දිවිදොස්ගල උරුමක්කාරයන්ගේ උරුමය ගැන කඳුළු කතාව | සිළුමිණ

දිවිදොස්ගල උරුමක්කාරයන්ගේ උරුමය ගැන කඳුළු කතාව

සුප්‍රකට නවකතාකරුවකු වන ඩී. එච්. ලෝරන්ස් 1922 මාර්තු 15 දා ලංකාවේ සංචාරයකට පැමිණි විටෙක නවාතැන් ගෙන ඇත්තේ මහනුවරය. වර්තමාන ධර්මරාජය පිහිටි කඳු මුදුනෙහි වූ ආද්නරි නම් බංග්ලාවේ නැවතුණු ඔහු එක් රාත්‍රියක පෙරහර නරඹන්නට ගියේය. පෙරහර නරඹා ඔකඳ වුණු සිතැතිව ලෝරන්ස් සිය නැගණිය හා සින්නියා ඇස්ක්වීක් ආර්යාවට යැවූ ලියුම්හි දළඳා පෙරහරේ අපූරු සුන්දරත්වය ගැන මෙසේ ලියා යැව්වේය.

‘ඇතුන් සිය දෙනකුගෙන් යුත් පෙරහර මනස්කාන්තය. ආශ්චර්යවත් මැදියම් රාත්‍රියේ පන්දම් එළි... දැවැන්ත අලි... බෙර හඬ හා රළු සංගීතය, නැටුම්, දහදියෙන් තෙමුණු නැට්ටුවන්ගේ දිළිසෙන කළු සිරුරු, මේ සියල්ල මා තුළ ඇති කළේ බලවත් හැඟුමකි...c

පෙරහැරේ සිරි අසිරිය ලෝරන්ස්ගේ කවි සිත අවදි කළේය. Elephant කවි පන්තිය ලියැවෙන්නේ ඒ කුල්මත් සිතිනි. ඒ කවි පන්තියේ අවසන pera- hera ලෙස ඔහු සිංහලෙන් ද ලියන්නේ ඒ නිසාය. ලෝරන්ස් ගේ Elephant කවි පන්තිය දළඳා පෙරහරේ සුන්දරත්වය ලොවට ගෙන ගියේය.

ලෝරන්ස්ට නැට්ටුවන්ගේ දිළිසෙන සිරුරේ නම්‍යශීලී රිද්මය හසු වූයේය. බොහෝ කැමරා කාච වලට ද, කවියන්ට ද, නවකතාකරුවන්ට ද නර්තන ශිල්පියාගේ රිද්මය, සුන්දරත්වය හසු වන්නේ ය. එහෙත් ඒ ශිල්පීන්ගේ හදවත, ආත්මය හසු වන්නේ එහෙමත් කෙනකුටය. බොහෝ ජීවන අන්දර අතර ඒ මහමඟ නැටවෙන සිරුරේ ආත්මය දියවී යන්නේය. දළඳා පෙරහැරේ සුන්දරත්වයත්, අලි ඇතුන්ගේ පෞඩත්වයත්, කස කාරයන්ගේ ලකයත් හැරුණු කොට නැට්ටුවන්ගේ සුන්දර නර්තන දෑසින් උරා බිව්වත් ඒ ජීවන අන්දර සුළු මොහොතින් පසුව අමතකව යන්නේ ඒ නිසාය. නර්තන කලාව ගැන පර්යේෂණ කරන, පොතපත ලියන බොහෝ දෙනෙක් සිටියද ඒ කලාව ජීවමානව ගෙන යන මානව සම්පත ගැන ලියන, අඳින පිරිස අවම වන්නේ ඒ නිසාය. විශ්වවිද්‍යාලයන්හි මේ සාම්ප්‍රදායික කලාව ගැන අධ්‍යයනය කෙරෙතත් ඒ කලාවට ජීවය දුන් ශිල්පීන්ගේ තොරතුරු හෝ ඡායාරූප ගැන අවධානයක් නැත්තේ ඔවුන් දේශීය කලාවට කරන ලද මෙහෙය ගැන නිසි ඇගයීමක් නොවූ නිසාය.

