උතුරු මැද පුස්තකාලාධිපති තනතුරු වැසිකිලි සෝදන කම්කරුවන්ට! | සිළුමිණ

උතුරු මැද පුස්තකාලාධිපති තනතුරු වැසිකිලි සෝදන කම්කරුවන්ට!

මේ වනවිට උතුරු මැද පළාතේ පුස්තකාලවල පුස්තකාලාධිපති තනතුර සඳහා පුරප්පාඩු ඇති බවත්, ඒ සඳහා තාවකාලිකව පත්කර ඇති පුද්ගලයින් ඊට සුදුසු අයවලුන් නොවන බවත් දැනගන්නට ලැබේ. සමස්ථයක් වශයෙන් මුළු රටේම පුස්තකාලවල පුස්තකාලාධිපති තනතුර සඳහා වසර ගණනාවක සිට විධිමත් පත්වීම් සිදු කර නැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රජරට පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති අ‍ශෝක රාජපක්ෂ, රජරට විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනී අශෝකා සිරිවර්ධන, අනුරාධපුර මහ නගර සභා මහජන පුස්තකාලාධිපතිනි කේ.පී.අයි සමතපාල මහත්මිය, උතුරු මැද පළාත භාර පළාත් පාලන කොමසාරිස් එන්.එ.එච්.ආර් නිශාන්ත හා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන සමඟ සාකච්ඡා කළෙමු.

සාමාන්‍ය කම්කරු වෘත්තිකයකු මේ සේවාවට ආදේශ කළ පසු අප ගමන් කරන්නේ කවර දිසාවකටද? යන ප්‍රශ්නය අප හමුවේ ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කරන අශෝකා සිරිවර්ධන පැවසූවාය.

පුස්තකාලවලින් ඉටුවන සේවය පිළිබඳව බොහෝදෙනකුට අවබෝධයක් නැති බව පෙනේ. ඊට හොඳම උදාහරණය වන්නේ උතුරු මැද පළාතේ මේ වනවිට උද්ගතව ඇති ගැටලුවය. උතුරුමැද පළාතේ පුස්තකාල 54ක් ඇති අතර, සුදුසුකම්ලත් පුස්තකාලාධිපතිවරු ඇත්තේ 5කු පමණය. තාවකාලිකව මෙම සේවය සඳහා අනුයුක්ත කර ඇති පුස්තකාලාධිපතිවරුන් ගණන 22ක් වේ. විෂය පිළිබඳව අවබෝධයක් නොමැති මෙම පිරිස් නිසා මෙම ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදුවෙමින් ඇති බවට මැසිවිලි නැඟේ. ඇත්තෙන්ම මේ ගැටලුව අද ඊයේ ආරම්භ වූවක් නොවේ. දශක ගණනාවක සිට පවතින්නකි.

අද වන විට මේ ගැටලුව සමස්ථ පුස්තකාල පද්ධතිය තුළම වයිරසයක් මෙන් උඩුදුවමින් තිබේ. පළාත්පාලන ආයතන මඟින් මෙම සේවාව සඳහා සුදුසුකම් ඇති අය පත් කිරීම වෙනුවට සාමාන්‍ය සුදුසුකම් ඇති පුද්ගලයන් මේ සඳහා බඳවාගෙන පුස්තකාලාධිපති තනතුර සඳහා පත් කර තිබේ. එසේ වුවත් පුස්තකාලාධිපති කෙනකු වීමට අවම වශයෙන් මෙකී විෂය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියකු හෝ විය යුතුය. නමුත් සිදු කර ඇත්තේ වෙනත් ක්ෂේත්‍රවල කටයුතු කරන උදවිය මෙම සේවය සඳහා අනුයුක්ත කිරීමය. උදාහරණයක් ලෙස මාර්ග කම්කරු,සනීපාරක්ෂක කම්කරු, මුරකරු,වෙළෙඳසැල් භාරකරු වැනි තනතුරු දරන අය මේ සඳහා අනුයුක්ත කර ඇත. නිසිපරිදි මෙම කටයුත්ත සිදු කරන්නේ නම් ඒ සඳහා තරග විභාගයක් පවත්වා අදාළ තනතුරුවලට බඳවා ගැනීම සිදු කළ යුතුය.

