අහිමි වෙමින් යන මුලතිව් බෞද්ධ උරුම | සිළුමිණ

අහිමි වෙමින් යන මුලතිව් බෞද්ධ උරුම

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාන්ඩියන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ කරුන්පුලියන්කුලම් ග්‍රාමයේ පිහිටි මෙම පුරාවිද්‍යා භූමියට පිවිසීම සඳහා තුණුක්කායි හන්දියෙන් වමට හැරී ඔඩ්ඩම්කුලම් දෙසට (කළුපාලම පසුකර) ගමන්කර විනයාගපුරම් හන්දියෙන් වටම හැරී කිලෝමීටර් 4 ක් පමණ යා යුතුය. එවිට කරුන්පුලියන් වැව හමුවන අතර ඒ වැව පසුකර ගමන් කිරීමේ දී මාර්ගයේ වම්පසින් ශිවන් කෝවිල හමු වේ.

අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන සාධක බහුල වශයෙන් හමු වූ පාණ්ඩියන්කුලම් ශිවන් කෝවිල් භූමියේ පුරාවිදු නටබුන් සහිත මෙම ස්ථානය මුලතිව් හි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන අතර ප්‍රමුඛත්වයක් ගනු ලබයි. මෙහි පිහිටා ඇති ශිවන් කෝවිල මීට වසර 30 කට පමණ පෙර ඉදිකර ඇත. කෝවිල පිහිටි ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරකින් භූමියේ තැනින් තැන පෞරාණික වටිනාකමින් යුත් ගොඩනැගිලි හා ඒවාට අයත් විවිධ අවශේෂ දැකගත හැකිය.

භූමිය පුරාම මැටි උපයෝගී කොට ගෙන කරන ලද විවිධ නිර්මාණ විසිර ඇති අයුරු දක්නට ඇති අතර එය මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ යුතුය. එසේ දක්නට ලැබෙන අවශේෂ අතරින් පුළුස්සන ලද මැටියෙන් කරන ලද විවිධ මැටි රූප (ටෙරාකොටා), උළු, වඩිම්බු උළු, විශාල මැටි භාජන කොටස් හා නෙළුම් මලින් අලංකාර කරන ලද රටා ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය. කෝවිලට ගිනිකොන දිශාවෙන් මීටර් 10 ක් පමණ වන්නට සාමාන්‍ය ලෙස උසින් යුත් ගඩොල් ගොඩැල්ලකි. කැඩී ගිය යූප ගලක් මෙම ස්ථානය ආසන්නයේම පිහිටා ඇති බැවින් මෙය ස්තූපයක් ලෙස සිතිය හැකිය. යුප ගලෙහි ඉතිරිව ඇති කොටස දිගින් සෙ.මී. 110 ක් ද විෂ්කම්භය සෙ.මී. 22 ක් ද ලෙස සඳහන්ය. ගොඩැල්ල අවට බහුල ලෙස ගඩොල් කොටස් විසිර ඇති අතර කැඩී ගිය ගල් කණු කොටස් කිහිපයක් ද දක්නට ඇත. එසේම පැරණි උළු කැබලි ද මෙම ගොඩැල්ල අවට දක්නට ලැබේ.

එසේම කෝවිලට උතුරින් විශාල ආසනයකි. එහි මැදින් කඩා කොටසක් ඉවත් කර ඇත. එම ආසනය වටා බොරදම් රටා වලින් අලංකාර කර තිබේ. ඉතිරිව ඇති ආසන කොටස මීටර් 1.75 ක දිගකින් ද මීටර් 1.40 ක පළලින්ද යුක්තය. එසේම කෝවිල ආසන්නයේම බටහිරින් සිරිපතුල් ගලක්, පාදෝවනයක් සහ මුරගල් දෙකක් පිහිටා ඇත. සිරිපතුල් ගල ඇඹරුම් ගලක් ලෙස භාවිතා කර ඇතැයි යන්න පෙනෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ගවේෂණ ඇසුරින් කරන ලද පෞරාණික ස්ථාන හා ස්මාරක මුලතිව් දිස්ත්‍රික්කය ග්‍රන්ථයේ (එම්. වී. ජී. කල්ප අසංග හා අයි. පී. එස්. නිශාන්ත) සඳහන් කර ඇත. එහි දිග සෙ.මී. 55 ක් හා පළල සෙ. මී. 60 කි. කැටයම් ක්ෂය වීම හේතුවෙන් පුන්කලස් ලකුණු සහිත මුරගල් හඳුනා ගැනීම අපහසුය. එක් මුරගලක් දෙකට කැඩී ඇත.

