කාල් මාක්ස්ගේ සිහිනය රුසියානු බිමේදී සැබෑ කළ ලෙනින්ගේ විප්ලවය | සිළුමිණ

කාල් මාක්ස්ගේ සිහිනය රුසියානු බිමේදී සැබෑ කළ ලෙනින්ගේ විප්ලවය

‘දේශපාලනය යනු විය නොහැකි දෙයෙහි කලාව‘ යැයි පැවසූ ඔවුහු කිසිදා මේ මිහිමත විය නොහැකි යැයි පැවසූ දේ ප්‍රායෝගිකව ඉටු කර පෙන්වූහ. එමගින් කම්කරුවාගේ, නිර්ධනයාගේ බලය පාලකයාට මනාව ඔප්පු කර පෙන්වීමටද සමත් වූහ. ඒ අදින් වසර එකසිය තුනකට පෙරදීය.

වසර සියයකට පසුව වුවද ඔවුන්ගේ කැපවීම ලොවට අමතක කර දැමිය නොහැකි ව ඇත්තේ එය එතරම්ම ලොවට බලපෑම් කිරීමට සමත් වූ බැවිනි. ඔක්තෝබර් යනු එදා ඔවුන් හෙලූ, ලේ, දහදිය, කඳුළු අමතක කර දමමින් මග හැර යා හැකි මාසයක් නොවේ. ඔක්තෝබර් විප්ලවයෙන් වසර සියයක් ගතව ගොස් තිබුණද තවමත් ඔවුන් වීරයන්ව සැමරෙන්නේ එදා ඔවුන් ලොව හමුවේ ජයගෙන පෙන්වූ අභියෝගය සුළුපටු නොවූ බැවිනි.

රුසියාව අදටත් වඩා එදා කටුක වූ මුඩු බිමකි. ශීත සමයේ අති දරුණු කටුක ශීතලෙන් මිදෙන මේ භූමිය ග්‍රීෂ්මයේ කියා වැඩි වෙනසක් පෙන්වන්නේ නැත. එහි රළු පොළොව සමග ගැටුණු මිනිසුන් සැමදා ගෙවූයේ අති දුක්ඛිත ජීවිතය. අති බහුතර ගොවීන් ප්‍රවේණි දාසයෝ වූහ. ජනගහනයෙන් සියයට 97ක්ම අන්ත දුගී ජීවිත ගෙවූ අතර සියයට තුනක ධනපතීන් තම කෘෘර හස්තයෙන් ඔවුන් මඩිමින් තම ජීවිත සරු කර ගත්හ. සියවස් ගණනක් පුරා දිගින් දිගට පැවති මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වූවා මිස බහුතරයට සහනයක් නම් අත්වූයේ නැත.

මේ පීඩනය සඳහා පුළුල් සමාජ, දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශය වුවද, රුසියාව එවකට පාලනය කළ සාර්වරුන් සතුව එකම පිළියමක් විය. එනම් මර්දනයයි. කටුක ජීවිතවලින් හෙම්බත්ව, තම උරුමයට එරෙහිව වරින්වර හිස එසවීමට තැත් කළ ගොවීන්, කම්කරුවන් මේ එකම පිළියම යොදාගනිමින් දැඩි ලෙස මර්දනය කිරීමට සාර්වරු කටයුතු කළහ. එයින් ලැබුණු අතුරු ඵලය වූයේ නිර්ධනයන්ගේ පීඩනය තවත් වැඩිවීමය.

රුසියාව මෙලෙස පීඩාවෙන් පිරි ජනතාවක් සමග කණගාටුදායක ගමනක යෙදී සිටියදී කාර්මික විප්ලවය, පුනරුදය වැනි සංක්‍රාන්තීන් සමග යුරෝපය වෙනම ගමනක නිරත වී සිටියේය. මේ සියල්ලේ ප්‍රතිඵල ලෙස දැනුම සමාජගත වීම ඇරඹුණු අතර එම දැනුම සොයා ලෝකයේ සතර දෙසින් ජනතාව යුරෝපයට පැමිණෙන්නට වූහ. යටත් විජිතවාදය යටතේ මෙලෙස දැනුම සොයා එන්නන්ට අවශ්‍ය සහයද යුරෝපයෙන් හිමිවිය. රුසියාවේද මෙලෙස දැනුම සොයා යුරෝපයට ගිය පිරිසක් වූ අතර ඔවුහු තමන් ලබාගත් දැනුම සමග තම මාතෘ භූමිය වෙනසකට ලක් කිරීමේ මුල් පියවර තැබූහ. මේ සඳහා ඔවුන්ගේ අත්පොත් වූයේ ඒ වන විට ලෝකය කළඹා තිබූ කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංග්ල්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය සහ ප්‍රාග්ධනය යන ලෝකප්‍රකට ග්‍රන්ථයි.