දශක ගණනාවක් තිස්සේ මෙවැනි තරග විභාගයක් පවත්වා නැත. මේ සම්බන්ධයෙන් හිටපු සභාපතිවරු හා අමාත්‍යංශ නිලධාරීන් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණද නිසි ප්‍රතිපත්ති හෝ රෙගුලාසියක් යටතේ මේ දක්වා කිසිදු බඳවා ගැනීමක් සිදු කර නොමැත. මේවනවිට සමස්ත රටේම පුස්තකාල ක්ෂේත්‍රයේ මෙම ගැටලුව උඩුදුවමින් තිබේ. බොහෝ පුස්තකාල පාලනය කරන්නේ අදාළ වෘත්තීමය සුදුසුකම් සපුරා ඇති උදවිය නොවේ.

මේ නිසාම විවිධ වෘත්තීය ගැටලු පැන නැඟී තිබේ. එසේම මේ දක්වා පුස්තකාලාධිපතිවරුන් වශයෙන් මෙවැනි සුදුසුකම් සපුරා ඇති උදවිය බඳවා ගත යුතු බවට කිසිදු රෙගුලාසියක් හෝ චක්‍රලේඛනයක් හෝ පටිපාටියක් හෝ සොයාගත නොහැකි වීම මෙම ගැටලුව ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව රජරට පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති අශෝක රාජපක්ෂ සඳහන් කර සිටියේය.

අනුරාධපුර මහ නගර සභා මහජන පුස්තකාලයේ කේ.පී.අයි සමථපාල ප්‍රකාශ කළේ 1997 න් පසු මේ දක්වා උතුරුමැද පළාත සඳහා පුස්තකාල සේවාවේ 03 පන්තියට සේවකයන් බඳවා ගෙන නැති බව ය. පුස්තකාල සේවාවට අදාළ වෘත්තිකයන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තුන් දෙනකු හා පොළොන්නරු දිස්ත්‍රික්කයට දෙදෙනකු වශයෙන් සිටින බව පැවසූ ඇය, වසර 23ක් තිස්සේ මෙම සේවයේ නිරතවන බවත් ඒ කාලය තුළ විදිමත් අයුරින් කිසිවකු මේ සඳහා බඳවා ගෙන නොමැති බව සඳහන් කළාය. උතුරු මැද පළාතේ පළාතේ ජනතාවගේ දැනුම වර්ධනය සම්බන්ධයෙන් ඇති කර තිබෙන මෙම කනගාටුදායක තත්ත්වය වසර පහළොවක් පුරා කිසිවකුගේ අවධානයට ලක් නොවීම ඊටත් වඩා බරපතළ කරුණක් බවද ඇය කියා සිටියා ය.

දශක ගණනාවක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ පත්වීම් ලබා දී ඇත්තේ දේශපාඥයන්ට අවශ්‍ය ආකාරයටයි. උදාහරණයක් ලෙස පුස්තකාලයක පුරප්පාඩුවක් ඇති වූ විට ඒ සඳහා අදාළ විෂය සම්බන්ධ අයකු පත් කළ යුතු තිබියදී, ඒ සඳහා පත් කෙරෙන්නේ කම්කරුවකු ලෙස බඳවාගත් අයවලුන්ය. මින් සමහරක් විෂය සම්බන්ධයෙන් ඉගෙන ඉදිරියට යෑමට උත්සාහ කළ ද රාජ්‍ය පරිපාලනය තුළ කම්කරුවකු ලෙස ලියාපදිංචි කර ඇති නිසා එය ද කළ නොහැකි වී තිබේ. එසේ ම වැටුප් වැඩිකර ගැනීමේ හැකියාවක්ද ඔවුන්ට නැත. තත්ත්වය එසේ තිබියදී අදාළ සුදුසුකම් ඇති අය පැමිණියද ඔවුන්ට ඉඩදී මේ අය ඉන් ඉවත්වන්නේ ද නැත. මෙම ගැටලුව දශක ගණනාවක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ මතුව තිබේ. මීට විසඳුමක් ලෙස එම පුරප්පාඩු සුදුසු කම් ඇති අයගෙන් පුරවා ගැනීමට කිසියම් වැඩ පිළිවෙලක් රජයට නිර්මාණය කළ හැකිය. අනෙක් අතට මෙම ක්ෂේත්‍රයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පැවතිය ද පුස්තකාලවලට මෙපමණ පිරිසක් අවශ්‍ය නොවන බව බලධරයන්ගේ අදහස වී තිබේ. එනිසා රජයෙන් මීට ප්‍රතිපාදන වෙන් නොවේ. බොහෝ රජයන් මෙම සේවය එතරම් වැදගත් සේවාවක් ලෙස නොසලකයි. වෙනදා තමන් සුහඳව පිළිගෙන තම සේවය ලබාදුන් සේවා සපයන්නා අද නැත. මෙම තත්ත්වයද මෙවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත.

