කොරෝනා හමුවේ රැකියා සුර­ක්ෂි­තද? | සිළුමිණ

කොරෝනා හමුවේ රැකියා සුර­ක්ෂි­තද?

කෝවිඩ් 19 පැතිර යෑමත් සමඟ මේ වන විට මුළු ලෝකයම ආර්ථිකමය වශයෙන් බිඳ වැටෙමින් දරුණු අවපාතයකට පැමිණ ඇත. මේ රටටත් මේ වසංගතය හරහා රැකියා ක්ෂේත්‍රයේ විශාල අර්බුද ගණනාවක් මතුවී ඇත. එමෙන්ම දේශිය නිෂ්පාදන ඉල්ලුම අඩුවීම, මුදල් සංසරණය අඩුවීම සැපැයුම් අඩුවීම නිසා ආර්ථික අවපාතයකට ලක්විය. ඒ නිසා මේ මුල්‍යමය අර්බුදය නිසා රැකියා ක්ෂේ්‍ත්‍ර යේ විශාල වෙනස් වීම් රැසක් ඇතිවෙමින් පවති.

ඇතැම් අවස්ථාවල රැකියා අහිමිවීම්ද සිදුවී ඇත. මිනිසුන්ට බහුවිධ ගැටලු රාශියක් මතුවී ඇත. එසේ වුවත් කොරෝනා පාලනයේදි අපි මුල සිටම ශක්තිමත් ලෙස මේ තත්ත්වයට මුහුණ දීම නිසා මේ අභියෝගය යම්තාක් දුරට ජය ගැනීමට සහ රට වසා දැමීමක් නොකර මේ අවස්ථාවේදී කටයුතු කිරිමේ හැකියාව ලැබී ඇත. ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටී ඇති බැවින් මේ බිඳවැටෙන ආර්ථීකය සහ රැකියා සියල්ල රැක ගැනීම සියලු දෙනා එකතු වී කළ යුතු කරුණකි. මේ ගැටලුව ගෝලියව ජයගත යුතු සහ ගෝලීයව විසඳිය යුතුයි. රාජ්‍ය සේවකයන්ට මේ තත්ත්වය එතරම් දුරට බලනොපෑවත් පුද්ගලික ක්ෂේත්‍ර යම් කඩා වැටීමකට ලක්වී ඇත. ස්වයං රැකියා කිරීමෙන් ජිවත් වන පිරිස් ද තම ජීවනෝපාය මාර්ග කරගත නොහැකි තත්ත්වයකට මුහුණ පා ඇත. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට පුද්ගලික අංශවලට විවිධ ණය දෙන යෝජනා ක්‍රම මේ වන විටත් ඇති කරමින් පවතියි. පෞද්ගලික අංශයට රැකිවේ අවධානමක් මතු වී ඇත. රැකියා අහිමි වීම් අඩ වැටුප් මූලික වැටුප් ලැබීම වැනි තත්ත්වයන් උද්ගතවී ඇත. විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ සහ දෛනික වැටුප් ලබන පිරිසක් මේ රටේ වෙයි. රාජ්‍ය අංශයේ සේවකයන්ට මේ ගැටලුව මෙතෙක් බලනොපෑවද පුද්ගලික අංශයට ඒ අයගේ කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා විවිධ සහනදායි ක්‍රමවේද අනුගමනය කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය සහ රජය සාකච්ජා කරමින් පවතී. කෙසේ වෙතත් රටක් ලෙස නැවත ගොඩ නැඟීමට නම් රජය සහ පුද්ගලික අංශය එකතු වීමෙන් දෙපාර්ශ්වයම ජයග්‍රහණය කරන එකඟතාවකට පැමිණීම අනිවාර්යය කාරණාවකි. කළයුතු වන්නේ ඉතා සරල කාරණාවකි එනම් නිසි සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ආරක්ෂා කරගනිමින් ස්වයං පාලනයක් ඇති කරගැනීමයි. කොරොනා සමඟ ජීවත් වෙමින් අපි රට ගොඩනැඟිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නීති රෙගුලාසි තිබුණද ලෝක ‍සෞඛ්‍ය සංවිධානය යටතේ සෞඛ්‍ය නීති අනුමත වී තිබුණද මේ වසංගතයෙන් ගොඩ ඒමට මෙන්ම අපි රැකියා සුරක්ෂිත කරගැනීමට නම් අපට ස්වයං විනයක් තිබිය යුතුයි. සෞඛ්‍ය රෙගුලාසි රැක ගත යුතුය. එ මෙන්ම රැකියාවන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්නේද යන්න නියාමනය කිරීමත්, අධීක්ෂණය කිරීමක් වගකිව යුතු පාර්ශ්වයන් විසින් කළ යුතුයි. එය රජයට පමණක් කළ හැකි කරුණක් නොවෙයි. කොරෝනා වසංගතය පැතිරීමට පෙර තත්ත්වයට එකවර අපිට යළි පැමිණිය නොහැකි වුවත් අපි යම් තාක් දුරට හිස එසවිය යුතුයි.

