ලොව වටා | සිළුමිණ

ලොව වටා

ඕස්ට්‍රේලියානුවන්ට මෝරුන්ගෙන් කරදර

මේ වසරේ ගත වූ කාලය තුළ හත් වතාවක් ඕස්ට්‍රේලියානු වැසියන් මෝරුන්ගේ ප්‍රහාරවලට ලක්වී ඇති බව වාර්තා වී තිබේ. මේ අතරින් බහුතරය රළ පදින්නන් වන අතර ප්‍රහාර හතේදීම පුද්ගලයන් ජිවිතක්ෂයට පත්වීමද විශේෂ වේ. පසුගිය වසරේ මෝර ප්‍රහාරයකින් එක් ජීවිතක්ෂයට පත්විමක් හෝ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී නොමැත. එබැවින් මෙසේ එක්වරම මෝර ප්‍රහාර ඉහළ යෑමට හේතුව ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑමේ කිසියම් බලපෑමකින් සිදුවන්නේද යන්න ඕස්ට්‍රේලියානු පරිසර විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වමින් සිටිති. මීට පෙර 1934දීද එරටින් මෝර ප්‍රහාර හේතුවෙන් මරණ හතක් වාර්තා වී තිබේ.

බ්‍රසීල සෙනෙට් සභිකගේ යට ඇඳුමෙන් සල්ලි මතුවේ

දූෂණ චෝදනා ලැබූ පසු නිවෙස සෝදිසි කිරීමට වරෙන්තු ලැබූ බ්‍රසීල සෙ‍ෙනට් සභිකයකුගේ යට ඇඳුම තුළ තිබී ඩොලර් දහස් ගණනක මුදල් සොයා ගැනීමට එරට පොලීසිය සමත් වී තිබේ. මේ සිදුවීමට මුහුණ පා ඇත්තේ සෙනෙට් සභික ෂිකෝ රොඩ්රිගුවේස් ය. ඔහු අත්අඩංගුවට ගැනීමටත්, ඔහුගේ නිවෙස සෝදිසි කිරීමටත් උසාවිය වරෙන්තුවක් ලබා දී ඇති අතර, පොලීසිය ඔහුගේ නිවෙසට පැමිණි අවස්ථාවේදී ඔහු බ්‍රීෆ් කේසයක මුදල් සඟවන අන්දම වීඩියෝවක සඳහන් වී තිබේ. පසුව ඔහු පරීක්ෂාවට ලක් කරන විට ඔහුගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටි තවත් විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

මෙලෙස ඔහුගේ යට ඇඳුම තුළ තිබී සොයා ගත් මුදල් ප්‍රමාණය ඩොලර් 5,800කි. මේ මුදල් සොයා ගන්නා අන්දම දැක්වෙන වීඩියෝ පටයක්ද පොලීසිය විසින් උසාවියට ලබා දී තිබේ. උසාවිය එම වීඩියෝ පටය ප්‍රචාරය කිරීමට අවසර ලබා දී නැත.

බොලීවියාව යළිත් වමට යන ලකුණු

පසුගිය වසරේදී එවෝ මොරාලෙස් බලයෙන් පහවීමෙන් පසු බොලීවියාවේ ධනවාදයට නැඹුරුවක් සහිත ආණ්ඩුවක් බිහිවේ යැයි උපකල්පන මතුවුවද තවමත් එරට ජනතාව එවෝ මොරාලේස්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට කැමැත්ත දක්වන බවට ඉඟි පසුගියදා පැවති මැතිවරණයෙන් පසු පෙනී ගොස් තිබේ. හුදෙක් බොලීවියාවේ පමණක් නොව සමස්ත දකුණු ඇමරිකාවට යළිත් වාමාංශික අදහස් සහිත නායකයන් බිහිවීමේ ප්‍රවණතාවක් පෙන්වමින් සිටින අතර, එම නායකයන් අතර කිසියම් එකඟතාවක්ද සහිතව එකම ශක්තිමත් පාලන කලාපයක් අනාගතයේ බිහිවන ලකුණු පහළ වෙමින් තිබේ. බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලේස් මේ වන විට ආර්ජන්ටිනාවේ සිටින අතර යළිත් ජනතා කැමැත්ත මත ඔහු බොලීවියාවේ බලය ලබා ගන්නේද යන්න ඉදිරි දිනවලදී මැතිවරණයේ සමස්ත ප්‍රථිපලය මත තිරණය වනු ඇත.