එනිසා රජය වගේම සේවකයන්ගේ ගුණාත්මක භාවයද වර්ධනය විය යුතුය. පුස්තකාල ක්ෂේත්‍රය රටට වැඩදායි පුද්ගලයන් බිහි කරන ආකල්ප සංවර්ධනයට උපකාරී වන ස්ථානයක් බවත්, මෙය අප රැකගතයුතු ජාතික සම්පතක් කියන තැනට රජයේ වගේම සේවකයන් ද පැමිණිය යුතුය. එසේ නැතිව වැටුප පමණක් අරමුණු කරගෙන පැය අටක සේවාකාලය ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන අප සමඟ පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අඩු ආදායම් ලාභින් 100,000 ක් හා උපාධිධාරීන් 60,000 ක් සඳහා රැකියා ලබාදීමේ කටයුතු මේවනවිට ආරම්භ වී ඇත. මේ වැඩ සටහන් ආරම්භ කෙරුණේ මෙවැනි රැකියා පුරප්පාඩු ඇති තැන්වලට ඔවුන් ආදේශ කිරීම සඳහාය.

ඒ අනුව මේවනවිට රජයේ විවිධ ආයතනවල ඇති වී තිබෙන පුරප්පාඩු මේ බඳවාගනු ලබන උපාධිධාරීන් ගෙන් සහ රැකියා ලක්ෂය වැඩ සටහන යටතේ බඳවා ගනු ලැබූ අඩු ආදායම් ලාභීන් ගෙන් පිරවීමට නියමිතය. එතෙක් මුදල් අමාත්‍යංශය විසින් තාවකාලිකව මෙම පත්වීම් අත්හිටුවා තිබෙන අතර, අදාළ පුහුණු කාලය තුළ ඔවුන්ට එකී පුරප්පාඩු ඇති ස්ථානවලම පුහුණුව ද ලබාදීමට මේවනවිට කටයුතු කරයි.

මූලිකව ඔවුන්ට ලබා දෙන පුහුණුව හැරුණු කල බඳවා ගැනීමට යෝජිත ස්ථානවලම පුහුණුව ලබාදී අදාළ පත්වීම ලබාදෙයි. චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ එකී පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීම එකී පුහුණුව අවසන් වනතෙක් ප්‍රමාද කරන ලෙසය. එහිදී මුහුණදී තිබෙන ගැටලුවක් වන්නේ අදාළ වෘත්තීය නිපුණතාව ඇති පුද්ගලයන් පැමිණේද යන්නය. උදා බරවාහන යන්ත්‍ර ක්‍රියාකරුවන්, කසල ශෝධකයන් අවශ්‍යව තිබුණ ද මේ අංශ දෙකින්ම ඔවුන් ඉදිරිපත් නොවන බව සැකයක් නැත. මේ සියලු කාරණා ගළපාගෙන මෙකී සියලු පුරප්පාඩු පිරවීම සඳහා ඊට අදාළ අනෙකුත් කාරණා සලකා බැලීම සඳහා මෙකී පත්වීම් තාවකාලිකව නවතා තිබේ. එසේ සිදු කර ඇත්තේ තව මාසයක් දෙකක් හෝ තුනක් කියන කාරණාව නොවේ. අදාළ ගැළපුම් කළ වාහම දැනට ස්ථීර තනතුරු නොදරන දැනට සේවයේ නියුතු කම්කරු, අනියම් කම්කරු, සෞඛ්‍ය කම්කරු වැනි පහළ ශ්‍රේණි නියෝජනය කරන ශ්‍රමිකයන් ද බඳවා ගැනීමට නියමිත අතර, ඉහත ක්‍රියාවලිය ඒ සඳහා ගැටලුවක් නොවේ. නමුත් පොදු‍වේ ගත් තීන්දුවක් නිසා මෙම තාවකාලික බාධකය ඇති වී තිබේ. එය බොහෝ ඉක්මනින් අවසන් වන බව විශ්වාසයෙන් පැවසිය හැකි බව උතුරු මැද පළාතේ පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර් නිෂාන්ත පැවසීය.

ජනාධිපතිවරයා විසින් පුස්තකාල විෂය නවමු ආකාරයකට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම විෂය නවමු පිබිදීමකට මුලපිරීමට නියමිතය.

Comments