බැට කන්නේ කම්කරුවන්

 ‘දාබිදු සාමූහික’හි වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරී

රටේ බිඳවැටෙන ආර්ථීකය සහ රැකියා සියල්ල රැක ගැනීම සියලු දෙනා එකතු වෙලා ගෝලියව ජයගත යුතු සහ ගෝලියව විසඳිය යුතු ප්‍රශ්නයක්. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය රඳා පවතින්නේ ගෝලීය ඇණවුම් සමඟයි.

මීට පෙර කොරෝනා මතුවීමත් සමඟ රැකියා අහිමි වුණා. නමුත් ඒ ඇතැම් අයට වෘත්තිය සමිති නැහැ. මේ මොහොතේදීත් කම්කරුවන්ට ඔවුන්ගේ දුක්ගැනවිලි කියන්න කවුරුත් නැහැ. ඒ අයට ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුව පමණයි කාන්තාවන් සඳහා කිසිදු දුක්ගැනවිල්ලක් කියන්න අවකාශයක් නැහැ. සමහර අයගේ රැකියා සුරක්ෂිතභාවයක් නැහැ. ඇතැමුන්ට වැටුප් ගෙවීම් සිදු කර නැහැ. මූලික වැටුප, අඩ වැටුප් ගෙවන තත්ත්වයන් ඇතැම් ක්ෂේත්‍රවල ඇතිවෙලා තියෙනවා. නිරෝධායනයට පත් කරන අයගේ රැකියා පිළිබඳ ගැටලුව කොතරම් දුරට නියාමනය වනවා ද අධීක්ෂණය වනවා ද? ඒ අයගේ රැකියා සුරක්ෂිතවනවාද කියන ගැටලුව මතුවෙනවා. කම්කරුවන්ට ඉතිරි කිරීම් නැහැ.

මේ අය නිසා විදෙස් විනිමය උපයා ගත් පිරිස් ඔවුන් වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. සියලු දෙයින් බැට කෑවේ කම්කරුවන්. පන්ති පරතරය කියන දේ හොඳින් දර්ශනය වුණ අවස්ථාවක් මේ. විදේශ විනිමය උපයන කොඳු නාරටිය තමයි මේ අය. සියලු දෙනාගේ දායකත්වයෙන් මෙවර රැකියාව රැක ගන්නේ කෙසේ කියන අභියෝගය අපි ජය ගත යුතුයි. ඇඟලුම් ක්ෂේත්‍රය ලාභදායි කර්මාන්තයක්. පළමු කොරෝනා රැල්ල අවස්ථාවේදී වන්දියක් නැතුව ඇතැම් අය අයින් කළා. මේ මොහොතේත් ඒ තත්ත්වය විය හැකියි. හාම්පුතාට වාසි වන ආකාරයටයි හැමදාමත් බලධාරීන් තීරණ ගන්නේ. මාර්තු සැප්තැම්බර් දක්වා අවම වැටුපක් ගෙවනු ලබන්නේ. ඇතැම් විට ඒ වැටුපෙනුත් භාගයයි ගෙවන්නේ. අතිකාල, ප්‍රසාද දීමනා කප්පාදු කරලා තියනවා. මේ ගැන සෙවීම කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීමක්. වැඩකරන සමහර ආයතනවල සමහර කම්කරුවෝ කොරෝනා ආසාදිතයෝ. ඒ අය බලන්නේ ලාබය උපරිම කර ගැනීමටයි. ‘මෑන්පවර්‘ සේවකයන්ට මේ වනවිට කිසිදු රැකියාවක් නැහැ. කම්කරුවන්ට සමාජ සංරක්ෂණ වැඩපිළිවෙළක් සකස්කළ යුතුයි. ආරක්ෂණයක් තිබිය යුතුයි. ආපදා කළමනාකරණය යටතේ යම් කිසි අරමුදලක් ගොඩනඟලා මේ අවස්ථාවේ ඒ අයට පිහිට විය යුතුයි.