උඩරට සාම්ප්‍රදායික නර්තනය පෝෂණය කරන බොහොමයක් නර්තන ශිල්පීන් සිය හැකියාව ගෙන එන්නේ පාරම්පරික උරුමයක කොටසක් ලෙසිනි. නැකැත් සතරත් නැටුම් සතරත් කෙරෙහි එකසේ හපන්කම් පෑ තිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ, ගුණයා ගුරුන්නාන්සේට හිමිකර දී ඇත්තේ නැටුම් සතර පමණී.. යනුවෙන් නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ‘තිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ‘ නමින් ලියන ලද පොතේ වන සඳහන මෙහි වන ඛේදවාචකයක ලකුණු නියමාකාරයෙන් සටහන් කරයි. පරම්පරාගත ඥානය ලේඛනගත කිරීමකින් තොරව පවත්වා ගෙන යෑමේදී ක්ෂය වීම පිළිබඳ නිදර්ශන ඕනෑ තරම් ඇත. නිත්තවෙල කළු උක්කුවා ගුරුන්නාන්සේ, තිත්තපජ්ජල සෙව්රංගා ගණිතසාර ගුරුන්නාන්සේ, අත්තරගම සොබනා ගුරුන්නාන්සේ, ඉහළවෙල සිරිපිනා ගුරුන්නාන්සේ වැනි උඩරට නර්තන හා වාදන කලාව පෝෂණය කළා වූ ශිල්පීන්ගේ තොරතුරු හා ඡායාරූප අද සොයා ගැනීමටවත් නැත. ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ පරම්පරාවේ දරු මුනුබුරන්ගේ මතකය පමණකි. අවිධිමත් ඒ මතක නිවැරදිම තොරතුරු සපයන්නේ යැයි පැවසිය නොහැකිය.

බෞද්ධයන්ගේ මහා අසිරිමත් කලා මංගල්‍යය ලෙසින් විරුදාවලී ලත් මහනුවර ඇසළ මංගල්‍යය මේ පරම්පරා ගණනාවක දහඩිය කඳුළින් පෝෂණය වූවකි; හෙට ද පෝෂණය වන්නකි. සියවස් ගණනාවක් පුරා සිය යටිපතුල් පැලී ලේ ගලද්දීත්, අභරණ බරින් සිරුර මිරිකෙද්දීත් එ් කිසිවක හෝ හාංකවිසියක දැනීමකින් තොරව සිතේ ශ්‍රද්ධාවෙන් සිය සිරුරේ රිද්මය පෙරහර වෙත මේ නර්තන ශිල්පීන් දානය කරන්නේ දෙවරක් නොසිතාය. පැරණි රජවරු ගරු නාම හා ගම්වර තිළිණ කරන ලද්දේ මේ අසීමිත කැපවීමටය. නර්තනයෙන්, වාදනයෙන්, ගායනයෙන් අනුන් සතුටු කර හුදෙකලාව හිතෙන් වැලපෙන මේ කලාකරුවෝ බොහොමයක් කිසිදු ඇගයීමක් නොලබාම මිය පරලොව ගියහ. මතක ඉතිරි කර මුත්, සංරක්ෂණය නොවූ මේ අයගේ මතක තුරුලු කර ගත්තෝ සිය පවුලේ අයම මිස වෙන අයෙක් නොවූහ.

දැනට මේ මහා දැනුම සංගෘහිත ශිල්පීන් ඇත්තේ අතළොස්සකි. සියවස් ගණනාවක් පැරණි අපේ සාම්ප්‍රදායික උඩරට නර්තන හා වාදන කලාව අදත් ජීවමාන වන්නේ මහනුවර ඇසළ පෙරහැරේදී ය. දිවිදොස්ගල උරුමක්කාරයෝ වූ මේ මහා කලාකරුවෝ අඩසියවසකටත් වැඩි කාලයක් පුරා පෙරහර මංගල්‍ය හැඩ කළේ උපතත් මරණයත් අතර කාලයේ දෙවියන් විසින් තමන්ට පැවරූ දේවකාරියක් ඉටු කරන්නාක් මෙන් භක්තිමත් ව ය. ශ්‍රී දළඳා වහන්සේටත්, සතර මහා දෙවිවරුන්ටත් පූජෝපහාරයක් ලෙස පවත්වන පෙරහර මංගල්‍යයේදී මොවුන් හෙළු දහදිය දළඳාව වට මහනුවර වැවේ පිරී ඇති ජලයට වඩා වැඩි වුවොත් මිස අඩු නම් නැත. ප්‍රවාදයනට අනුව පඬුවස්දෙව් රජු දිවි දොස ප්‍රහීන කරනු වස් දිවිදොස්ගලදී මලය රජ වරමින් ශිල්ප දායාද ලැබූ පරපුරේ ප්‍රවේණිය මේ මහා කලාවයි. මොවුහු සිය ජීවිතය හා සමානව නැත්නම් ඊටත් වඩා රකින්නේ මේ සම්ප්‍රදායික කලාව වෙති.

