කවුද මේ පොඩි ලැසී? | සිළුමිණ

කවුද මේ පොඩි ලැසී?

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. පොඩිලැසී ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලැසිගේ පියා තෙල්වත්තේ වසන්ත නැමැති අයෙකි. ලැසිගේ පියා ජිවතුන් අතර නැති අතර වෙනත් පාතාල කල්ලියක සමාජිකයකු විසින් ඔහු වෙඩි තබා ඝාතනය කොට ඇත්තේය. ඒ කාලයේ ලැසිගේ පියා තෙල්වත්තේ සිටි චණ්ඩියෙකි. පොඩිලැසි පවුලේ බාල දරුවාය. ඔහුට එක් සහෝදරයකු සිටින අතර ඔහු ඩුබායි රටේ පදිංචිව සිටින්නේය. නිවසට විත් තම පියා ඝාතනය කරන විට පොඩිලැසි එවකට පුංචි කොලුගැටයෙකි. තම පියා මැරූ අයගෙන් පලිය ගන්නා බවට පොඩිලැසි නිතරම පාහේ මුමුණමින් සිටියේය. ලැසිගේ මවද ඒ සදහා ලැසිට දිරිය ශක්තිය ලබා දුන්නේය.

ටික දිනක් යනවිට පොඩිලැසී පියා මෙන් එම ප්‍රදේශයේ චණ්ඩියකු බවට පත්වන්නේය. තම පියා මැරු අයගෙන් පළිගැනීම සදහා අවස්ථාව එනතෙක් පොඩිලැසි ඇගිලි ගනිමින් සිටියේය. පියා ඝාතනය කරනු ලැබුවේ එවකට පතාල කල්ලි සාමාජිකයකු වු මනෝජ් මෙන්ඩිස් නැමැත්තා බවට පොඩිලැසි සැක කළේය. එහෙත් ඒ කාලයේ මනෝජ් මෙන්ඩිස්ට කිට්ටු වීමට තරම් පොඩිලැසිට ශක්තියක් නොතිබුණි. පසුව පොඩිලැසි මනෝජ් සමඟ හිතවත්වී ඔහුගේ ගෝලයකු බවට පත්වන්නේය. එහෙත් පොඩිලැසි මනෝජ් මෙන්ඩිස් සමඟ පසුවුයේ දැඩි වෛරයකිනි. ලෙයට ලෙයින් පළිගැනීමේ අවස්ථාව එනතෙක් පොඩිලැසි ඇගිලි ගනිමින් සිටියේය. ඒ වනවිට පොඩි ලැසිට යම් සහචරයන් පිරිසක්ද සිටියහ. 2015 වර්ෂයේ දි මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරිමත් සමඟ පොඩි ලැසි පාතාලයේ නායකයකු බවට පත්වන්නේය. 2015 වර්ෂය පෙර පාතාලය තුළ පොඩිලැසි එතරම් ජනප්‍රිය චරිතයක් නොවීය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයත් සමඟ පොඩි ලැසි පාතාලය තුළ එක් රැයකින් ජනප්‍රිය තත්වයට පත්වුහ.

පොඩි ලැසි කාලයක් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටියේය. පොඩි ලැසිට බන්ධනාගාරය ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිබුණි. ඇප ලබා දුන්නද ඇප කොන්දේසි සපුරාලීමට පොඩි ලැසිලා කටයුතු කළේ නැත. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ විශේෂ ගණයේ අපරාධකරුවන් බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා තැබීමට කටයුතු කෙරිණි. එහි කොස්ගොඩ තාරක, කන්ජිපාන් ඉම්රාන්, වෙලේසුදා, ඌරුජුවා ඇතුළ පාතලා කල්ලි සාමාජිකයන් පිරිසක් සිටියහ. මේ අතරේ පොඩි ලැසිලා කොස්ගොඩ තාරකලා ඇතුළු පිරිසක් පහසුකම් මදි බව පවසමින් බුස්ස බන්ධනාගාරය තුළ අාහාර නොගෙන උපවාසයක් ආරම්භ කරනු ලැබීය. එහෙත් එම උපවාසයද ලත් තැනම ලොප්විය. 