ජර්මනිය තුළ යම් දිනක සමාජවාදී ආණ්ඩුවක් බිහිවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මේ මහා ලේඛණය සිදුකළ කාල් මාක්ස් ඒ තම අසමසම ලේඛනය හේතුවෙන්ම දේශයක් විරහිත පුද්ගලයකු බවට පත්වූයේය. ජීවිතයේ අවසන් කාලයේදී ඔහු තම රටින් බැහැරව අස්ථාවර ජීවිතයක් ගෙවූයේ මේ ලේඛණයෙන් යථාවත් වන සමාජයට පාලකයන් එතරම්ම බියක් දැක්වූ බැවිනි. එබැවින් එවැනි සමාජයක් ප්‍රායෝගිකව බිහිකිරීම සම්බන්ධව ඇති අභියෝග ඒ සඳහා සිහින දුටු රුසියානු තරුණයෝ මැනවින් වටහාගෙන සිටියහ. එමෙන්ම මේ සිහිනය යථාවක් කර ගැනීමේ අභියෝගයේදී තවත් ගැටලු රැසක් ඔවුන් හමුවේ විය.

කොතරම් දැඩි පීඩනයෙන් මිරිකුණු ජීවිත ගෙවමින් සිටියද පාලකයාට එරෙහිව නැගී සිටීමට ගොවි ජනතාව සංවිධානය කිරීම දැඩි අසීරු අභියෝගයක් විය. 1881දී දෙවැනි ඇලෙක්සැන්ඩර් රජු රුසියාව තුළ ප්‍රවේණි දාස ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළේ ඒ සම්බන්ධව සමාජයෙන් එල්ල වෙමින් පැවති දැඩි දෝෂදර්ශන හේතුවෙනි. එවකට රුසියාව තුළ යටි පෙළේ දැවැන්ත සාහිත්‍ය ගිනි දැල්ලක් දල්වමින් සිටි පුෂ්කින් වැනි සාහිත්‍යකරුවෝද ඒ සඳහා දායක වූහ. ඒ කෙසේ වුවුද පුපුරා යමින් තිබුණු පීඩනය නිවා දැමීමට සාර්වරු දිගින් දිගටම අසමත් වූහ.

බටහිර අධ්‍යපනය ලැබූ රැඩිකල් තරුණ පිරිස්, මධ්‍යම පාන්තික බුද්ධිමතුන් මෙන්ම රුසියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ තරුණ කොටස්ද සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල පෙරමුණ ගෙන සිටියහ. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විප්ලවවාදී ලෙස සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි තරුණ ව්‍යාපාර, සමාජ විරෝධී ව්‍යාපාර ලෙස නම් කරමින් ඒවා මර්දනය කිරීමට සාර් පාලනය කටයුතු කරන්නට විය. එහෙත් එම මර්දනය යළි පෙරළා පාරාවළල්ලක් සේ පාලකයන් වෙතම එල්ල වූයේ ජනතාව වසර ගණන් ඉවසා දරාගෙන සිටි පීඩනය මතට මර්දනයද එක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මේ වන විට දැවැන්ත සමාජ පෙරළියක් සඳහා රුසියාවේ සමස්ත පසුබිම සකස් වී තිබිණි. එලෙස සකස් වූ පසුබිම මතට, ඒ ජනතා පීඩනය මනාසේ පාලනය කර ගනිමින් පාලකයන් වෙතට මහා ප්‍රවාහයක් සේ එල්ල කරවීමට සමත් තරුණයන් පිරිසක් නායකත්වයත් සමග ප්‍රවිශ්ට වීම රුසියානු විප්ලවයේ ප්‍රථම ජයග්‍රහණය විය. එම සාර්ථක නායකත්වයේ වැඩි ප්‍රශංසාව ලෙනින්ට හිමිවිය යුතුම වන අතර ඔහු සමග ජෝස්ෆ් ස්ටාර්ලින්, ජේකබ් සර්ද්ලොව්, බුෂ්නොව්, දර්ෂෙන්ස්කි, එෆ්.ඒ.සර්ගේව්,නිකොලායි බුකාරින්, ඇලෙක්සෙයි රෙයිකොව් යනාදීන් එකසේ විප්ලවය මෙහෙයවූහ.

මේ දක්ෂ තරුණයන් රුසියානු සමාජය මනාසේ සංවිධානය කරමින් එකම අරමුණක් කරා ක්‍රමයෙන් ගෙනයමින් සිටි අතර විශේෂයෙන්ම රුසියාවේ නාගරිකව වාසය කළ කම්කරු ප්‍රජාවගේ සහාය ඔවුන්ට හිමිවිය. ඔවුන් විසින් මුද්‍රණය කර බෙදාහරිණු ලැබූ ‘ඉස්කා‘ සහ ‘ප්‍රවුදා‘ පුවත්පත් සමාජවාදී අදහස් ජනතාව තුළ දල්වාලීමට සමත් විය.

ඔක්තෝබර් මාසය වන විට තත්ත්වය කිසියම් දුරකට තමන් අතට ගැනීමට තරුණ කොටස් සමත් වී සිටි අතර මේ බව තවදුරටත් සාර් පාලකයන්ට රහසක් වූයේ නැත. ඔක්තෝබර් 24 වැනිදා උදෑසන රජයේ හමුදා බොල්ෂෙවික් පක්ෂයේ එවකට නිල පුවත්පතවූ ‘කම්කරුවාගේ මාවත‘ පුවත්පත් කාර්යාලය වටලන්නේය. එහිවූ යන්ත්‍ර කඩා බිඳදමමින් මුද්‍රණය කර තිබූ පුවත්පත් දහස් ගණනක් විනාශ කරන්නේය.

