දෙවි පිහිට වෙනුවට තාක්ෂණ පිහිට පැතූ විභාග වංචාකරුවෝ | සිළුමිණ

දෙවි පිහිට වෙනුවට තාක්ෂණ පිහිට පැතූ විභාග වංචාකරුවෝ

- කොළඹ, ගම්පහ, වාද්දුවෙන් මෙවර බරපතළ විභාග වංචා 3 ක්
- සාමාන්‍ය පෙළ විභාග වංචා වැඩියි
- විභාග වංචා හසු කර ගැනිමේ පුළුල් ජාලාවක්
- කාර්ය මණ්ඩලයට, අපේක්ෂකයන්ට ජීවිත කාලයටම විභාග තහංචි

විභාග දෙපාර්තමේන්තුව මේ වන විට අභියෝගාත්මක විභාග වසරකට එළඹ ඇත්තේය. ඒ ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රධානම විභාග දෙකක් පැවැත්වීමේ දැඩි ඉලක්කයකට මුහුණ දෙමිනි. එවැනි දැඩි අභියෝග රැසක් මධ්‍යයේ මේ විභාගයන් දෙක පැවැත්වීමේ අභියෝගයකට විභාග දෙපාර්තමේන්තුව මුහුණ දුන්නද ලංකාවේ විභාග සහතිකයට හිමිවන ජාත්‍යන්තර පිළිගැනීම කිසිසේත් පළුදු නොවන ආකාරයෙන් මේ විභාග දෙක පැවැත්වීමටද විභාග දෙපාර්තමේන්තුව සමත් වීම අගය කළ යුතු කරුණකි. 

ලංකාවේ පාසල් විභාග හෝ ඕනෑම ආයතනික විභාග පැවැත්වීමේදි විභාග දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කරන්නේ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු විභාගයක් පැවැත්වීම කෙරෙහිය. එම නිසා සෑම වසරකම සිදුවන විභාග වංචා අවම කිරීමේ පුළුල් සැලැස්මක් විභාග දෙපාර්තමේන්තුව දියත් කරන්නේය. කොවිඩ් වසංගතය පැවැති මොහොතක විභාග පැවැත්වුවද විභාග කොමසාරිස්වරයා මෙවරද දැඩිව අවධාරණය කළේ කුමන තත්ත්වයක් යටතේදි වුවද කිසිදු අපේක්ෂකයකුට විභාග වංචාවක් සිදු කිරීමේ කිසිදු ඉඩක් ‍නොතබන බවය.

බොහෝ අපේක්ෂකයන් විභාගයේදි විවිධ වංචා සිදු කරන්නේ තමන් ඊට හසු නොවීමේ අරමුණිනි. නමුත් අපේක්ෂකයන් නොදන්නා කරුණ වන්නේ සෑම විභාග වංචාවක්ම හසු කර ගැනීමේ පුළුල් ජාලාවක් විභාග දෙපාර්තමේන්තුව සතු බවකි. විභාග අවස්ථාවේ හසු නොවුණද පිළිතුරු පරීක්ෂාවේදී හෝ ඒ වංචාව හසු කර ගැනීමේ දක්ෂ පිරිස් විභාග රාජකාරීන්වල නියැළෙන බව බොහෝ දෙනෙක් නොදනිති. මෙවන් පිරිස් පටු අරමුණු වෙනුවෙන් අවසානයේ අකාලයේ තම ජීවිත අඳුරු කර ගනිති.

විභාග වංචා සැම වසරකට අඩු වැඩි වශයෙන් සිදු වෙයි. මේ සෑම විභාග වංචාවක්ම සාර්ථකව හසු කරගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සතු එවන් දක්ෂතා නිසාය. සෑම වසරකම ඒ විභාග වංචාවන් විමර්ෂණය කරමින් ඊට අදාළ දඩුවම්ද කිහිප දෙනෙකුට විඳින්නට සිදුවීමද සුලබ කරුණකි. විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි 2016 වසරේ සිට 2019 වසරක කාලය තුළ විවිධ මට්ටමින් විභාග වංචා හසු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇති අතර ඒවා පිළිවෙළින් මෙසේය.

උසස් පෙළ විභාගය පවැත්වු පහත වසර වල විභාග වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මෙසේය. 2016 වසරේදි 856 ක්ද, 2017 වසරේදී 459 ක්ද, 2018 වසරේදී 288 ක්ද, 2019 වසරේදී 567 ක්ද වු අතර එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව පහත සඳහන් පිරිසකගේ විභාග ප්‍රතිපල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 2016 වසරේදි 244 ක්ද, 2017 වසරේදී 205 ක්ද, 2018 වසරේදී 119 ක්ද, 2019 වසරේදී 71 කි.