නවල්නි ට්‍රම්ප්ට කොළ කොඩිය වනයි

මීට මාසයකට පෙර පුටින්ගේ පාලනය විසින් වස ලබා දී තමා මරණයට පත් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා එල්ල කළ රුසියාවේ විපක්ෂයේ සාමාජික ඇලෙක්සෙයි නවල්නි පසුගියදා පවසා සිටියේ තමාට වස දීම ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් විසින් හෙළා දැකිය යුතු බවයි. විසිඑක්වැනි සියවසේදී රසායනික ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දැකිය යුතු බැවින්ද, එසේ හෙළා දකින රටක නායකයකු වශයෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එල්ල වූ රසායනික ප්‍රහාරය තරයේ හෙළා දැකිය යුතු බව නවල්නි පවසා සිටියේය.

පුටින්ට විරුද්ධව ට්‍රම්ප්ගේ අනුකම්පාව ගැන කතාකළ නවල්නි සැබවින්ම සිටින්නේ කුමන පැත්තේද යන්න රුසියානු ජනතාව මේ වන විට අනුමාන කරනවා විය යුතුය. පුටින්ට චෝදනා එල්ල වූ වස දීමේ ක්‍රියාවලියට භාජනය වූ බොහෝ දෙනා මිය ගිය අතර නවල්නි පමණක් දිවි බේරා ගැනීමට සමත් විය.

වියට්නාමයට අමාරු කාලයක්

අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය සහ නායයෑම් අතර දරුණු ලෙස පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් වියට්නාම් ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. මේ වන විට 90,000කට අධික පිරිසක් අවතැන්ව සිටින අතර මියගිය සංඛ්‍යාව 102ක් ලෙස දැනට ගණන් බලා තිබේ. ඔක්තෝබර් මස මුල් සති දෙකේදී අඛණ්ඩව මධ්‍ය වියට්නාම් ප්‍රදේශයට කඩා වැදුණු දරුණු කුණාටු දෙකක් හේතුවෙන් ප්‍රථමයෙන්ම ගංවතුර ඇතිවූ අතර, නායයෑම් ඇතිවූයේ එහි අතුරු ඵලයක් වශයෙනි. වඩාත්ම කණගාටුදායක තත්ත්වය වී ඇත්තේ මුදාගැනීමේ කටයුතුවල නිරත පිරිස්ද අතුරුදන් වීමය. මෙසේ මුදා ගැනීම් සඳහා පැමිණි වියට්නාම් යුද හමුදාවේ විශාල පිරිසක්ද අතුරුදන් වී ඇතැයි පැවසේ.

කොවිඩ් ව්‍යප්තිය සිදුවූ මුල් අවස්ථාවේදී වියට්නාමය ඉතා සාර්ථක ලෙස වයිරසය පාලනය කළ නමුත් දින කිහිපයක සිට එරටින් ඉතා විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන්ද වාර්තා වෙමින් තිබේ.

අයිස්ලන්ත අගමැතිනියගේ කතාවට බාධා කළ භූමිකම්පාව

අයිස්ලන්ත අගමැතිනිය ක්‍රිස්ටීන් ජාකොබ්ස්ඩොටියර් පසුගියදා අගමැති නිල නිවසේදී අමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිටියාය. වෙබ් අඩවියේද එළෙසින්ම පළ වන බැවින් එම සාකච්ඡාව සජීවීව පටිගත වෙමින් පැවතිනි. එක්වරම අවට පරිසර දරුණු ලෙස සෙලවෙන්නට සහ දෙදරන්නට විය. ඒ අවස්ථාවේ රික්ටර් මාපකයේ සැලකිය යුතු අගයක භූමි කම්පාවක් අයිස්ලන්තයට බලපා තිබිණි. අගමැතිනිය එක්වරම කළබල වී“දෙවියනේ භූමි කම්පාවක්... මේ මොහොතේ භූමි කම්පාවක් සිදුවෙමින් තිබෙනවා..“ යනුවෙන් පැවසූවද ක්ෂණයකින් තමා පාලනය කර ගනිමින් “ මේ තමයි අයිස්ලන්තය“ යනුවෙන් පවසා තිබේ.

අයිස්ලන්තය යනු භූමිකම්පාවලට නිතර මුහුණ පාන, එමෙන්ම සක්‍රීය ගිනිකඳු රාශියක්ද පිහිටා ඇති ජනජීවිතයට නිතර ස්වභාවික උවදුරුවල බලපෑම් ඇතිවන රටකි. භූමිකම්පාව සිදුවන අවස්ථාව වන විට අගමැතිනිය කොවිඩ් වසංගතය හමුවේ අයිස්ලන්තයේ සංචාරක ව්‍යපාරය සම්බන්ධව අදහස් දක්වමින් සිට ඇත.

Comments