලිපිලේඛන, විශ්ලේෂණ, විචාර ආදියෙහි අපූර්ව චින්තන ක්‍රමයක සුගන්ධයක් වහනය වන්නේ ඒ නිසාය.

මහාචාර්ය පී. බී. මීගස්කුඹුරයන් විසින් 2019 වර්ෂය තෙක් විවිධ මාධ්‍යයන් ඔස්සේ ලියන ලද ශාස්ත්‍රීය ලිපි බහුතරයක් එක්කර ‘ලේඛනාවලී‘ නමින් කෘතියක් විදර්ශන ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විණි.

ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරයකුගේ සම්පූර්ණ ලිපි එකතුවක් පොතක් වශයෙන් පළවූ පළමු අවස්ථාව එය වන අතර, ඔහු දිවමන් ව සිටියදී සහභාගී වූ අවසන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය ද එය විය.

මීගස්කුඹුරයන් වැනි ශාස්ත්‍රවන්තයකුගේ නික්ම යෑම ගැන බහුතර මාධ්‍යයන්හි අවධානය යොමු වූයේ නැත. ඒ කිසිවක් වරප්‍රසාද ගැන ජීවතුන් අතර සිටිද්දී පවා එතුමන්ට හැඟීමක් හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැත. මනස සුපහන් වූ කල භෞතික දෑ ගැන වන අතහැරීම ගැන නිදර්ශනයක් අවැසි නම් ඒ මේ මහාචාර්යවරයාම බැව් කියන්නට මැලි නොවන්නේ ඒ නිසාය.

Comments