තේ කර්මාන්තය, ඇඟලුම්, සංචාරක ක්ෂේත්‍රයෙන් අපේ රට රැකුණා. වෙන ගොඩ එන්න මාර්ග අපිට නැහැ ඒ සඳහා ශ්‍රමය වගුරණ සේවකයන්ගේ පැත්තෙන් සොයා බැලිය යුතුයි.

 

පෞද්ගලික අංශය කඩා වැටෙන්න දෙන්න බැහැ

 පොදුජන පෙරමුණු වෘත්තිය සමිති සභාපති, අමාත්‍ය ගාමිණී ලොකුගේ

ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව රැකියා සම්බන්ධයෙන් ලොකු අභියෝගයක් පවතිනවා. මේ ගැටලුව අපිට පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපාලා තියෙනවා. මේ කොරෝනා පාලනයේදී අපි මුල සිටම ශක්තිමත් ලෙස මේ තත්ත්වයට මුහුණදීම නිසා අභියෝගය යම් තාක් දුරට ජය ගැනීමට සහ රට වසා දැමීමක් නොකර මේ අවස්ථාවේදී කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

ලෝක ආර්ථිකය කඩා වැටුණා වගේ ලංකාවේ ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටිලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට නම් රජයෙන් වැටුප් ලැබෙනවා. නමුත් පෞද්ගලික අංශය කඩා වැටීමට ලක්වුවහොත් සේවකයන්ට වැටුප් ගෙවන්නේ කොහොමද? පෞද්ගලික අංශවලට එදිනෙදා ඒ අයගේ ව්‍යාපාර කරගැනීමට හැකියාවක් ලැබුණොත් පමණයි ආදායමක් ලැබෙන්නේ.

පෞද්ගලික අංශවලට විවිධ ණය යෝජනා ක්‍රම මේ වන විට ඇති කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයට කර්මාන්ත පවත්වාගෙන යන්නට ඒ අයගේ ගැටලු දෙස බොහොම ගැඹුරින් කල්පනා කරමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගණනාවක් ගෙන තියෙනවා.

පහසුකම් සහ සහන ලබාදීමට කඩිනමින් කටයුතු කරනවා. ඒ ගැන කම්කරු අමාත්‍යාංශය සහ රජය සාකච්ජා කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික අංශය එකතුව එකඟතාවකට පැමිණිය යුතුයි. පෞද්ගලික අංශයේ ආයතන කඩා වැටෙන්න ඉඩ හරින්න බැහැ. ජනතාවගේ රැකියාවන් සුරක්ෂිත වන්නේ ආයතන සුරක්ෂිත වුවහොත් පමණයි. එසේ නම් අපි මේ එකඟතාවන්ට කඩිනමින් පැමිණීමට සාකච්ජා කිරීම සිදු කළ යුතුයි.

කොරෝනා වසංගතය පැතිරීමට පෙර රටේ තිබූ තත්ත්වයට අපිට යළි පැමිණිය නොහැකි වුවත් යම් එකඟතාවකින් අපි මේ ගමන ආරම්භ කරමින් යනවා. සංචාරක ව්‍යාපාරය මුළු ලෝකයේම කඩා වැටීමට ලක්වෙලා. එය අපිටත් තදින්ම බලපා තියෙනවා. මිලියන විස්සක් ලෝකයේ සංචාරය කළා. එය අද වන විට 0 දක්වා අඩුවෙලා.

ස්වයං රැකියා ක්ෂේත්‍රවල ජනතාවට රැකියාව අභියෝගයක් බවට පත් වී තියෙනවා. අනෙක් ක්ෂේත්‍රවලත් යම් යම් ප්‍රශ්න මතු වෙලා. අපි ඒ අභියෝග ජයගත යුතුයි. කොරෝනා සමඟ රැකියා සුරක්ෂිත කරගනිමින් ඉදිරියට යන්නේ කොහොමද කියන අභියෝගයට අපි රටක් ලෙස ඉදිරියේදී මුහුණ දිය යුතුයි.

