ලොවට බණ කියන ඇමරිකාව මන්ද මානසික කාන්තාවකට මරණ දඬුවම දෙයි | සිළුමිණ

ලොවට බණ කියන ඇමරිකාව මන්ද මානසික කාන්තාවකට මරණ දඬුවම දෙයි

මානව අයිතිවාසිකම්, මානව නිදහස ගැන ලෝකයේ සෙසු රටවලට බණ කියන බොහෝ රටවල් ගැන සොයා බැලූ විට පෙනී යන්නේ එම රටවල ජනතාවගේ අවම අයිතිවාසිකම් හෝ ආරක්ෂා නොවන බවය. එහෙත් මේ රටවල් වැජඹෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලාරම්භකයන් සහ හිමිකරුවන් වශයෙනි. ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක මව් ශාඛාවන් ක්‍රියාත්මක වන්නේද මෙවැනි රටවල සිට වීම තවත් හාස්‍යජනක කරුණකි.

ඇමරිකා එක්සත් ජනපදය සිටින්නේ මෙවැනි රටවල් අතරින්ද ඉදිරියෙනි. ලෝකයේ සෙසු රටවලට තමන් අනුව එන ලෙස පවසන ඇමරිකාව දිගින් දිගටම වැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව පෙනේ. මේ වන විට මරණීය දණ්ඩනයට නියම වී සිටින ලීසා මොන්ටිගොමරිද ඇමරිකාවට වැරදුනු තවත් එවැනි තැනකි. ලිසා වැරදිකාරිය වන්නේ සැබවින්ම ම්ලේච්ඡ වූ මිනී මැරුමකටය. ඇය 2004 වසරේදී ගැබිනි මවක් වූ බොබී ජෝ ස්ටිනෙට් නම් වූ කාන්තාවකට පහර දී මරා දමා, ඇයගේ කුස තුළ සිටි දරුවා ඉවතට ඇද දමා තිබේ. මේ දක්වා පැවති නඩු විභාගයෙන් වරදකාරිය වූ ලීසාට ලබන දෙසැම්බර් මස 8වැනි දින විෂ එන්නත් කිරීමෙන් මරණයට පත් කිරීමට ඇමරිකානු ෆෙඩරල් අධිකරණය නියම කර තිබේ.

කෙසේ වුවද ලිසාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වා දී ඇත්තේ ළමා වියේදී සිදුවූ පහරදීමක් හේතුවෙන් ලිසා යහපත් මානසික තත්ත්වයක නොසිටින බවයි. ඇයගේ මව දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් වූ අතර ලිසාගේ ළමා විය අපායක් වී තිබේ. නව යොවුන් වියේදී ඇය වැඩුණු පිරිමින් අතින් සමූහ දූෂණයකටද ලක්ව තිබේ. මේ සියල්ල මත ලිසා යනු යහපත් මානසිකත්වයකින් යුක්ත කාන්තාවක් නොවන බව උසාවිය හමුවේ ඔප්පු කිරීමට ඇයගේ නීතිඥයන් කොතෙක් උත්සාහ දැරුවද එය සාර්ථක වී නැත. ලබන දෙසැම්බර් මස ලීසා මරා දැමුවහොත් ඇය වසර හැත්තෑවකට පසු ඇමරිකාවේ උසාවි තීන්දුවකින් මරණ දඬුවම ලැබූ කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත. ඇමරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මකව පවතින අතර ඇතැම් ප්‍රාන්තවල පමණක් එය ක්‍රියාත්මක නොවේ. එහෙත් 1953න් පසු එරට කාන්තාවකට මරණ දඬුවම ලබා දී නැත.

 

Comments