'20 පැරදුණත් අපි දිනුම්' | සිළුමිණ

'20 පැරදුණත් අපි දිනුම්'

- පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වගකිවයුත්තා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනයි
- මේ රජය මාස 11ටම කරපු කිසිම දෙයක් නැහැ
- 20 කියන්නේ රාජාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්
- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න
- මේ රජයටත් අවසානයේ සිදුවන්නේ 1977 මැතිනියට වූ දේමයි 
- මේ රජය අපට හයෙන් පහක් ගන්න වැඩ කරගෙන යනවා

20 වැනි සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් රජය ජයග්‍රහණය කරනවා. ඇයි ඔබලාට පරාජය කරන්න බැරි වුණේ?

ඇත්තටම මෙතැනදි සිදු වූයේ ජන බලයක් නොවෙයි. මේක තමයි මේ රටේ වෙනස් නොවන ක්‍රමය. සල්ලි දීලා රාජ්‍ය බලය ලබා දීලා තමයි විස්ස සම්මත කර ගනු ලැබුවේ.

ඔවුන් බෞද්ධයන්ගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණිලා අන්තවාදී ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගත්තා කියන කාරණය දැන් ඉතාම පැහැදිලියි.

ඒකාධිපති වියරුවකින් පෙළෙන අවස්ථාවක විස්ස සම්මත කරලා ජනාධිපතිට මේ ආකාරයෙන් බලතල ලබාදීම අතිභයානක තත්ත්වයක්. මෙහි අනිසි ප්‍රතිඵල ඉතා ඉක්මනින් දැකගැනීමට සියලු දෙනාට හැකි වේවි.

සමඟි ජන බලවේගය පාවා දෙමින් රජයට සහාය දැක්වූ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව අපි විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පක්ෂයෙන් නෙරපා දමනවා.

20 වැනි සංශෝධනය එපා කිවුවේ ඇයි? 

මේ රටේ ව්‍යවස්ථාව ආරම්භ වුණේ 1931 ඉඳලා. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුළ ගෙන ආ කෝල්බෲක්, ඩොනමෝර් සහ අපට නිදහස ගෙන ආ ‍සෝල්බරි ව්‍යවස්ථා මගින් අපට කළේ කුමක්ද? ඒ ව්‍යවස්ථා තුළ තිබුණේ අධිරාජ්‍යවාදයට අවශ්‍ය කරුණු සහ එය පවත්වාගෙන යාමට අවශ්‍යතා ඉටු කිරීමක් පමණයි. කිසිසේත්ම එම ව්‍යවස්ථාවන් සම්ප්‍රදානය කරන ලද්දේ ජනතාව වෙනුවෙන් නොවෙයි.

ඒ වගේම 1972 පළමු වරට සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ බ්‍රිතාන්‍යයන්ට තිබූ අයිතිය ඉවත් කරලා ලංකාවේ පාලකයන්ට බලය ලබා ගත්තා. රාජ්‍යයට සහ පාලක දේශපාලනඥයන්ට මෙහිදී බලය හිමිවුණා.

1978 ජේ.ආර්. ජයවර්ධන මහතා මීටත් වඩා ඉදිරියට යමින් බලයේ සිටි දේශපාලනඥයන්ට තිබූ බලයත් තමා අතට ගනිමින් විධායක ජනාධිපති ක්‍රමයත් ගෙන ආවා. තනි පුද්ගලයෙකුගේ අභිමතාර්ථයට රජ‍යක් ගෙන යාම සඳහා.

මේ කියන 78 ව්‍යවස්ථාවට එරෙහිව යූ.එන්.පී. ඇතුළු දේශමාමක පක්ෂ බොහොමයක් දැඩි විරෝධතාවක් දැක්වූවා. මේ ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් 78න් පසුව මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ සියලුම පක්ෂ මැතිවරණ ව්‍යාපාරවලදී ප්‍රධාන සටන් පාඨය බවට පත්කර ගනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, හෙක්ටර් කොබ්බෑකඩුව මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා, සියලුම නායකයින් දිගින් දිගටම ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් මෙම ව්‍යවස්ථාව හකුලවා ගන්නා බවයි. ඇයි මේ සියලු දෙනා මෙය හකුලවා ගන්නා බව ජනතාවට ප්‍රකාශ කර සිටියේ.