 

මීටරයක් දුරින් ඉදන් අපේ රාජකාරි කරන්න බැහැ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු

මේ වන විට රැකියා සැලකිය යුතු ප්‍රමාණයක අවිනිශ්චිත භාවයක් ඇතිවෙලා තියෙනවා. කොරෝනා රෝගයට අදටත් කිසිදු ඖෂධයක් නැහැ. තාම සායනික මට්ටමේ අත්හදා බැලීම් තියෙන්නේ. ඒ නිසා අපිට වසරක් දෙකක් කොරෝනා සමඟ ජීවත් වෙන්න සිද්ධවෙලා තියනවා. කොරෝනා සමඟ ජීවත් වෙනකොට ජනතාව ඒකරාශී නොවී සිටිය යුතුයි. එසේ නම් රාජ්‍ය පෞද්ගලික ආයතනවල කාර්යය මණ්ඩල සීමා කරමින් රාජකාරි කරන්න වෙන්නේ. රාජ්‍ය ආයතන ගත් විට රජයේ සේවකයන්ට නිවෙස්වල හිටියත් වැටුප ලැබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රැකියාවේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ.

නමුත් කොරෝනා සමඟ රැකියාව කිරීමේදී අපටත් ජීවිත තර්ජන තියෙනවා. මීටරයක් දුරින් ඉදගෙන ඇයගේ රාජකාරිය කරන්න බැහැ. ගැබිනියක් පරීක්ෂා කිරීම, දරුවන්ට - මව්වරුන්ට එන්නත් ලබා දීම වැනි කටයුතු එසේ දුර සිට කරන්න බැහැ. ගෙයින් ගෙට යනකොට අපිට තවත් විශාල අවදානමක් තියනවා. අත්සෝදා ගැනීමට පහසුකම් නැහැ. නියමිත විෂබීජහරණයක් ලබා දිය යුතුයි. එවැනි අවස්ථාවලදී රැකියාව පැත්තෙන් අපට ලොකු අවදානමක් පවතිනවා. අපිට දුරකතන පහසුකම්වත් සලසා ගැනීමට කිසිදු වරප්‍රසාදයක් ලබා දී නැහැ. අපේ සේවාවේ අවදානම වගේම මේ වන විට පෞද්ගලික අංශයට රැකියාවේ අවදානමක් පවතිනවා. අපේ රටේ වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රැකියා කරන සහ දෛනික වැටුප් ලබන පිරිස් ඉන්නේ. මේ වයිරසය පැතිරීමත් සමඟ මනුෂ්‍ය ශරීරයට ප්‍රතිශක්තිය වැදගත් වෙනවා. අපිට යම් කිසි හෙයකින් ආර්ථීකය බිඳ වැටීමේදී ආහාර සපයා ගැනීම අපහසු වීම තවදුරටත් රෝගී තත්ත්වයන්ට මුහුණ දීමේදී ආසාදනයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් මේ ප්‍රතිශක්තිය අඩුවීමෙන් සිදු වෙන්න පුළුවන්. මේ තත්ත්වය අනුව නිසි පෝෂණයක් නොලැබීම නිසා රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබිය හැකියි.

ඒ අයගේ ශ්‍රම දායකත්වය ලබා ගන්නවා නම් හාම්පුතුන් සේවක අයිතිවාසිකම් දෙස බැලිය යුතුයි. පෞද්ගලික අංශයේ හිමිකරුවන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරගැනීමට ඉඩනොදී ඒ අයගේ පැත්තෙන් යම් කිසි නීති මාලාවක් දාලා මේ සේවක සේවිකාවන් සුරක්ෂිත කළ යුතුයි. රැකියා සුරක්ෂිතභාවයක් නැති අවස්ථාවක මේ අය පාරට බැහැලා මොකක්ද කරන්නේ. මේ අයගෙ දරුවන්ට මොනවද වෙන්නේ.

