තැනින් තැන ඔඩු දුවන කොවිඩ් 19 | සිළුමිණ

තැනින් තැන ඔඩු දුවන කොවිඩ් 19

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරමින්

දිස්ත්‍රික්ක 13ක වයිරසය ව්‍යාප්තයි; අනෙක් දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක්

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලක් ආරම්භ කරමින් පළමු ආසාදිතයා වාර් තා වූයේ පසුගිය 5 වැනිදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙනි. සති දෙකක් තුළ එම බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර පසුගිය 15 වැනි සිකුරාදා වන විට මෙරට තහවුරු කළ කොවිඩ් 19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 5244ක් විය. එයින් 1789ක්ම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අයත් විය. ඒ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 1846ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර සුවපත් වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3385කි.

තුන්වැනි සතියේදී කොවිඩ් 19 රට පුරා ව්‍යාප්ත වූයේ මෙසේය. කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දැමුණේ පසුගිය 15 වැනිදා සිටය. එමෙන්ම මරදාන ඩීන්ස් පාරේ පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලයද එදින සිට සති දෙකක කාලයකට වසා දැමුණේ මහජනතාවට සහ කාර්ය මණ්ඩලය යන දෙපාර්ශ්වටයමය. මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවය කළ කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගත කිරීම ඊට හේතුවයි. කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ජාතික රෝහලේ සේවකයකු බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත. ඒ අනුව එම ආයතනයේ සේවකයන් 80දෙනෙකු හදිසි PCR පරීක්ෂණයට ලක් කළ අතර ආසාදිත සේවිකාව ඇසුරු කළ බවට හඳුනාගත් නගර සභාවේ ආශ්‍රිතයන් 110දෙනෙකු 16දා PCR පරීක්ෂණවලට ලක් කෙරිණ.

දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාදිතයකු බව අනාවරණය වීමත් සමඟ එම රෝහලද පසුගිය 18 වැනිදා තාවකාලිකව වසා දැමිණ. ඉකුත් 15 වෙනිදා දිවුලපිටිය දිසා රෝහලේ කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට යොමු කිරිමෙන් අනතුරුව එම සුළු සේවා පාලක කොවිඩි 19 ආසාධිතයකු බවට හඳුනා ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කටම ලබන සඳුදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය

මේ අතර මොරටුව ලුනාව දිස්ත්‍රික් රෝහල කොරෝනා ආසාදිත කාන්තා රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙන බව වාර්තා විය. එම රෝහල සතුව ඇති ඇඳන් 80න් 75ක්ම පසුගිය 18 වැනිදා දහවල් වන විට රෝගීන්ගෙන් පිරී තිබිණ. ඉතිරි ඇඳන් පහ සඳහා ද කොරෝනා ආසාදිත කාන්තාවන් පස්දෙනකු පොළොන්නරුව සිට එදින සවස වන විට රැගෙන ඒමට නියමිතව සිටි බවත් ඔවුන් පැමිණි පසුව රෝහලේ සියලුම ඇඳන් පිරෙන බවත් එම රෝහලින් වාර්තා විය.

කොරෝනා රෝගියකු බවට පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 14 වැනිදා ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පැවසීය.

දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ පසුගිය 19 වැනිදාය. කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කරන ඔහු ඉකුත් 11 වැනි කොළඹ සිට අධිවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිණ ඇත. පසුව මාතර සිට දෙයියන්දර බලා ධාවනය වන ලංගම බසයකින් දෙයියන්දර නගරයට ළඟා වී එතැන් සිට සිය පුතු සමග යතුරු පැදියෙන් නිවසට ගොස් ඇත. පසු දින ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබේ.

ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් 19 ආසාදිත සිසුවියක් හමුවූයේ පසුගිය 19 වැනිදාය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම සිසුවියට ඇතිවූ රෝග තත්ත්වයක් මත PCR පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී ඇත.

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේනට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

කොවිඩ් 19 ආසාදිත එම සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගත් අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක්කොට එම සිසුවියන්ට විශේෂ විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටිමට අවස්ථාව සලසා දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ පැවසීය.