මේ සියලු දෙනා ප්‍රකාශ කර සිටියේ 78 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි, නිදහස, අයිතිය මේවාට විරුද්ධයි. ඒ නිසා මෙය ඉවත් කළ යුතු බවයි.

මේ සඳහා ප්‍රථම වතාවට ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකා මහත්මිය. ඇය 2000 වසරේදී අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනු ලැබුවා. නමුත් එයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය නොමැති වීම නිසා එම ව්‍යවස්ථාව ගෙන ඒමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නොහැකි වුණා. ඊට පස්සේ මේ සඳහා ගෙන ආපු පළමු සාධනීය ව්‍යවස්ථා සංශෝධනය තමයි 17 වැනි සංශෝධනය.

මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ රජය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්ෂයේ සිටි අපිත් සහයෝගය දෙනු ලැබුවා. එහිදී රාජ්‍ය නායකයින්ගේ බලය ජනතාවට පුද කරන නිසා කිසිවෙකුටවත් විරුද්ධ වීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. 17 න් ලබාදීමට නොහැකි වූ බොහෝ දේ 19 න් ලබාදීමට හැකි වුණා.

19 සම්මත වීම මගින් මේ රටේ සියලුම රාජ්‍ය සේවකයන්, අධිකරණය, පොලිසිය, මැතිවරණ, මේ සියලුම ක්‍රියාදාමයන් සියල්ල දේශපාලනයෙන් තොරව ස්වාධීන ආයතන බවට පත්වුණා. දේශපාලන හස්තයට නොබියව මේ අංශවල සියලුම අය ක්‍රියා කරන්න පටන් ගත්තා. මේ කරුණු මගින් ජනතාවට විශාල සහනයක් ලැබුණා.

රජය තුළ විගණනය ප්‍රසම්පාදනය කියන කරුණු ස්වාධීනව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ද මේ මගින් නිර්මාණය වුණා.

මේ මගින්ද දේශපාලන මෙන්ම රාජ්‍ය බලය ගිලිහී ගියා. රජය කියනවා නම් 20 ගේන්න ජනවරමක් ලැබුණා කියලා ඒක සම්පූර්ණ වැරැද්දක්. 19 යේ කරුණු සංශෝධනය කරමින් රජයට ඉදිරියට යන්න තිබුණා. රජය මේ කරන්නේ 19 තුළ තිබූ සියලු ජනතා හිතවාදී ලක්ෂණ විනාශ කිරීමක්.

රාජාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරන්න තමයි 20 අනුමත කරගත්තේ.

යහපාලන රජය අර්බුදයකට ගොස් කඩා වැටුණේ 19 නිසා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ගැටුම්කාරී තත්ත්වයට හේතුවත් මෙය බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරනවා. ඇත්තක්ද?

ඒක එහෙම කියන්න බැහැ. එහෙම නම් වර්තමාන රජයේ එහෙම ගැටලුවක් තිබෙන්න විදියක් නැහැ. මොකද ජනාධිපති අගමැති සහෝදරයන් නිසා. අයියලා මල්ලිලාට එකට හිතන්න බැරි රටක සිරිසේනටයි රනිල්ටයි එකට හිතන්න පුළුවන්ද?

මේ ගැටුම් 19 වැනි ව්‍යවස්ථාවක් නිසා ඇති වූ ඒවා නොවෙයි. මොකද මැතිනියට, ඇන්.ඇම්. ට ගැටුම් තිබුණේ නැද්ද?

බණ්ඩාරනායකයි, පිලිපුයි අතර අර්බුද, ගැටලු තිබුණේ නැද්ද? ඒ මොකද ‍හේතුව. එකම දේශපාලන පක්ෂ නොවන අය එකට ඉඳගත්තම සිදුවන ගැටලු. අද මේ ආණ්ඩුව, එකම තැන ඉඳලා එකම කණ්ඩායමක් වෙලත් ගැටලු ඇති වෙලා තිබෙන්නේ කොහොමද?

මේ රටේ ආරක්ෂාව බිංදුවට වැටුණු යුගය ‘යහපාලනය’ කියලා සමාජ මතයක් තිබෙනවා. ඔබ ඒ අවස්ථාවේ අමාත්‍යවරයෙක්. පාස්කු ප්‍රහාරයේ වගකීම කවුද භාර ගන්නේ?