සාමාන්‍ය පෙළ විභාගයේදි මේ තත්ත්වයේ යම් වැඩි වීමක් දැකිය හැකි වු අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වු පහත වසර වල විභාග වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මෙසේය. 2016 වසරේදි 3095 ක්ද, 2017 වසරේදී 2804 ක්ද, 2018 වසරේදී 1271 ක්ද, 2019 වසරේදී 1244 ක්ද වු අතර එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව පහත සඳහන් පිරිසකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 2016 වසරේදි 1140 ක්ද, 2017 වසරේදී 969 ක්ද, 2018 වසරේදී 521 ක්ද, 2019 වසරේදී 278 කි.

මේ වන විටත් උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේය. විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට යම් යම් විභාග ශාලාවලින් සුළු සුළු විභාග වංචා කිහිපයක් අනාවරණය වී ඇති අතර එයින් බරපතළ ආකාරයේ සිදුවිම් තුනක්ද වාර්තා වෙයි. එයින් එකක් කොළඹ ප්‍රදේශයේ විදුහලකය. ඒ විභාගය පැවැත්වෙන අතරතුර දුරකතනයෙන් යම් යම් තොරතුරු හුවමාරු කිරීමය. දෙවැන්න ගම්පහ ප්‍රදේශයක වූ පාසලකය. ඒ ස්මාර්ට් ඔරලෝසුවක් හරහා පිළිතුරු හුවමාරු කර ගැනීමකි. මෙය ගම්පහ නියෝජ්‍ය පොල­ිස්පති කාර්යාලය හරහා විභාග වන්නේය. තෙවැන්න වාද්දුව ප්‍රදේශයේ නිරීක්ෂකවරයකු විසින් සිදු කරන වංචාවකි. එනම් අපේක්ෂකයකුට පිළිතුරු ලිවීමට ආධාර අනුබල දීමය. මෙම පරීක්ෂකවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතට අනුව විභාග ප්‍රශ්න පත්‍රයක් රහස්‍ය ලේඛණයක් වන්නේය. ඒ ප්‍රශ්න පත්‍රය පිළියෙල කරනු ලැබූ වේලාවේ සිට ඒ විභාගයේදී අපේක්ෂකයන් විසින් පිළිතුරු සැපයීමට ආරම්භ විමට නියමිත වේලාවෙහි පටන් පැය භාගයක් ඉකුත් වන තෙක් මෙය රහස්‍ය ලේඛණයක් වන බව පනතේ 6(1) වගන්තියේ අර්ථ නිරූපණය කර ඇත.

විභාග වංචා විවිධ ආකාරයෙන් සිදු වෙන්නේය. එක් විභාග අපේක්ෂකයකු වෙනුවෙන් වෙනත් අයෙකු විභාගයට පෙනී සිටීම බලපතළ වරදක් වන්නේය. මේ සමඟම විභාග අංක මාරු කර ලිවීමද තවත් වංචාවක් වන අතර මෙය පහසුවෙන් හසු කර ගැනීමේ හැකියාව විභාග දෙපාර්තමේන්තුවට ඇත. මේ අතර විභාග ශාලාවකට ගොස් පිළිතුරු සපයද්දි එම රහස්‍ය ලේඛණ, රහසිගතව ගෙනියන දුරකතන හරහා පිටපත් කර බ්ලූ ටූත්, ස්මාර්ට් ඔරලෝසු, ෆේස්බුක්, වට්ස් ඇප් හෝ වයිබර් හරහා යවා ඊට පිළිතුරු ගෙන්වා ගැනීම විභාග වංචා අතර බරපතළ වරදකි. මෙම විභාගයන් අතරතුර බහුලව සිදු කරන තවත් වංචාවක් වන්නේ පිළිතුරු කොපි කිරීමය.

පිළිතුරු පත්‍ර හුවමාරුව, පිළිතුරු ලියා දිම, කියා දීම, පෙන්වීම, සටහන් ලඟ තබා ගැනීම, මෙන්ම කාර්ය මණ්ඩලයද උදවු කිරීම බරපතල වරදකි. සමහර විට පිළිතුරු පත්‍රයේවෙනස් අත් අකුරු පැවැතීම, පිළිතුරු පත්‍ර භාර නොදි පසුව ඉදිරිපත් කිරීම මෙවැනි අවස්ථා පහසුවෙන් හදුනා ගැනීමේ මාර්ග වෙයි. අපේක්ෂකයින් ඇයැදුම්පතට අත්සන් නොයෙදීම, අනන්‍යතාව තහවුරු නොකිරීම, විභාග වංචා සිදුකළ හැකි අයුරින් හැඳ පැළඳ පැමිණීම, පිළිතුරු පත්වලට අතිරේක කොළ ඇමිණීමද බරපතල ගණයෙහිලා සැලකෙන විභාග වංචා කිහිපයකි.

