නිදහස් අදහස් ගැන දැනුම දෙන්න ගිය ගුරුවරයා ආගමික අන්තවාදීන් අතින් මරුට | සිළුමිණ

නිදහස් අදහස් ගැන දැනුම දෙන්න ගිය ගුරුවරයා ආගමික අන්තවාදීන් අතින් මරුට

ප්‍රංශය යනු කවදත් නිදහස් අදහස් අගය කළ රටකි. ප්‍රංශ ජනතාව නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය ඉහළින් අගය කරන අතර එරට දේශපාලන වාතාවරණය අනුවද භාෂණය සඳහා නිදහස හිමිවේ. එහෙත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව අනාගත පරපුරට දැනුම ලබාදීමට උත්සාහ දැරූ ප්‍රංශ ගුරුවරයකුට පසුගියදා මරු වැළඳ ගැනීමට සිදුවිය. ඔහුගේ මිනී මරුවා වූයේ ඔහුගේම සිසුවකු වීම කණගාටුදායක කරුණ විය.

මිය ගිය ගුරුවරයා 47 හැවිරිදි සැමුවෙල් පැටී නම් පුද්ගලයෙකි. ඔහු ප්‍රංශයේ පැරිස් නුවර පාසලක ඉතිහාස ගුරුවරයා ලෙස කටයුතු කර තිබේ. පසුගිය දිනක ඔහු නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව තම සිසුන්ද දැනුම ලබා දෙමින් සිටියදී කාටූන් චිත්‍ර කිහිපයක් පන්තිය වෙත ඉදිරිපත් කර තිබේ. එම කාටූන් චිත්‍ර අතර මුස්ලිම් ධර්මයේ නායකයාගේ කාටූන් චිත්‍ර කිහිපයක්ද තිබූ බව සඳහන්ය. මේ සම්බන්ධව පන්තියේ සිටි මුස්ලිම් ආගමික සිසුන් කෝපයට පත්ව තිබූ අතර ඔවුන් කිහිප දෙනෙකු එක්ව ගුරුවරයාට පහරදීමට සැලසුම් කර තිබේ.

එම සැලසුමට අනුව මේ ඝාතනය ක්‍රියාත්මකව තිබූ බව පවසන පැරිස් පොලීසිය ඝාතකයා සොයා ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ මළ සිරුරේ ඡායාරූප අනුව සිදුකළ පර්යේෂණවලිනි. ඒ අනුව ඝාතනය සිදුවී විනාඩි කිහිපයක් ඇතුළත ඝාතකයා වෙඩි තබා මරා දැමීමට පැරිස් පොලීසිය කටයුතු කළ අතර ඔහු සැමුවෙල් පැටීගේ පාසලේ 18 හැවිරිදි සිසුවකු බව අනාවරණය වී තිබේ.

මේ සිසුවා චෙච්නියානු සම්භවයක් සහිත රුසියානු සිසුවෙකි. ඔහු ගුරුවරයා මරා දමා එම සිරුරේ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් වෙත නිකුත් කර තිබුණේ පණිවිඩයක්ද සමගිනි. එම පණිවිඩයේ සටහන්ව තිබුණේ “අල්ලා දෙවියන්ගේ නාමයෙන් මැක්‍රොන් ( ප්‍රංශ ජනාධිපති) වෙත, අති ගෞවරනීය මහම්මත්තුමන් විවේචනය කළ ඔබගේ අපායේ දඩ බල්ලන් අතරින් එකකු මම මරා දැමුවෙමි“ යනුවෙනි. එමෙන්ම එම පණිවිඩයේ සඳහන්ව තිබුණේ තම ගුරුවරයාගේ මළ සිරුර හඳුනා ගැනීමට හැකිදැයි බලන මෙන් තම පන්තියේ සිසුන් වෙත කරන ලද ඉල්ලීමකි.

මේ පණිවිඩය සහ ඡායාරූප ඉන්ස්ට්ර්ග්‍රෑම්හි පළ වී විනාඩි කිහිපයකින් සමාගම විසින්ම මකා දමා තිබුණේ එම සමාගමේ ආචාර ධර්ම උල්ලංඝනය වීමක් සිදුවී තිබුණු බැවිනි. එහෙත් එම පළ කිරීම ඔස්සේ පර්යේෂණ කළ පොලීසියට සිදුවීම සිදුවූ ස්ථානයේදීම ඝාතකයාට පහර එල්ල කිරීමටද හැකියාව ලැබී තිබේ.

මේ සිදුවීමෙන් පසුව පැරිස් පොලීසිය විසින් අදාළ ඝාතක සිසුවා සමග සබඳකම් පැවැත්වූ තවත් සිසුන් නව දෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. කෙසේ වුවද මේ ඝාතනය පංශය සසල කිරීමට සමත් වී තිබූ අතර, ප්‍රංශ අගමැති ජියන් කැක්ටෙක්ස් පවසා තිබුණේ මේ ප්‍රහාරය ප්‍රංශ ජනරජයේ කොඳු ඇට පෙළට එල්ල කරන ලද පහරක් සේ සලකා කටයුතු කරන බවයි.

Comments