ඇත්තටම මේකේ මුල්ම වගකීම භාරගත යුත්තේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මොකද ඒ වන විට ඔහු සේනාධි නායකයා, ඔහු ආරක්ෂක ඇමති, ඔහු තමයි නීතිය හා සාමය පිළිබඳ ඇමති. මේ සෑම බලතලයක්ම තිබූ තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබූ පුද්ගලයා කියන්නේ කොහොමද මම වග කියන්න ඕන නැහැ කියන කාරණය.

යම්කිසි කෙනෙක් මේකට සම්බන්ධ නම් වැඩිම වගකීම දරපු පුද්ගලයා මේකට මුලින්ම වගකිව යුතුයි.

අති ප්‍රබල බුද්ධි අංශ ඉන්න මේ රටේ බුද්ධි අංශ මේ සම්බන්ධ වාර්තා කර තිබියදී අදාළ අංශ දැනුම්වත් කර තිබියදී ඔහු මෙය වළක්වාලීමට කටයුතු කර නැහැ. සහරාන් අත්අඩංගුවට නොගත්තා නම් එහි වරද කාගේද. ඔහු නේද?

වර්තමානයේදී පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

මේ සම්බන්ධව දැනට සිදුවෙන විමර්ශන සම්බන්ධව අපිට සෑහීමකට පත්වෙන්නට බැහැ. මොකද බොහෝ අත්අඩංගුවට ගැනීම් තිබෙන්නේ ඔවුන්ගේ දේශපාලන පරිභෝජනය සඳහා පමණයි.

මේ රජය බලයට ආපු ගමන් පවසා සිටියේ පාස්කු ප්‍රහා‍රයේ චුදිතයන් අත්අඩංගුවට ගන්නවා කියලයි. ඔවුන්ට එහෙම එකක් කර ගන්නට බැරිවුණා. ඔවුන් දේශපාලන ජනප්‍රියතාව සඳහා රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහෝදරයව ගොදුරක් බවට පත්කර ගන්නවා. හිස්බුල්ලාට, බදුර්දීන් මහතාගේ මල්ලිට විරුද්ධව අද වෙන‍කොට කිසිදු නීතියක් ක්‍රියාත්මක ‍නැහැ. නඩු පවරන්නට රජයට හැකි වෙලා නැහැ.

ඔබටත් විරුද්ධව රජය චෝදනා කළා ඔබ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධව. ඇයි ඒ?

මේ කරන්නේ කිසිම වැදගත් දෙයක් නොවෙයි. ඔවුන් හොයන්නේ දේශපාලන දඩයමක්. මමත් චම්පික රණවකත් තමයි සිර කරන්න මේ රජය කටයුතු කරන්නේ. මොකද අපි දෙන්නාම ක්‍රියාත්මක වුණා කලින් තිබුණු රජයේ දූෂණ සහ මිනිමැරුම් සොයන්න. මොකද ඒක තමයි අපිට ලැබුණු ජනවරම. ජනතාව සහය ලබා දුන්නේ මෙන්න මේ කාරණාව ඉටුකර ගැනීමටයි. ඒ වෙනුවෙන් අපි අවංකවම ක්‍රියා කළා. ජනතාවට දුන්නු පොරොන්දුව වෙනුවෙන් අපි ඉදිරිපත් වුණා. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ මෙවැනි පොරොන්දු දෙන්නේ මැතිවරණය නිමා වනතුරු පමණයි.

ඇත්තටම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වපු පලියට කෙනෙකු අත්අඩංගුවට ගන්න පුළුවන්ද. මට එල්ල කළේ එවැනි චෝදනාවක්. මට පමණක් නොවෙයි බොහෝ දේශපාලන නායකයින්ට මේ අය මේ වැඩේ ක්‍රියාත්මක කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවාට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදු‍කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ඒ මම.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලබන්නෙත් බොරු චෝදනා එල්ල කරමින්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට තමයි ඔහුව අත්අඩංගුවට ගන්නේ. ‍ෙම්වා දේශපාලන පළිගැනීම් මිසක් සාධාරණ තීන්දු තීරණ නොවෙයි.

බැදුම්කර වංචනිකයන් ඇතුළු දූෂිතයන් අත්අඩංගුවට ගන්නා බව රජය ප්‍රකාශ කළා. තවම කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ?