සෞඛ්‍ය රැකගැනීමේ වගකීම අපට තියෙනවා

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් ජයරත්න

කොරෝනා තත්ත්වයත් සමඟ අපේ ව්‍යාපාරත් කඩා වැටීමකට ලක්වෙලා තියනවා. නමුත් මේ පවතින තත්ත්වයත් සමඟ කෙසේ හෝ අපේ ව්‍යාපාර දියුණු කරගැනීමට අපි උත්සාහ කරනවා. දැනට වාහනවලට ලබා දෙනවා යැයි සඳහන් කළ සහන කාලය ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. ඒවාගේ පොලිය එකතු වෙලා තියනවා.

ඉදිරියට මේ ගැටලුව අපිට තදින්ම බලපානු ලබනවා. රජය පැත්තෙන් මේ දේවල්වලට පොඩි සහනයක් ලබා දෙනවා නම් හොඳයි. රජය කරගෙන යන්නෙත් ලොකු අසීරු කටයුත්තක් බව අපිට පේනවා. විෂබීජහරණය කිරීමේදී යම් පිරිවැයක් දරන්නට සිදුවෙනවා.

එවැනි කටයුතුවලදී රජයට යම් මැදිහත්වීමක් සිදු කරන්නට පුළුවන් නම් එය ඉතාමත් වැදගත්. හෝටල් ක්ෂේත්‍රයට සපයන එළවළුවලට සැපැයීම සම්පූර්ණයෙන් නතර වෙලා තියනවා. සංචාරකයන් පැමිණීම අඩුවීමත් සමඟ එය සිදු වූ දෙයක්. තොග වශයෙන් එළවළු මිලදී ගත් පිරිස්වල යම් අඩුවීමක් තියනවා.

හෝටල් ක්ෂේත්‍රවල හැරුණු විට සමහර පළාත්වලින් මේ වනවිට එළවළු මිලදී ගන්න පැමිණීමක් සිදුවෙන්නේ නැහැ. හෝටල් ක්ෂේත්‍රයේ සිට සියලු ක්ෂේත්‍ර එකට ගැට ගැසී ඇති දාමයක් සේ බලපානවා. වාහනවලට ලීසින් සහනයක් ලබාදීමට යම් මැදිහත් වීමක් රජයට සිදු කළ හැකි නම් එය ලොකු උපකාරයක්.

රැකියා සුරක්ෂිත කරගනිමින් ඉදිරියට යාමේදී අපිටත් යම් වගකීමක් තියෙනවා සෞඛ්‍ය රැකගෙන ඉදිරියට යන්න.

 

සියලු දෙනාගේ රැකියා සුරක්ෂිතභාවයට පියවර ගත යුතුයි

සමස්ත ලංකා රජයේ රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජයතිලක පතිරණ

මේ අවස්ථාවේදී රටක් පවත්වාගෙන යන්න අවශ්‍ය දායකත්වය අපි ලබා දෙනවා. ඇදිරිනීතිය තිබුණා කියලා ගැටලුවක් නැහැ. සෞඛ්‍ය සේවයේ නියුතු පිරිසටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන්ගේ සේවය සපයන්නත් අපේ දායකත්වය ලබා දෙනවා. අතිකාල, සංයුක්ත දීමනා අඩුවක් තියෙනවා. නමුත් පෞද්ගලික අංශයේ මීට වඩා වෙනස්. සේවකයන්ට මාසයක් දෙකක්වත් වැටුප් ගෙවිය යුතුයි. ඒ අය මෙතෙක් කල් උපරිම ශ්‍රම දායකත්වය ලබා දීලා තියනවා. ඒ අයගේ ශ්‍රමයෙන් මුදල් උපයාගෙන තියනවා නම් ඒ අය වෙනුවෙන් මැදිහත් වීමක් බලධාරින් විසින් කළයුතුයි. අපි වෘත්තිය සමිතිවල බලපෑම් කරනවා මේ සේවකයන්ට මාස දෙකතුනකවත් වැටුප් ගෙවිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. වෘත්තීය සමිතියක් ලෙස. කම්කරු උපදේශන සභාව හරහා විරෝධතාවයන් මතු කරමින් මේ අයගේ රැකියා සුරක්ෂිතභාවය තබාගත යුතුයි කියන ස්ථාවරයේ සියලු දෙනා සිටිනවා. අපි රජයටත් යම් යෝජනා ඉදිරිපත් කළා. යම් සෞඛ්‍ය විධිවිධාන සමඟ අපි සිටිය යුතුයි. රාජ්‍ය අංශයෙනුත් ඉල්ලීමක් කරන්න තියෙනවා.