කොටුව පිටකොටුව හතරවැනි හරස් වීදියේ ව්‍යාපාරික ආයතනයක සේවය කළ සේවකයන් සිවු දෙනකුට කොවිඩි 19 ආසාදනය වී ඇති බව තහවුරු වූයේද 19 වැනිදා පස්වරුවේය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයකු එම ආයතනයේ සේවය කිරීම නිසා ඔවුන්ද ආසාදිත තත්ත්වයට පත්ව තිබෙන අතර එම ආයතනයේ සේවකයන් 35 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. මීගමුව නගරාශ්‍රිතව එදින දහවල් තවත් ආසාදිතයන් 24 දෙනකු හඳුනාගෙන ඇති අතර එම රෝගීන් වාර්තා වී තිබුණේ මීගමුව මුන්නක්කරය, සිරිවර්ධන පෙදෙස, ශාන්ත ජෝශප් පාර, රාජපක්ෂ පාර සහ කටුවාපිටිය යන ප්‍රදේශවලිනි. එමෙන්ම මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවි සැලක් පවත්වාග‍ෙන ගිය ව්‍යාපාරික යුවළක්ද ආසාදිතයන් බව හෙළි වීමත් සමඟ එම වෙළෙඳ සංකීර්ණය වසා දමා එහි සිටි 100ක් පමණ පිරිසක් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කෙරිණ. එමෙන්ම 22 වැනිදා වන විට කටුනායක ආයෝජන කලාපයේ කම්හල් 28කින් කොවිඩ් 19 ආසාදිතයන් 358ක් වාර්තා වී තිබිණ. මේ වන විට පොලොන්නරුව වැලිකන්ද විශේෂ රෝහලේ ආසාදිතයන් 101ක් ප්‍රතිකාර ලබමින් සිටී.

කළුතර අගලවත්තේ ගම් 5ක් සහ පාලින්ද නුවර බෙල්ලන හුදෙකලා කෙරේ

ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරන අයකුද කොවිඩ් 19 ආසාදිතයකු බව හෙළි වූයේ 19 වැනිදාය. ඔහු පසුගිය දිනවල සාගරිකා දුම්රියෙන් අම්බලන්ගොඩ සිට කොළඹ සේවයට පැමිණ ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධානයට ලක්කර තිබේ. 21 වනදා වන විට කොළඹ නැව් තටාකංගනයෙන් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව කොළඹ වරායේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුද කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟ වරායේ භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස නම් කරනු ලැබුණේ පසුගිය 20 වැනිදාය. ඒ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ බලපෑම කළුතර, මතුගම සහ අගලවත්ත ප්‍ර දේශවලට ව්‍යාප්ත වීම නිසාය. අගලවත්ත ප්‍රදේශයෙන් පසුගිය 19 වැනිදා කොවිඩ් 19 ආසාදිතයන් 3 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 69 දෙනකු නිරෝධායනයට ලක්කර පුද්ගලයන් 168කගේ PCR පරීක්ෂණ සිදු කෙරිණ. කෙසේවෙතත් තවදුරටත් ‍වයිරසයේ ව්‍යාප්තිය පාලන කිරීමේ අරමුණින් 21 වැනිදා පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරී කොට්ඨාස නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කෙරුණේ ඒ වන විට කළුතර බල ප්‍රදේශ 10කින් ආසාදිතයන් 61ක් හමුවීම නිසාය.

මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසු ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඇගේ සමීපතමයන්ගේ PCR පරීක්ෂණවලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර එම තරුණිය 19දා විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටියාය. සංචරණ සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ PCR පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ 25කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය විය. කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන ඉහළ යෑම සහ ආශ්‍රිතයන් පිරිස වැඩිවීම සැලකිල්ලට ගනිමින් පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කෙරිණ. කුලියාපිටිය, පන්නල , ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ 20 වැනිදා පස්වරුවේය.

ලොකුම ප්‍රශ්නය පෑලියගොඩ මාළු කඩේ

මතුගම සුඛෝපභෝගී බස් කොරෝනා පොකුරේ ආසාදිතයන් අතරට මතුගම, ඕවිටිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු පස් නමකද අයත් බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හිමිකරු, රියැදුරු, කොන්දොස්තර සහ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි ජාතික රෝහලේ සේවය කරන හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මුලින්ම හෙළිවීමත් සමඟ එම පිරිසගේ ආශ්‍රිතයන් සඳහා සිදුකළ PCR පරීක්ෂණ මඟින් 26 දෙනකු ආසාදිතයන් බව හඳුනා ගැණින.