හොරු අල්ලන එක විතරක් නොවෙයි. මේ මාස 11 ටම මේ රජය කරපු කිසිම වැඩක් නැහැ. අපි කියනවා පුළුවන් නම් පෙන්වන්න කියලා. ඊට අමතරව කිසිදු සංවර්ධන යෝජනාවලියක් ආරම්භ කරලා නැහැ. කිසිදු ජනතා සහනයක් ලබා දීලා නැහැ. ජීවන වියදම ඉහළ යනවා. රටේ ආර්ථිකය එන්න එන්නම කඩාගෙන වැටෙනවා. ආර්ථික සංවර්ධන වේගය පෙන්වන්න බැහැ. ඒ ආයතනවලට තහංචි දාලා. මේ ආකාරයට ක්‍රියා කරගෙන යන බොළඳ රජයක් මේ රජය.

පිටරටින් ආහාර පාන ඇතුළු භාණ්ඩ ගෙන්වන එක නතර කිරීමට රජය ක්‍රියා කළා. ජනතාව මේ සඳහා කැමැත්තක් දැක්වුවත් අද ලූනු, කහ වැනි ආහාර වෙළෙඳ පොළේ හිඟයක් තිබෙනවා ‍ෙන්ද?

මේ වගේම ක්‍රියා කලාපයක් අතීතයෙත් සිදු වුණා. ඒ 1970 දී මැතිනිය විසින් ආනයනය නතර කළා. 77 දී තුනෙන් දෙකක බලය තිබුණු මැතිනි අන්තිමට නතර වුණේ ආසන අටකට වැටිලා. මුළු වමේ ව්‍යාපාරයම මේ රටට සේවයක් කරපු වමේ නායකයින් පැත්තකට දාලා එකම ආසනයක්වත් නොමැති තත්ත්වයට වැටුණා. මෙන්න මේ නිසා මේ ගත්ත තීරණ සමග වර්තමාන රජයට වෙන්නෙත් මැතිනිගේ රජයට සිදුවෙච්ච දේම තමයි. ඔය තුනෙන් දෙක නැතිවෙලා. අපි හයෙන් පහක බලය ලබා ගැනීමේ මාවත අද අපට එළිපෙහෙළි කර දීමට මේ රජය කටයුතු කරනවා.

සමගි ජන බලවේගය අද අසමගි වෙලා. එහි සිටින නායකයින් ඉවත් වන බව කියැවෙනවා. ඔබ පිළිගන්නවාද එය?

ඔය කියන කිසිම අසමගියක් අපි අතර නැහැ. ඒවා දේශපාලන වශයෙන් අවුල් වෙච්ච ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශන පමණයි. ඔවුන් දන්නවා අපි ඉතා ඉක්මනින් ඔවුන්ගේ රජය පෙරළා දමා ආණ්ඩු බලය අල්ලා ගන්නා බව. මෙන්න මේ කාරණාව නිසා අපි සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සිදු කරනවා.

දේශපාලනය දන්න, රටට ආදරය කරන, වැඩක් කරලා පෙන්නපු කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. අපි එකාවන්ව අපගේ කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව කරගෙන යනවා.

පක්ෂයක් වශයෙන් ගතහොත් අපි ඉතා ක්‍රමවත්ව, සැලැස්මක් සහිතව ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

අද ඇත්තටම සමගිය බිඳ වැටී තිබෙන්නේ ආණ්ඩුවේ. 20 අපි පැරදුනත් අපි දිනුම් කියන එක මේ වන විට පැහැදිලියි.

සමගි ජන බලවේගයේ ඉදිරි සැලසුම් මොනවාද?

අපි සෑහෙන වැඩකොටසක් දැනටමත් සිදු කරලයි තියෙන්නේ. පක්ෂය දැවැන්ත ලෙස ස්ථාපිත කිරීමේ භාර දූර්ය කාර්ය අපි සිදු කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය හැර ගිය බො‍හෝ දෙනා අද අප සමඟ අත්වැල් බැඳගනිමින් සිටිනවා.

විශේෂයෙන් අපි ග්‍රාමීය මට්ටමේ සිට පළාත් පාලන මට්ටමටත් පළාත් පාලන මට්ටමේ සිට පළාත් සභා මට්ටමත් ජාතික මට්ටමටත් අවශ්‍ය ජනතා ශක්තිය ඒකරාශි කරමින් සිටින්නේ. කොවිඩ් වසංගතය නිසා මෙය අපිට අඩු කරන්න සිදු වුණා. ඉදිරියේදි අපි මෙය කඩිනමින් ආරම්භ කරනවා.

ඡායාරූප - නිශංක සිල්වා

Comments