මෝදිගේ සංශෝධන නිසා ලඩක් බෞද්ධයෝ අමාරුවේ | සිළුමිණ

මෝදිගේ සංශෝධන නිසා ලඩක් බෞද්ධයෝ අමාරුවේ

ලඩක් යනු ඉන්දියාවට හිමි අතිශයින්ම සුන්දර භූමි ප්‍රදේශයකි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ එහි පිහිටීම හේතුවෙන්ම මේ භූමියේ පදිංචිකරුවෝ ස්වකීය ජිවිත කාලය පුරාම අනේක දුක්ගැහැටවලට ලක්වීමය. ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තවලට යාබදව පිහිටා ඇති ලඩක් නිරතුරුව ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක සාධක අතරට එක්විය.

පසුගිය වසරේ ඉන්දීය ජාතිකත්වය ක්ෂණිකව ඉස්මතු කරමින් යළිත් බලයට පැමිණීමට සමත් වූ අගමැති මෝදිගේ එක් පොරොන්දුවක් වූයේ ජම්මු සහ කාශ්මීර් ගැටලුවට විසඳුම් සැපයීමය. පසුගිය වසරේ ඉන්දීය මහමැතිවරණයට මාසයක පමණ කාලයක් තිබියදී එක්වරම කාශ්මීරයේදී පකිස්තානය සමග ඇවිළුණු මෝදි ආණ්ඩුව ඉන්දීය ජනතාවගෙන් ලකුණු ගොඩක් දමා ගත්තේය. එයම පාදක කර ගනිමින් අගමැති මෝදි ලබා දුන් පොරොන්දුවක් වූයේ ජම්මු සහ කාශ්මීරය ප්‍රාන්ත දෙකක් බවට පත් කරන බවත් ඒවායේ මෙතෙක් පැවති බෙදිම් අහෝසි කරන බවත්ය.

ඒ සමගම කාශ්මීරයේ ඉඩම් වෙනත් අයට මිලදී ගැනීම අහෝසි කරමින් පනවා තිබූ නීති අහෝසි කිරීමටද මෝදි රජය කටයුතු කළේය. ඒ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370වැනි වගන්තිය අහෝසි කර දමමිනි.

මේ ක්‍රියාව ලඩක් හි වැසියන් අමන්දානන්දය පත් කිරීමට සමත් විය. ඒ එසේ කිරීමෙන් ලඩක් ජම්මු සහ කාශ්මීරයෙන් වෙන්ව වෙනම ස්වාධීන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් වූ බැවිනි. ලඩක් යනු ඉන්දියාවේ හිමාලය මායිමයි. එහි තවත් මායිමක් වන්නේ චීනයයි. හිමෙන් වැසුණු කඳු මුදුන්වලින් වටවුණු ලඩක් හි වැසියන් ජීවත් වන්නේ පොළෝ මට්ටමින් මීටර් 5,730ක් උසකිනි. මේ ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙකකි. ඉන් එකක් ‘ලේහ්‘ නම් වන අතර එහි බහුතරය බෞද්ධයන්ය. ‘කාර්ගිල්‘ නම් වන අනෙක් ප්‍රධාන නගරයේ බහුතර ජනගහනය මුස්ලිම්වරුය.

ඉන්දිය ව්‍යවස්ථාවේ 370 වගන්තිය ඉවත් කිරීමෙන් පසු මේ ප්‍රදේශවල ඉඩම් පිට විකිණීමට නොහැකිය යනුවෙන් එතෙක් පැවති නීතියද අහෝසි කර දැමීමට මෝදි රජය කටයුතු කළේය. ඒ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35A වගන්තියද ඒ සමගම අහෝසි වූ බැවිනි.

ඒ අවස්ථාව වන විට මේ තීන්දුවේ දෝශයක් දැකීමට වැඩි දෙනා අපොහොසත් වූ නමුත් මේ වන විට ලඩක් හි ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

ලඩක් හි ඇති සුන්දරත්වය හේතුවෙන්ම එහි සංචාරක ආකර්ෂණය අධිකය. මේ හේතුවෙන්ම ලඩක්හි ඉඩකඩම් මිලදී ගණිමින් සංචාරක හෝටල් තැනීමට, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට බොහෝ ආයෝජකයෝ මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධව ලඩක්හි වැසියන් තුළ ඇත්තේ දැඩි අකමැත්තකි. ඔවුන් පවසන්නේ මේ නීති සංශෝධනයෙන් තමන්ට හිමි ඉඩම් තමන්ට අහිමි වීමටත් ජීවිකාව පවා අහිමිව අවතැන් වන තත්ත්වයට පවා පත්විය හැකි බවත්ය. නව නීති ස්ථාපිත වී වසරක් ගෙවී යන මේ අවස්ථාව වන විට ලඩක් හි රැකියා අවස්ථා සොයමින් දහස් ගණනින් ජනතාව ඒ වෙත ඇදී එමින් සිටිති.

බීජේපී පක්ෂයේ ලඩක්හි සභාපති වශයෙන් කටයුතු කරන චේරිං ඩ්‍රෝගේ අල් ජසීරා වෙබ් අඩවියට තම අදහස් පළ කරමින් පවසා ඇත්තේ මේ නීති සංශෝදනය හේතුවෙන් තමන් අවතැන්ව සිටින බවයි. එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ මෝදිගේ ආණ්ඩුවේ තීන්දුවට මෝදිගේ පක්ෂයෙන්ම විරෝධය එල්ල වී ඇති බවයි.

ඩ්‍රෝගේ වැඩිදුරටත් පවසා සිටින්නේ මේ නීති සංශෝදනය මගින් ලඩක් ප්‍රාන්තය ස්වාධීන වුවද ‘දත් නොමැති කොටියකු‘ බවට පත්ව සිටින බවයි. ඒ හේතුවෙන්ම ඉදිරියේදී භාරතී ජනතා පක්ෂයේ ‘ලේහ්‘ ශඛාව ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් සහ රැකියාවල ආරක්ෂාව සම්බන්ධව නව නීති සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විශේෂත්වය වන්නේ මේ ගැටලුවට මුහුණ දී සිටින්නේ බෞද්ධයන් බහුතරව වෙසෙන ලේහ් නගර වැසියන් පමණක් වීමය. කාර්ගිල්හි මුස්ලිම්වරුන්ට මේ තත්ත්වය ගැටලුවක් වී නැත්තේ ඉඩකඩම් මිලදී ගැනීමට වෙනත් ප්‍රදේශවල වෙසෙන මුස්ලිම්වරුන්ම ඉදිරිපත් වී සිටින නිසාදැයි යන්න වෙනම සොයා බැලිය යුතුය.

Comments