මේ ගැන සොයාබැලීමට බුස්ස බන්ධනාගාරයට ගිය බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට හා සහකාර අධිකාරිවරුන් දෙදෙනෙකුට පොඩි ලැසි, කොස්ගොඩ තාරක ඇතුළු පිරිස තර්ජනය කළහ. ඉන් නොනැවතුණු මෙම පාතාල සාමාජිකයන් පොලිස් නිලධාරින් පිරිසකට මරණිය තර්ජනය කොට ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා මරා දමන බවට තර්ජනය කරනු ලැබිය. මේ සමඟ පොඩිලැසිට හා කොස්ගොඩ තාරකට එරෙහිව නඩු පැවරිණි.

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා ලෙස අරුමා හන්දි ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසි නමැත්තා නම් කරනු ලැබීය. පළමු චුදිතයා ලෙස කොස්ගොඩ තාරක නම් කරනු ලැබිය. අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මගින් මෙකී තර්ජනය කිරිම පිළිබද අධිකරණයට කරුණු වාර්තාකොට තිබුණි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය පැවැත්විණි. සැප්තැම්බර් මස 25වැනි දින පැවති නඩු විභාගය සඳහා පොඩිලැසි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය. කොණ්ඩා මොස්තරවලින් සැරසි සුදු ඇදුම් ඇද සුදු සපත්තු ජෝඩුවක් පැළඳ පොඩිලැසි අධිකරණයට පැමිණ සිටියහ. එදින ලැසිට ඇප හිමි නොවීය. එනපොට හොඳ නැති බව දැනගත් පොඩිලැසිගේ අරමුණ වුයේ ඇප ලබා ගැනීමය. ඊළඟ නඩු දිනයේ දි පොඩිලැසි වෙනුවෙන් ජනාධිපති නිතිඥ ටිරන්ත වරලියද්ද පෙනී සිටියේය. මෙය ඇපදිය හැකි වරදක් බව ඔහු පුන පුනා අධිකරණය ඉදිරියේ කියා සිටියේය. අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමා හේවා ඇප ලබාදීමට දැඩි ලෙස විරුද්ධ විය. එදින ද පොඩි ලැසිට ඇප ලැබුණේ නැත. එදින පොඩිලැසි ඇප අපේක්ෂාවෙන් සිටියේය. එදින බන්ධනාගාරය තුළදි පොඩිලැසි කිලෝ 02ක් පමණ කේක්ගෙඩියක් කපා සිය උපන්දිනය සමරා ඇති බවද දැනගන්නට තිබේ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නඩු විභාගය ඔක්තෝබර් මස 16 වැනි දින දක්වා කල්තබනු ලැබීය. එදින පොඩිලැසිට ඇප ලැබිය හැකි බවට ඔහුගේ සහචරයන් බලාපොරොත්තුවෙන් සිටියේය.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත්තේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ද පුද්ගලයින් හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් සමඟ සම්බන්ධවෙමින් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරිම සදහා අවි ආයුධ රැස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මඟින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමට අධාර අනුබල දීම සැලසුම් කිරීම කුමන්ත්‍රණය කිරීම සහාසික ක්‍රියා සිදුකරමින් මෙම විත්තිකරු කටයුතු කර ඇති බැවින් 1979 අංක 48 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිවිධාන යටතේ 09 /01 වගන්තිය යටතේ මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ෙලස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළම­ාහේවා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු පොඩිලැසී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යෑම සඳහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරින් බුස්ස බන්ධනාගාරයට ගියහ. පොඩිලැසි සන්තකයේ රුපලාවණ්‍ය උපකරණ අඩංගු කිලෝ 05ක පමණ බෑගයක් තිබුණි. කොණ්ඩා මොස්තර දැමිම සඳහා මේවා භාවිත කොට ඇති අතර අාලේපන ක්‍රිම්වර්ග රැසක් තිබී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සොයා ගනු ලැබීය. කෙසේවුවද පසුගිය 16වැනි දින පොඩිලැසි හා කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සමාජිකයින් 11 දෙනෙකු ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ සුවිශේෂී වු අනාවරණයක් කළේය.