අසේල කුරුලුවංශ ජනමාධ්‍යවේදී භූමිකාවෙන් පිටතට ගොස් පර්යේෂණ භූමිකාවකට අත පොවා තිබේ. ඔහු මේ අපූර්ව සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වා ගැනීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු හෙළු පරම්පරාවක මතක හා දැනුම ලේඛනගත කර ඇත. පතුල් පැලී ලේ ගලනා තෙක් මහපාරේ රත් වූ තාර මත රිද්මයට නටමින් දළඳා සමිඳුන්ගේ ආශීර්වාදයත්, පෙරහර බලන හුදී ජනතාවගේ මනදොල වෙනුවෙනුත් ජීවිතය දිය කර හැරි පරපුරේ කතාව‘දිවිදොස්ගල උරුමක්කාරයෝ‘ නම් වෙයි. 

කාලයේ වැලිතලාවෙන් හා නොතකා හැරීමේ පිළිවෙතින් නිෂ්පන්නව මේ හෙළයේ නිහතමානී කලා පරපුර රැක ගැනීමේ වෑයමක අප නිරත විය යුතුව ඇත. ජීවිතයම කලාවක් කර, ඒ කලාව ජීවන කලාව කරගත් මේ අපූර්ව මිනිසුන්ගේ අන්දරය ලේඛනගත කිරීම වැදගත්ය. ප්‍රමාණාත්මකව ගතහොත් උඩරට නර්තන ශිල්පීන්ගේ අඩුවක් වර්තමානයේ දක්නට නැත. අඩුව ඇත්තේ සාම්ප්‍රදායික හැඩතල ඇති ශිල්පීන්ගේ ය.

පාරම්පරික උඩරට නර්තනය රැක ගත හැක්කේ අතොරක් නැතිව ශිල්පීන් බිහි කිරීමෙන් නොව සාම්ප්‍රදායික දැනුම ඔස්සේ පුරුදු කළ හැඩතල ඇති ශිල්පීන් රැක ගැන්මෙනි. පසුකාලීන උරුමය විසින් මේ පෞඩ උරුමය රැක ගන්නාතාක් ගැටලුවක් නැත. එහෙත් පොපියන චමත්කාරය ජීවිතය කරගත් පරම්පරාවක් ඉදිරියේ මේ අපූර්ව කලාව රැකේද යන්න ගැටලුවකි.

පන්දම් එළියෙන් දිලිසෙන කළු සම මතින් වැගිරෙන දහදිය බිඳු, ඉලිප්පුණු නහර මතින් ගලා බසී. මුහුණේ දහසක් සියුම් රේඛා විඩාබර බවෙන් නොව අභිමානයෙන් බැබළෙයි. ජීවන චාරිකාවේ අනේකවිද දුක්ඛ දෝමනස්සයන් සමසිතින් දරාගත් ප්‍රසන්න වතක් ඒ මොහොතේ පවා දිස් වේ. ජීවත්වීම වෙනුවෙන් ගෙවන මේ අපූරු පූජෝපහාරය විසින් ඒ වුවන ප්‍රසන්න කර ඇතැයි දැනේ.

තබන අඩියක් ගානේ, රිද්මිත හැරවුමක් ගානේ ආඩම්බරය පිරී තිබේ. පපුතුරේ සඟවා ගත් නේක කම්කටොළු පසෙක ලා මේ කලාකරුවෝ ජීවිතයේ රිද්මය සොයති. ඒ රිද්මයට අරුතක් සපයන්නට අපට කළ හැකි දේ කරන්නට අප පෙළ ගැසෙන්නේ ඒ පපුතුරේ ගැහෙන රිද්මය අපට ද දැනෙන නිසාය.

අසේල කුරුලුවංශ ජනමාධ්‍යවේදී භූමිකාවෙන් පිටතට ගොස් පර්යේෂණ භූමිකාවකට අත පොවා තිබේ. ඔක්තෝබර් 17 දා දළඳා මාළිගාවේදී නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයාගේ ප්‍රදානත්වයෙන් ‘දිවිදොස්ගල උරුමක්කාරයෝ‘ නම් කෘතිය ජනගත විණි. උඩරට සාම්ප්‍රදායික නර්තන කලාවේ අනභිභවනීය චරිත 24 ක් මේ කෘතියේ දී කතුවරයාගේ අවධානයට ලක් වී තිබේ. උඩරට නර්තන කලාව ගැන පොත්පත්, මූලාශ්‍රය බිහිවී තිබුණත් නර්තන ශිල්පීන්ගේ අපදාන එකතුවක් මෙතෙක් තිබී නැත. මේ ඒ අඩුව පුරවනු වස් රචනා වූ මහාර්ඝ ග්‍රන්ථයකි.

ග්‍රන්ථය- දිවිදොස්ගල උරුමක්කාරයෝ 
කර්තෘ - අසේල කුරුළුවංශ 
ප්‍රකාශනය - ගිම්හාරා, පිටු- 84 
මිල - රු.1200, විමසීම්- 0714815321

Comments