මහ රැජින තිගැස්සූ හැරී ගේ විහිළු | සිළුමිණ

මහ රැජින තිගැස්සූ හැරී ගේ විහිළු

මේගන් මර්කල් සමග දැඩි බැඳිමකින් යුක්තව දිවි ගෙවීම සහ තම පවුලට දක්වන දැඩි සෙනෙහස හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුට ලොව පුරා ජනතාව දක්වන්නේ විශේෂ සැලකිල්ලකි. අවධානයකි. මේ හේතුවෙන්ම වැඩි දෙනාගේ ආදරය හැරී කුමරුට ලැබී තිබේ.

මේ හැර රජ පවුල සමග සමග සමිපයෙන් කටයුතු කරන බොහෝ දෙනා පවසන්නේ හැරී කුමරු තම පවුලේ සාමාජිකයන්ට විහිළු තහළු කිරීමට සහ විහිළුවලින් පුදුමයට පත් කිරීමට (Prank) නිතර කටයුතු කළ බවයි.

රජ පවුල සම්බන්ධව නිතර පොත් ලිවීමේ නිතර වන බ්‍රයන් කොසලොව්ස්කි තම අලුත්ම ග්‍රන්ථයෙන් පවසා සිටින්නේ හැරී කුමරු වරක් රැජිනව පුදුමයට පමණක් නොව තිගැස්මට පත් කිරීමට සමත් වූ කොළොප්පමක් කළ බවයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රජ පවුලේ තතු අදාළ කර ගනිමින් ඔහු ලියූ නවතම ග්‍රන්ථය වන Long live The Queen! 13 Rules for Living from Britain's Longest Reigning Monarch නම් වන කෘතියේදීය.

එහි සඳහන් වන පරිදි ලොව පුරා ජංගම දුරකථන භාවිතයට පැමිණි විට පෞද්ගලික ජංගම දුරකථනයක් භාවිත කිරීමේ කැමැත්ත බ්‍රිතාන්‍යයේ එළිසබත් මහරැජින තුළද ඇති වී තිබේ. ඇය වෙනුවෙන් ජංගම දුරකථනයක් මිලදී ගත් පසු එය ක්‍රියාත්මක කරන අන්දම ඉගෙනීම සඳහා ඇය යොමුවී ඇත්තේ තම කුඩා මුණුපුරන් දෙදෙනා වෙතය. එහිදී වඩාත්ම දඟකාරයා වූ හැරී කුමරුගෙන් කෙටි පණිවිඩ යවන අන්දම ඇය ඉගෙන ගෙන තිබෙන්නේ බොහෝ ආච්චිලා සහ සීයලා තම මුණුපුරන්ගෙන් තාක්ෂණ භාවිතයට ගුරුහරුකම් ලබා ගන්නා අන්දමිනි.

එහිදී ලද අවස්ථාවෙන් මහරැජින හෙවත් තම මිත්තණිය පුදුමයට පත්කරන විහිළුවක් කිරීමට සමත්වූ හැරී ඇයගේ ජංගම දුරකතනයේ පණිවිඩයක් පටිගත කර තැබීමට කටයුතු කර තිබේ. එම පණිවිඩය දුරකතනය විසන්ධි කර ඇති අවස්ථාවක හෝ කාර්ය බහුල අවස්ථාවක අමතන්නාට ඇසෙන පරිදි යොදන ‘වොයිස් මේල්‘ පනිවිඩියක් ලෙස සකස් කර ඇත්තේද මේ දඟකාර හැරී කුමරාමය.

“හේයි.. ඇයි මොකද? මේ ලිස්... (එළිසබත් යන්නෙහි කෙටි ඇමතුම) මම සිහසුනෙන් ටිකක් ඈත ඈත ඉන්නේ.. ඔබට පිලිප් ඇමතීමට අවශ්‍ය නම් අංක එකද, චාල්ස් සඳහා අංක දෙකද, කොග්‍රිස් සඳහා අංක තුනද යොදන්න“ යනුවෙන් එම පණිවිඩයේ සඳහන් කළ දඟකාර හැරී කුමරු එය තම මිත්තනියට ඇසීමට සලස්වා තිබේ.

එය ඇසූ පමණින් සිහි එලවා ගත නොහැකි තරමට පුදුමයට පත්වූ මහ රැජින එය තවත් කෙනෙකු ශ්‍රවණය කිරීමට පෙර මකා දැමීමට කටයුතු කරවූ බවද එම කෘතියේ ව්‍යංගාර්ථවත් ලෙස සටහන් කිරීමට කතුවරයා කටයුතු කර තිබේ.

කෙසේ වුවද මුණුුපුරන්ගේ දඟකාරකම්වලට මිත්තනියන් තරහා නොගන්නා සේම මහ රැජිනද හැරී කුමරාට තරවටුවක් හෝ කළ බවට සටහනක් එහි නොමැත. මේ වන විට තම මිත්තනියගේ සිත රිදවමින් රජ පවුලෙන් වෙන්ව ජීවත් වන හැරී කුමරු තම ජීවිතයේ අප්‍රමාණ සැනසිල්ලක් අත්විඳින බවට නම් සැකයක් නැත.

Comments