සමහරු අනුකම්පාව ලබා ගැනීමට පිළිතුරුපත්වලට මුදල් ඇමිණීමද කරති. එයද විභාග වංචා අතරට එක්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ව්‍යාජ හැදුනුම්පත් ඉදිරිපත් කිරිම, වෙනත් විභාග අංකවල වාඩි වි සිටීම, කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම, කලහාකාරී ලෙස විභාග ශාලාවේදි පමණක් නොව ඉන් පිටතදී හැසිරීමද විභාග වංචා අතරට එක් වෙයි. විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙවන් වංචනික ක්‍රියා හමුවේ නිසොල්මන්ව සිටිම ද වරදක් වන්නේය.

1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතට අනුව විභාග වංචා සිදු කිරීමට එරෙහිව දඩුවම් නියම කර ඇත. මෙම පනතට අනුව එවැනි වංචනික ක්‍රියා සිදුකරන අය නීතිය ඉදිරියේ වරදකරුවන් වෙති. එසේම විභාග වංචාවන්හිදි කාර්ය මණ්ඩලය විසින් සිදු කරන්නාවු ඇතැම් ක්‍රියාද විභාග වංචනික ක්‍රියා වෙයි. පිළිතුරු පත්‍ර එකතු කිරිමේදී පිළිතුරු පත්‍රයක යම් මැකීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම මේ පනත යටතේ දැඩි දඩුවම් හිමිවන වරදක් වෙයි.

කාර්ය මණ්ඩලය විසින් සිදු කරන්නාවූ එවැනි වරද හමුවේ සදාකාලිකව විභාග රාජකාරී තහනමක් හිමිවන අතර වරදේ ප්‍රමානයට නීතියෙන් දඩුවම් විඳින්නටද සිදුවෙයි. විභාග පනතේ 5(2) වගන්තියට අනුව විභාග අපේක්ෂකයකු එවන් වංචනික ක්‍රියාවක් කිරීමේදී ඊට ආධාර දිම්, අනුබල දීම් හා එම වරදේදි නිසොල්මන්ව සිටීමද මෙම පනත යටතේ දැඩි වරදක් වන්නේය. මෙම පනතට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමක් සඳහන් වුවද, මෙම පනත යටතේ සෑම වරදක්ව ඒ සංග්‍රහයෙහි අර්ථානුකූලව මෙන්ම එහි කාර්යයන් සඳහා සංඥය වරදක් වන්නේය. එනම් වරදක් දුටු තැන අත් අඩංගුවට ගැනීමට සිදුවෙයි. එසේම මේ පනතේ සඳහන් වන්නේ එවැනි වරදක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතිය ඇතිව නඩු පැවැරීමක් සිදුකළ යුතු බවකි.

කෙසේ වෙතත් විභාග වංචා සිදු කිරීමේදි විභාග අපේක්ෂකයින් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ ඉන් තමන්නට සිදුවන හානිය පිළිබඳවය. මෙයින් බරපතලම දඩුවම වන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන කිසිදු විභාගයකට කිසිදා මුහුණ නොදීමට තරම් දැඩි තහංචියක් වැටිමය. නැත්නම් වංචාවේ වරද තරමට නිශ්චිත කාලයකට විභාග තහංචි වැටිය හැකි අතර යම් විෂයය තහනමක් හෝ ලියු විභාග ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් හෝ සිදුවිය හැකියි. මෙවන් වංචාවන්හිදි විභාග දෙපාර්තමේන්තුව විසින් ඔහු හෝ ඇය ලියු සම්පූර්ණ විභාගයම අවලංගු කිරීමක්ද සිදුවිය හැකියි.

විභාගාපේක්ෂකත්වය අවලංගු කිරීම, විභාග කාර්ය මණ්ඩලයට නම් ගෙවිම් නතර කිරීම හෝ අවවාදාත්මක ලිපි නිකුත් කිරීම මේ යටත් පනවන දඩුවම්ය.

මේ නිසා පටු අරමුණු වෙනුවෙන් සිය ජීවිත අවුල් කර නොගැනිමට විභාග අපේක්ෂකයින් කටයුතු කළ යුතු අතර විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවැනි ක්‍රම අනුගමනය කර ඇත්තේ ජාත්‍යන්තරයේ විභාග සහතිකයට හිමි නිශ්චිත පිළිගැනීම රඳවා ගන්නටය.

Comments