එයට ප්‍රතිචාර වශයෙන් උදෑසන 10 වන විට බොල්ෂෙවික් මිලිටරි විප්ලවීය කමිටුව මේ ක්‍රියාව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරන්නේය. ඒ වන විට බොල්ෂෙවික් පක්ෂයේ මිලිටරි අංශය මුද්‍රණ කාර්යාලයේ බලය අල්ලා ගැනීමට සමත්ව සිටියහ. මේ සඳහා රජයේ හමුදාවන්ගේ ප්‍රතිප්‍රහාර එල්ල වුණු අතර නගරයේ තැනින් තැන ගැටුම් පැතිරෙන්නට විය. එලෙස ආරම්භ වුණු සටන් අතරින් ප්‍රධානතම සටන ලෙස සාර්වරුන්ගේ වින්ටර් මාලිගයට එල්ල කළ අවසන් ප්‍රහාරය සඳහන් කළ යුතුමය. 1917 වසරේ ඔක්තෝබර් මස 26වන දින සවස 2 වන විට සමස්ත රුසියාවේ බලය බොල්ෂෙවික්වරුන් අතට පත්ව අවසන් විය.

ලෝක ඉතිහාසයේ රක්ත වර්ණයට එයට සුදුසු ස්ථානයේ එලෙස සටහන් විය. ජර්මන් භූමිය මත සැබෑ වනු දැකීමට ආසාවෙන් සිටි තම සිහිනය රුසියානු භූමිය මත සැබෑවනු දැකීමට කාල් මාක්ස් ජීවත්ව සිටියේ නම් ඔහු නිසැකයෙන් සතුටට පත්වනු ඇත. ව්ලැඩිමීර් ඉවානවිච් ලෙනින් සමාජවාදය යථාර්ථයක් කරමින් කම්කරුවා පාලකයා බවට පත්කිරීමට සමත්වූයේ කාල් මාක්ස්ගේ දැනුමද ඒ සමග එකට මුසු කරමිනි. ඒ සමගින් බිහිවූ සමාජවාදී රැල්ල ලොව පුරා හමා ගියේ තවතවත් තරුණ පිරිස් අධිෂ්ඨානයෙන්, උද්යෝගයෙන් කුල්මත් කරමිනි. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා ශක්තිය ලැබුවේද මේ මහා ඔක්තෝබර් විප්ලවයෙනි. චීනයේ මාඕ සේ දොං චීනයට අනන්‍ය වාමාංශික මාවතක් සකසා ගත්තේද සෝවියට් රුසියාවේ උදාහරණ සමග අනන්‍ය වෙමිනි. ඒ සමගම ගිණිකොන ආසියාවේ වියට්නාමය ප්‍රමුඛ රටවල් රැසකම සමාජවාදී මාවත තෝරා ගන්නේ හෝ චි මිං ඇතුළු නායකයන් ආශක්ත කරවූ සෝවියට් වාමාංශික ගිනිදැල් හේතුවෙනි.

මේ මහා විප්ලවය සිදුවී අදට වසර එකසිය තුනක් ගතවී තිබේ. එදා රුසියාවේ උස්ව නැගුණු විප්ලවයේ ගිනිදැල් අද වන විටත් සම්පූර්ණයෙන් නීවී ගොස් ඇතැයි පැවසිය නොහැකිය. ව්ලැඩිමීර් පුටින් යටතේ ඔවුන් මේ වන විට කිසියම් අනන්‍යතාවක් සහ ශක්තියක් සමග ලොව බලවත් රටක් සේ ස්ථාවරව පැවතීමට සමත් වී තිබේ. එහෙත් පුටින් පැමිණීමට පෙර 1991දී බිමටම බිඳ වැටුණු සමාජවාදී රුසියාව විඳි දුක් වේදනා අමතක කළ යුතු නැත. ඔවුන් ජයග්‍රහණ අත්වින්දා සේම පරාජයද හොඳින්ම අත්වින්දාහ. ඒ අවස්ථාවන්හිදී රුසියානු ජනතාව විඳි දුක් අප්‍රමාණය. ඔවුහු පීඩනයෙන්, බඩසයින්, ලෙයින්, දහදියෙන්, කඳුලින් අප්‍රමාණ ලෙස මුවහත් වූහ. ශක්තිමත් වූහ. වානේ ගින්නෙන් පන්නරය ලැබුවා මෙන්ය.

ඒ පන්නරය ලොව සමාජවාදයට තවත් ශක්තියක් සැපයීය. ඒ මහා විප්ලවය වසර ශතක ගණන් ගෙවී ගියද මිනිස් වර්ගයාගේ මතකයේ රැඳෙන්නේද ඒ නිසාවෙන්මය.

Comments