මේ අවස්ථාවේ රැකියා සුරක්ෂිත භාවය රැකගනිමින් ඉදිරියට යෑමටනම් රාජ්‍ය අංශය රජයට සහාය දක්වමින් සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි.

 

ලීසිං සහනයක් ඕනේ

සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු

කොරෝනා පළමුවැනි බලපෑමෙන් පසුව අපි ආර්ථිකමය වශයෙන් බිඳවැටීමට ලක්වෙලා නැවත ගොඩ එමින් සිටි අවස්ථාවක නැවත මේ තත්ත්වය උද්ගත වුණා. බැංකුවලින් කතා කරලා කියනවා වාරික ගෙවන්න කියලා. නමුත් අපිට වාරික ගෙවා ගන්න තරම් ආදායමක් ලැබෙන්නේ නැහැ.

ඒ සමඟම කොරෝනා අවස්ථාවේදී බස් රථ අලුත් වැඩියාවට, ටයර් නැවත දැමීමට ණයක් ගත්තා. ඒ ණය අපිට ගෙවා ගන්න විදිහක් නැහැ.

බස් දුවන්න විදිහක් නැහැ අපි නැවත ඉල්ලීමක් කළා. ණය සහන ඉල්ලන්නේ නැහැ. ණය වාරික ටිකක් ගෙවීමට පහසු කරන්න කියලා ඉල්ලීමක් කර තියෙනවා. අපි දන්නවා රජයත් අපහසුවෙන් රට ගෙනියන්නේ කියලා. අසාදු ලේඛන ගත වන එක නවත්තන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපිට අපහසුතාවන් ගොඩක් තියෙනවා ණය සහනයක් දෙන්න පුළුවන් නම් එය ලොකු දෙයක්.

රට අක්‍රිය කර නැති නිසා අපිට පොඩි ගමන් බිමන් ලැබෙනවා.

පොදුවේ දෙන සහනයක් දෙනවා නම් ඒක ලොකු දෙයක්. අපි විශේෂ සහන ඉල්ලන්නේ නැහැ. මේ තත්ත්වය පෞද්ගලික අංශයේ වගේම ස්වයං රැකියා ක්ෂේත්‍රයේ සියලු දෙනාට පොදුවේ බලපානු ලබනවා. අපි එය තේරුම් අරගෙන ඉන්නේ.

 

අපට ආදායමක් නැත්තේ ටයර් ආනයනය සීමා කළ නිසයි

ටයර් හවුස් හි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස්

ආයතනයක් ලෙස අපේ සේවකයන් කිසිදු කප්පාදුවකට ලක් කර නැහැ. පළමු කොරෝනා වසංගත අවදානම් අවස්ථාවේදීත් කිසිදු සේවක කප්පාදුවක් කෙළේ නැහැ. රජය විසින් විදෙස් විනිමය පාලනය කිරීම සහ තාවකාලික ආනයනික තහනමක් පැනවීමක් කළා. ටයර්වලට ඒ නිසා ලොකු බලපෑමක් ඇති වුණා. ආදායම පහතට වැටුණු අවස්ථාවකදී ආයතනයක් පවත්වාගෙන යාමට අපහසු වෙනවා. අපිට දෙපාර්ශ්වයකින් පහර වැදෙනවා මේ අවස්ථාවේදී. එකක් කොරෝනා නිසා ඇති වී තිබෙන තත්ත්වයයි අනෙක ටයර් සඳහා ආනයනික තහනම. මේ සියල්ල සමස්තයක් වශයෙන් ලෝකයටම බලපානු ලබන කාරණාවන්.

අපේ ආයතනයේ සේවක වැටුප් කප්පාදු කර නැහැ. අපි ටයර් ගෙන්වන්න අවසර දෙන්න කියලා ඉල්ලීමකර කර තිබෙනවා. තවම සුබදායක පිළිතුරක් නැහැ. අපි වෙළෙඳා කළොත් පමණයි ආයතනයක් පවත්වාගෙන යන්නට හැකිවෙන්නේ. අපිට මේ වගේ මාසහයක් හතක් කරගෙන යන්න පුළුවන් බැංකුවලට ණය වෙලා දිගටම කරගෙන යන්න බැරිවුණොත් අපිටත් අකමැත්තෙන් හරි සේවකයන් අවම කරන්න වෙනවා.

