ඔබ අතු අග පිපි මල් කැකුළක් නම්... | සිළුමිණ

ඔබ අතු අග පිපි මල් කැකුළක් නම්...

 ඇයත් මාත් අතර ඇත්තේ අවුරුදු විස්සකටත් වඩා වයස් පරතරයකි. ඇය මගේ යෙහෙළියයි. අප අතර රහස් නැත. හමු වූ විට අපට බොහෝ කතා ඇත. ඒ හැම කතාවකම අවසානයේ ඇය නතර වන එක් තැනක් ඇත. “ඇයි මට එයාව අහිමි වු‍ණේ. මම විවාහකයි තමයි. ඒත් මගෙ හිත තවමත් ඔහු වෙනුවෙන් වද වෙනවා. එයා මට කතා කළා. මේ කොරෝනා කාලයේ ඔයා කරදරෙන් ද කියලා ඇහුවා. මට දුක හිතුණා. එයාටත් තවම මා මතක් වෙනවා.“ ඇය පැවසන්නේ සිත යට සඟවා ගත් දුකකිනි. ඔහුත් ඇයත් දෙදෙනාම දැන් විවාහකය. දරු මුණුබුරන් ද සිටී. එහෙත් ඔවුහු තවමත් පෙමින් බැඳි සිටිති. ඇතැම් රැයක ඈ මා අමතන්නේ ඔහු ගැන යමක් කියන්නටය.

“ඒ ඔවුන්ගේ යොවුන් කාලයේ කුමක් හෝ කතාවකි. ඔයා මං ගැන වැරදියට හිතන්න එපා. ඔයා මට හිනාවෙන්න එපා. අපි තවමත් අපි ගැන හිතනවා අපිට අපි ආදරය කරනවා“ ඇය පවසන්නේ යොවුන් දැරියක මෙනි.“ ඇගේ සියලු කතා අවසානයේ මට සිතෙන්නේ

“ආදරය මහ පුදුමයි“ කියාය.

හිමි වීමෙන් දිනු ප්‍රේමයක් නැත. අහිමි වීම ඇති තැන යුග යුග ගණන් ගියත් සිහිකරමින් විඳින විදවන ප්‍රේමයක් ඇත. එවන් ප්‍රේමයන්ට හිමිකම් කියන්නෝ අපට ඕනෑ තරම් හමුවේ. එවැනි අත්දැකිම් ඔස්සේ ලියැවුණ ගී බොහෝය. මේ ගීතය ද එවැනි අත්දැකීමක් පාදක කර ගනිමින් ලියැවුණ ගීතයකි. ගීතය ගයන්නේ ගායන ශිල්පී ආනන්ද තිලක් බණ්ඩාරය. ගීතයේ තනු නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධනය. පද රචනය යොවුන් ලේඛකයකු, කවියකු, ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වන විශ්ව ජයම්පති බණ්ඩාරය.

“ඔබ ගුමු ගුමුවෙ

ගලනා ගඟ නම්

රෑ අහසේ

පුරහඳ වෙමි

ඔබ ළඟ ඉමි මම්..“ සරල , කෙටි වචන ටිකකින් බොහෝ දේ කියන්නට උත්සාහ දැරු ගී පද ගැන විශ්ව පවසන්නේ මෙවන් කතාවකි.

“ මෙය මගේ අත්දැකීමක්.කලකට පෙර මා දන්නා හදුනන තරුණියක සිටියා. ඇයත් මාත් බොහෝම හිතවත්. මගේ හිතේ ඇය ගැන ආදරණීය හැඟීමක් තිබුණා. ඒත් ඒ ආදරණිය කතාව ඇයට කියන්නට බැරි වුණා. මගෙ හිත ඒ ගැන නිතර වද වුණා. දවසක් මම ඇය සොයා ගෙන ගියා මේ කතාව ඇයට කියන්නට. ඒත් මම ප්‍රමාද වැඩියි. ඒ වන විට ඇය විවාහ වෙන්න තීරණය කරලා. නමුත් ඇගේ සිතෙත් මා ගැන ආදරයක් තිබී තියෙනවා.