ආරක්ෂක ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට කර තිබෙන මෙම තර්ජනය විහිළුවක් ලෙස හා සුළුවෙන් තකන්න බැහැ. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනයට රාජ්‍ය නායකත්වය මෙහෙයුමක් සිදුකරද්දී බන්ධනාගාරගතව සිටින මොවුන් මේ අයුරින් කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්ත්වයක්. මෙවා මර්දනය කරන නිසා මොවුන්ගේ මරාගෙන මැරරෙන සැලසුමක් තිබිලා තියෙනවා. මෙම නඩුවට ඉතිහාසයක් තියෙනවා...‘

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ කරුණු දක්වමින් මෙසේ කිවේය.

ඇප ඉල්ලිමක් තමයි කරන්නේ. මේ නඩුවට අනුව ඇප ලබාදෙන්න පුළුවන්. ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තර්ජනය කරලා නැහැ. මේ පොඩිලැසි කියන පුද්ගලයාට එරෙහිව 2011 මිනිමරුම් නඩුවක් තිබිලා ඇප දුන්නා; 2016 නඩුවකටත් ඇප දුන්නා. ඊට පසුව තිබු නඩුවකටත් ඇප දුන්නා. මේ නඩුවට අදාළව මොහුට ඇප දෙන්න පුළුවන්. මේ අය රැඳවුම් නියෝගයක් ගත්තා. මොනවාද මේ කරන්නේ. බී වර්තාවේ නැති කතාන්දරයක් තමයි සි. අයි. ඩි. එක කියන්නේ. එක වැරදියි. මෙතරම් බලගතු සි. අයි. ඩි එකක් තියාගෙන් ලැජ්ජ නැද්ද මේ අයගේ ජාතික හැදුනුම්පත් අංක දෙන්නේ නැහැ කියන්නේ. මේ නඩුව ඇප දිය හැකි වරදක්...‘

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල; අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දශලක්ෂය බැගින් වු ශරිර ඇප 04ක් මත මුදාහැරිමට නියෝග කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දැනට ලබාගෙන ඇති දින 90 රැඳවුම් නියෝගය ක්‍රියාත්මක වන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රැදවුම් නියෝග වලින් පසු මෙකී සැකකරු සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

මේ අතර පොඩි ලැසි නමැත්තා හා ඔහුගේ සහචාරයන් විසින් ට්‍රක් රථයක් දමා බන්ධනාගාර බස් රථයක් හරස් කොට කාර් රථයකින් පැමිණ තවත් පාතාල සාමාජිකයකු වන ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා ඝාතනය කිරිමේ සැලසුමට අදාළ ට්‍රක්රථයක් කාර් රථයක් හා ස්වංයක්‍රීය පිස්තෝලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සොයාගෙන තිබේ. ට්‍රක් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ආඳාදොළ ප්‍රදේශයේ දී සොයාගෙන ඇති අතර කාර් රථය උණවටුණ ප්‍රදේශයේ තිබී සොයාගත් බැව් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති. කාර් රථය පොඩි ලැසි නැමැත්තාට අයත් එකක් බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ස්වයංක්‍රිය පිස්තො­්ලය මිටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ දි සොයාගෙන ඇත.

පොඩි ලැසි නැමැත්තා හා ඔහුගේ සහචරයන් විසින් තනි ඇටයා නැමති පාතාල සාමාජිකයා ට්‍රක් රථය දමා බන්ධනාගාර බස් රථය හරස් කොට කාර් රථයකින් පැමිණ බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලකොට තනි ඇටයා නැමැති පාතාල සාමාජිකයා ඝාතනය කිරීමට සැලසුම් කොට ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

Comments