ගඩොල් බහුලව විසිරුණු ඉඩමක් කෝවිලට නිරිත දෙසින් මීටර් 50 ක් පමණ දුරින් පිහිටා ඇත. කණු පාදමක් සහ ගඩොල් බැම්මක සාධක එහි දක්නට ලැබේ. එමෙන්ම ගඩොල් හා උළු බහුල ලෙස ඇති වෘත්තාකාර ගොඩැල්ලක් කෝවිලට දකුණු දෙසින් මීටර් 40 ක් දුරින් ඇති අතර නව නිවසක් ඒ මත ඉදිකර කර තිබේ. කෝවිල පිහිටි ස්ථානයෙන් මීටර් 100 ක් පමණ නිරිත දෙසින් ගල් කණු 19 ක ආධාරයෙන් තනන ලද ගොඩනැගිල්ලක අවශේෂ ඇති අතර එම ගොඩනැගිල්ල මීටර් 11 ක දිගින් හා මීටර් 7 පළලින් සමන්විතය. ගඩොල් සහ උළු ඒ අවට විසිර පවතී. එසේම ගොඩනැගිල්ලට නිරිතෙන් මීටර් 15 ක් පමණ දුරින් කණු පාදම් ගල් දෙකකි.

කෝවිලට මීටර් 75 ක් පමණ ඊසාන දෙසින් මීටර් 20 ක පමණ විශ්කම්භයෙන් යුත් පොකුණකි. මේ වන විට පොකුණ පස් වලින් වැසී ඇති අතර පොකුණට බැසිමට ශෛලමය පියගැට තිබී ඇත.

කන්නියාර් කෝවිල් පෞරාණික උරුමය

පුදුකුඩුරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මන්නකන්ඩාල් ග්‍රාම නිලධාරී වසමේ මන්නකන්ඩාල් ග්‍රාමයේ පිහිටි කන්නියාර් කෝවිල් හි බෞද්ධ සංඝාරාමයට අයත් පෞරාණික උරුමය සහිත භූමියට පිවිසීමට ඔඩ්ඩුසුඩාන් පුදුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර් 12.5 ක් ගමන් කර 641 හමුදා මූලස්ථාන හන්දියෙන් වමට හැරී නැවත කිලෝමීටරක් පමණ ගමන් කළ යුතුය. ඒ අනුව කන්නියාර් කෝවිල්කුලම් වැවට දකුණු පසින් මෙම භූමිය පිහිටා ඇත.

කන්නියාර් කෝවිල් බෞද්ධ නටබුන් සහිත භූමියට මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමුවන විශාලතම මෙන්ම අලංකාර සංඝාරාම අතරින් හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙම ස්ථානය කන්නියාර් කෝවිල් නමින් හැඳින්වූව ද එහි කෝවිලක් දක්නට නොලැබේ. එය බෞද්ධ නටබුන් වලින් යුත් සංඝාරාම සංකීර්ණයකි. කන්නියාර් ලෙසින් අර්ථ ගැන්වෙන්නට ඇත්තේ ජනප්‍රවාදය අනුව වන්නි කන්‍යා ප්‍රධානීන් 07 ක් මෙහි සිටි බැවින් යැයි කියැවේ. එනම් විහාරස්ථාන 07 ක් මෙම භූමියේ පිහිටි අතර ප්‍රාදේශීය පාලකයන් ලෙස ඔවුන් එකී ප්‍රදේශ පාලනය කළ වන්නියාර්වරුන් හා ඔවුන්ගේ දියණිවරුන් කන්‍යා ප්‍රධානීන් ලෙස හඳුන්වා ඇත. එම හේතුව නිසා කන්නියාර් කෝවිල ලෙස මෙම ස්ථානය ප්‍රසිද්ධ වන්නට ඇතැයි යන්න සිතිය හැකිය. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස මෙම ස්ථානය වර්තමානයේ දී ගැසට් කර ඇත.

මූලික වශයෙන් හඳුනාගත හැකි ගොඩනැගිලි 08 කින් සහ ඒ වටා ප්‍රාකාරයකින් සමන්විත විහාර සංකීර්ණයක් ලෙස මෙම ස්ථානය දැක්විය හැකිය. මද උස් භූමියක සිටුවා ඇති ගල් කණූ 6 කින් යුත් ප්‍රමාණයෙන් 4.65x4.65 ක් සමචතුරස්‍රකාර ගොඩනැගිල්ලක් ස්ථානයට ප්‍රවේශ වීමේ දී දක්නට ලැබේ. එසේම ගොඩනැගිල්ලේ දකුණු අන්තයෙහි ශිලා ස්තම්භ කිහිපයක් කඩා වැටී ඇති අතර බහුල ලෙස පැරණි ගඩොල් කොටස් විසිරී පවති.

ඉහත ගොඩනැගිල්ලට බටහිරින් විශ්කම්භය මීටර් 15 ක් සහ උස මීටර් 3 ක් වූ ස්තූප ගොඩැල්ලක් දක්නට ලැබේ. එහි මධ්‍ය නිදන් හොරු විසින් හාරා ඇත. ස්තූපයට මීටර් 15 ක් පමණ දුරින් ගල් කණුවලින් යුත් ගොඩනැගිල්ලක අවශේෂ පවතී. එහි ප්‍රවේශ ද්වාරය මතුකොට නව ඉදිකිරීමක් සිදු කොට ඇත. එසේ ක්‍රියා කිරීමට භූමිය සැකසීමේ දී පැරණි ගඩොල් බැම්මකට හානි සිදු වී තිබේ. අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන කොරවක් ගල් දෙකක්, සඳකඩ පහණක් හා මුරගල් මෙහිදී මතු වී ඇති අතර එහි මුරගල් සහ කොරවක් ගල්වල කොටස් කැඩී ඇත. හඳුනාගෙන ඇති ගොඩැලිවලින් දෙකක් හැර අන් සියලු ස්මාරක හා නටබුන් සියල්ල ගඩොල් ප්‍රාකාර බැම්මට ඇතුළතින් පිහිටා ඇත.