කොරෝනා නිසානම් නොවෙයි මෙය වෙන්නේ ආනයනික තහනම නිසයි. අපේ ආයතනයේ බොහෝ පිරිසක් ඉන්නේ එළිමහන් කටයුතුවල. ඒ අයට සෞඛ්‍ය රෙගුලාසි සමඟ ඉදිරියට කටයුතු කරගෙන යන්න අවශ්‍ය කටයුතු සිදු කර තියෙන්නෙ.

 

ආයතනවල කාර්යක්ෂතාව පවත්වා ගෙන යෑම වැදගත්

රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ම. හේ. නිමල් කරුණාසිරි

 

මූලික වශයෙන් කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් මේ රැකියා ප්‍රශ්නය පිළිබඳව අපිට සලකා බැලිය යුතුයි. විධිමත් සමීක්ෂණයක් කරන්නට අවශ්‍යයි; මොනවගේ ක්ෂේත්‍රවල ද රැකියා අහිමිවෙලා තියෙන්නේ, ආදායම අහිමි වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නම් රැකියා නැති වෙන්නෙත් නැහැ; ආදායම අඩුවෙන්නෙත් නැහැ. අපේ අවධානය යොමුවෙලා තිබුණේ නැහැ ඒ ක්ෂෙත්‍රවලට. දිගුකාලීනව වඩා කෙටිකාලීනව එය කරගත හැකි ප්‍රවණතාව වැඩියි. අපේ ලංකාවට වැඩියෙන්ම ආදායම ලැබුණේ ඇගැලුම් ක්ෂේත්‍රයෙන්. දැනට මුහුණ දෙන කාරණාව නම් එදා තිබුණ නිෂ්පාදන මේ වනවිට අපනයනය කිරිමට අපහසුයි. වෙළදපොල හදා ගැනීමේ අපහසුතාවක් ද මතු වෙලා තියෙනවා. එයට අපිට කරන්න පුළුවන් දේ වෙන්නේ විකල්ප දේවල් වලට යෑමයි. මුඛ ආවරණ වැනි දේ නිෂ්පාදනය කිරීමට අපිට හැකියි. කෝවිඩ් පාලනය කර ගැනීම ද හොඳම උපාය මාර්ගයක්. ඒ තුළිනුයි සියල්ල තීන්දු වෙන්නේ. දැනට සේවා අංශවල ගත්විට රාජ්‍ය අංශයේ නම් වැටුපක් ලබදීම සිදුවෙනවා. පෞද්ගලික අංශයත් කර්මාන්ත ශාලා හිමිකරුවන් සමඟ එකඟතාවකට රජය පැමිණිය යුතුයි. කර්මාන්තය පවත්වා ගැනීමට නම් මාස හයක කාලයකදී යථාවත් කරගැනීමට කටයුතු කළ යුතුයි. මාස හයක කාලය තුළ මුලික අවශ්‍යතා ජනතාවගේ ඉටුකර ගැනීමට හැකි පරිදි එය කළ යුතුයි. ඉන් පසුව එය නැවත ගෙවීම ආරම්භ කළ යුතුයි. නව දේවල් නිෂ්පාදනයට පෙලඹිය යුතුයි. සේව්‍ය සේවක පක්ෂයම එකඟතාව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් මේ සඳහා රජයත් එකඟතාවකට පැමිණිය යුතුයි. කුඩා කණ්ඩායම් වලට පුහුණුවීම් කටයුතු කිරීමට හැකියි.

මාස හයක කෙටිකාලීන සැලැසුම් සහ වසර පහක දිඟුකාලීන සැලැසුම් සකස් කළ යුතුයි. ආයතනවල කාර්යක්ෂතාව පවත්වා ගෙන යෑම කළ යුතුයි. ශූද්ධ වූ ලාභාංශ උපරිමය පවත්වා ගෙන යන මනසින් ඉවත්විය යුතුයි. ඒ සඳහා සේවක පක්ෂය සහ වෘත්තිය සමිති වල සහය ලබාගැනීමට හැකි වෙයි.

 

Comments