ඇය මට ඒ බව නොකියා තියෙන්නේ අපේ ආදරයට ඇගේ කුලය ප්‍රශ්නයක් බාදාවක් වෙයි කියලා. එදා මම ඇගේ කතාව අහගෙන හිටියා, මගේ ආදරේ ගැන කියන්න ගියේ නැහැ. කාලයක් යනතුරු මගෙ හිතේ මේ සිතුවිල්ල තිබුණා. මගෙ හිතේ රිඳුමක් තිබුණා. කාලයත් සමඟ ඇය අමතකව ගියත් අදත් ඉදහිට මට ඒ සිද්ධිය සිහිපත් වෙනවා. මේ ගීතය ලියන්නට පාදක වූණේ ඒ අත්දැකීම. පද ගෙතීමේදි සැලළිහිණි සන්දේශයේ එන මේ කවිය මතක් වුණා.

“ පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්

පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්

තරව සිහිව ඇති පරතෙරට යන අටින්

කරව පියාසර සකි කොන්තගන් තොටින්“

මේ ගීතයේ රිද්මයානුකූල කෙටි පද ලිවීමේදි , මේ කවියත් බලපෑවා කියලා මට හිතෙනවා. දිනක් මට ආනන්ද තිලක් බණ්ඩාර ගායන ශිල්පියා හමු වුණා. මා ඔහුට ගීත කිහිපයක්ම පෙන්නුවා. ඔහු මේ පද පෙළ තෝරා ගත්තා. තිලක් සොයුරා තමයි ගීතය සංගීතවත් කරන්නට කරුණාරත්න විජේවර්ධනයන්ට බාර දී තිබුණේ.

විශ්ව පවසන කතාව වඩාත් සනාත කරන්නේ ආනන්ද තිලක්ය.

“ විශ්වගෙ තියෙන්නේ කෙටි වචන. ඒ කෙටි වචන වල හොඳ අර්ථයක් තියෙනවා. මේ පද පෙළ දුටුවාම මම බොහෝම කැමති වුණා. මම සංගීතවේදී කරුණාරත්න විජේවර්ධනයන්ට මේ පද ටික දුන්නාම ඔහු බොහෝම කැමැත්තෙන් එය බාර ගත්තා. විශ්වගේ සුන්දර පද පෙළට ඔහු හොඳ තනුවක් නිර්මාණය කළා. එය වඩාත් සාර්ථක වුණා කියන හැඟිම මට තියෙනවා.“

ප්‍රේමය විරහව, මවු සෙනෙහස ගැන පමණක් විවිධ මානයන් ගෙන් ලියැවුණ බොහෝ ගී ගයා ඇති ආනන්ද තිලක් පවසන්නේය.

ප්‍රේමය පිළිබඳ, ප්‍රේමයේ අහිමි වී, විදීමඅකුරු වලට පෙරළු වීට ඒ අකුරුවලට නව පණක් දිය හැක්කේ සංගීතයටයි. විඳිම් විදවීමත් සියුම් ලෙස හදවත් ස්පර්ශ කරන ලෙසින් තනු නිර්මාණ කිරීමේ නිපුණයකු වන සංගීතවේදී කරුණාරත්නයන් පවසන්නේ මෙවන් කතාවකි. “ඒ පද පෙළ බොහොම ලස්සනයි. ඒ වගේම කෙටියි. ඒ කෙටි පද පෙළ දුටු සැනින්, කියැවු සැනින් මගේ හිතේ අපූරු තනුවක් නිර්මාණය වුණා. තිලක්ගේ කටහඬත් ඊටම ගැළපුණා.

මට දැනෙන්නේ එහෙමයි.“

Comments