මතුගම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් 17 අතර මතුගම, ඕවිටිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ එම පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වසන කුඩා හිමිවරුන් 4 නමකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම හිමිවරුන් ඉහත සුඛෝපභෝගී බස් රථයෙන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක නිරත වී ඇති අතර පසුගිය 16 වැනිදා ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකළ PCR පරික්ෂණවලින් ආසාදිතයන් බවට හෙළිවී ඇත.

කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් 11 දෙනකු PCR පරික්ෂණ සඳහා යොමු කෙරිණ. 20 වැනිදා තවත් පොලිස් නිලධාරීන් කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීමත් සමඟ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් නිරෝධායනයට ලක්කිරීම සඳහා එම ස්ථානය තාවකාලිකව වසා දැමිණ. විෂබීජහරණය කිරීමෙන් පසු පොලිස් ස්ථානය පසුදින යළි විවෘත කෙරිණ.

කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය 32 වැනි මහලේ පෞද්ගලික ආයතනයක සේවය කළ පුද්ගලයකුට කොවිඩ් 19 ආසාදිත බව හෙළිවීමත් සමඟ එම ආයතනය තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් 14 දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමුකර 32 මහළ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පාලනාධිකාරිය කටයුුතු කළේය. කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයකුට, කොළඹ ජාතික රෝහලේ 46 වාට්ටුවට ඇතුළත් කළ රෝගීන් දෙදෙනකුට කොවිඩ් 19 ආසාදිත බව හෙළි විය.

මතුගම ගම්මාන 3ක් හුදෙකලා කෙරේ

පිටකොටුව මැනින් වෙළෙඳ සංකීර්ණයද මේ වන විට තාවකාලිකව වසා දමා ඇත. ගම්පොල මිල්ලගත්වත්ත ප්‍රදේශයේ පදිංචි වේයන්ගොඩ විහාරස්ථානයක සේවය කළ පෙදරේරුවන් දෙදෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ එම ප්‍ර දේශයේ පුද්ගලන් 40දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් තවත් ආසාදිතයක් තිදෙනකු හමුවිය. බලපිටියෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයාගේ පවුලේ අයකු සභභාගි වූ අවමංගල උත්සවයකට සහභාගි වූ 40 දෙනකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ අතර බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද වේ.

පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සංකීර් ණයේ වෙළෙඳුන් 46ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 3දෙනකු ඇතුළු 49 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ 21 වැනිදා රාත්‍රී 10 සිට 26 වැනි සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිණ. මට්ටක්කුලිය, වැල්ලම්පිටිය, අංගොඩ, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, මරදාන, මාලිගාවත්ත, මොරටුව, බත්තරමුල්ල, කොස්වත්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, හැඳල, දළුගම, රාගම, කඳාන, වත්තල, කැලණිය යන ප්‍රදේශවල පංදිචි කරුවන් වන අතර විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීමත් සමඟ එදින පස්වරුවේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමිණ.

14 වැනි මරණය කුලියාපිටියේ 50 හැවිරිදි කතක්

22 වැනිදා කොවිඩ් ආසාදිත රෝගීන් 309 ක් වාර්තා වූ අතර ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන්ද දෙදෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 75දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද වේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එදින දහවල් සිට කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලුමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බලප්‍ර දේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිණි. එමෙන්ම එදින පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්‍ර දේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිණ. මෙම වයිසරයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මේ වන විට කඩුවෙල, දෙහිවල, කොට්ටාව මත්ස්‍ය වෙළෙඳසැල් සහ බේරුවල ධීවර වරායද තාවකාලිකව වසා දැමිණ.

කොවිඩ් 19 වයිසරය විසින් මරු තුරුලට යැවූ 14 වැනියා පිළිබඳ වාර්තා වූයේ 22 වැනිදා පස්වරුවේය. එසේ මරණයට පත්වූයේ කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි කස්තුරි ආරච්චිලාගේ ස්වර්ණා රංජනී නමැති 50 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාවගේ සැමියාද කොවිඩ් ආසාදිතයකු වන අතර ඔහුද මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඔවුන් දෙදෙනාම කුලියාපිටියේ සුවකිරීමේ දේව මෙහෙයට සහභාගිවූවන් බව පැවසේ.

මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 13කට කොවිඩ් වයිසරය ව්‍යාප්ත වී ඇති බවත් සෙසු දිස්ත්‍රික්ක වෙතද වයිසරය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඡායාරූප - සමන්ත වීරසිරි, හිරන්ත ගුණතිලක

Comments