කෙරිඩමඩු පුරාවිද්‍යාත්මක නටබුන්

ඔඩ්ඩුසුඩාන් පුදුකුඩුරිප්පු මාර්ගයේ මණ්ඩකණ්ඩාල් හන්දියෙන් වටම පිහිටි මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කිරීමෙන් පසු කෙරිඩමඩු පුරාවිද්‍යාත්මක නටබුන් සහිත භූමියට පිවිසිය හැකි අතර පුදුකුඩුරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මන්නකණ්ඩාල් ග්‍රාම නිලධාරී වසමේ කෙරිමඩු ග්‍රාමයේ පිහිටා ඇත.

නටබුන් වූ ගොඩනැගිල්ලක් සහ හුණු ගලින් නිම වූ කවන්ධ අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවක් දක්නට ඇති අතර ගොඩනැගිල්ල අනුරාධපුර අවදියට අයත් යැයි සැලකේ. ක්‍රි. ව. 8-10 සියවස් අතර කාලය නියෝජනය කරන ආභරණ වලින් සරසා අලංකාර කරන ලද කවන්ධ අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවෙහි ඉතිරිව ඇති කොටස උසින් සෙ. මි. 69 ක් ද පළලින් සෙ. මී. 16 ක් ද යුක්තය. එසේම මෙහිදි හමු වු කවන්ධ හිටි බුදු පිළිමය සෙ. මී. 140 ක උසින් යුක්තය. මෙම ප්‍රතිමා දෙවර්ගය කච්චිලමඩු පුරාවිද්‍යාත්මක නටබුන් ඇති ස්ථානයේ පිහිටුවා ඇත.

සිටුවන ලද ගල් කණු 5 ක් මෙහි දි හමු වූ නටබුන් ගොඩනැගිල්ලේ දක්නට ලැබේ. භූමිය පුරා ගොඩනැගිල්ල තැනීමට යොදා ගත් පැරණි උළු, වළන් කැබලි හා විවිධ ප්‍රමාණයේ ගඩොල් විසිර ඇත.

සරාටිකුලම් හා පරංගියන් ආරූ ප්‍රාග් ඓතිහාසික ස්ථාන

මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරාටිකුලම් ග්‍රාමයේ සහ නට්ටන්කණ්ඩාල් ග්‍රාම නිලධාරී වසමේ පරංගීන් ආරූ ග්‍රාමයේ පිහිටි මෙම ස්ථානවල ප්‍රාග් ඓතිහාසික මානවයා පරිහරණය කරන ලද ශිලා මෙවලම් හා ඒවා නිමවීමේ දී ඉවත ලන ලද කොටස් දැකිය හැකිය. මෙහිදී තිරුවානා වර්ග (Clear Quartz, Milky Quartz) වලින් තැනු ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා රතු, කහ, දුඹුරු, සුදු ආදි වර්ණ වලින් යුත් කහඳ කැබලි ද වටකුරු ගල්, ඇඹරුම් ගල් යනාදි ලෙස විවිධ සාධක හමු වී ඇත. ආචාර්ය නිමල් පෙරේරා විසින් සරාටිකුලම්හි හමු වූ ශිලා මෙවලම් හා ශිලා මෙවලම් නිපදවීමේ දී ඉවත දැමූ කොටස් පිළිබඳව කරන ලද අධීක්ෂණය අනුව අදින් වසර 40 000 - 4000 අතර කාල වකවානුවකට ඒවා අයත් යැයි අනුමාන කරයි.

මීටර් 200-300 ක පමණ වපසරියක් තුළ ද කොක්කුතුඩුවායි මාර්ගයේ ද යබොර කොටස් බහුල වශයෙන් ව්‍යාප්තව ඇති බව දැකිය හැකිය. මෙම පෙදෙස ආශ්‍රිතව යකඩ නිස්සාරණය සිදු වී ඇති බව ව්‍යාප්තව ඇති යබොර කොටස් අනුව පැහැදිලිය. එමෙන්ම පැරණි රක්ත වර්ණ මැටි බඳුන් කැබලි ද තැනිත් තැන සුළු වශයෙන් දැකගත හැකිය.

මේ අනුව මුලතිව් දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ හා ප්‍රාග් ඓතිහාසික උරුම රැක ගැනීමට විද්වතුන්ගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය. දිනෙන් දින වැනසී යන එම උරුම අනාගත පරපුර වෙත දායාද කරදීම අප කාගෙත් යුතුකම හා වගකීමයි.

Comments