‘බ්‍රැන්ඩික්ස් ප්‍රදීපිකා’ දැන් මොනවද කරන්නේ... | සිළුමිණ

‘බ්‍රැන්ඩික්ස් ප්‍රදීපිකා’ දැන් මොනවද කරන්නේ...

ප්‍රදීපිකා සිය දියණිය දිව්‍යාංජලී සමඟ අයි.ඩී.එච් රෝහලේදී

- ප්‍රදීපිකාගේ උපන් ගම මොනරාගල මාළිගාවිල
- දුවට පාඩම් කරන්න පොත් දුන්නේ රෝහලේ කාර්ය මණ්ඩලය
- ප්‍රදීපිකාගේ එක් නැඟණියක් බුත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්
- සැප්තැම්බර් 17 - 18 සාම්පල බලන්න කවුද ආවා; ඒ අය ඉන්දියානුවන්ද කියා දන්නේ නැහැ
- අයි.ඩී.එච්. කාර්ය මණ්ඩලය දෙවිවරුන් වැනි පිරිසක්

ටම කැළඹූ දිවුලපිටිය හොරගස්මුල්ලේ ප්‍රදීපිකා සුදර්ශනි රත්නායක ගැන දැන් නොදන්නා කෙනෙක් නැත. එදා ප්‍රදීපිකා ගම්පහ රෝහලේදී පී. සී. ආර්. පරීක්ෂණයට හසු නොවුණා නම් අද රටට වෙන දෙය හිතා ගන්නට නොහැකිය.

“අපේ ෆැක්ටරියේ ගොඩාක් ළමයින්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබුණා. මට මතක විදිහට සැප්: 20 වැනිදා ඉඳලා සමහර ළමයින් උණ වැඩිවෙලා කලන්තය දැම්මා. අපේ ෆැක්ටරියේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වේදනා නාශක දීලා වැඩ ගත්තා. මට සැප්: 27 වැනිදා ඇඟපත රිදෙන්න ගත්තා. ඔළුව කැක්කුමත් තිබුණා. මම 28 වැනිදා වැඩට ගිය ගමන් ෆැක්ටරියේ දොස්තරගෙන් බෙහෙත් ගත්තා. වයිරස් උණක් කියලා කිව්වෙ. එදා මම වේලාසනින් ගෙදර එන්න ඇහුවාම අපේ අංශය බාරව හිටපු කෙනා කිව්වා ඔක්: 14 වැනිදා බාර දෙන්න ඕඩරයක් තියෙනවා. ඒ නිසා ෆැක්ටරියේ දොස්තරගෙන් බෙහෙත් බීලා වැඩ කරන්න කියලා.

ඊට පස්සෙ තමයි මම බේත් අරන් දිගටම වැඩ කළේ. සැප්: 30 වැනිදා උදෙත් මට අමාරුව තිබුණා. මගේ මහත්තයා කිව්වා ඔය වැඩේ හරියන්නෙ නැහැ, බේත් ටිකක් ගන්න යමු කියලා. මම අමාරු බව පෙන්වන්නේ නැතිව වැඩට ආවා. 30 වැනිදා උදේ ෆැක්ටරියේදි පපුව හිර වෙනවා වගේ දැනුණා. හුස්ම ගන්න අමාරු වුණා. මම අමාරුවෙන් අමාරුවෙන් විවේකාගාරය පැත්තට එනකොට මාව ක්ලාන්ත වෙලා වැටෙන්න ගිහින්. ගෑනු ළමයි දෙන්නෙක් මාව අල්ලාගෙන එක්කන් ගියා. ඒ වෙලාවේ තව ගෑනු ළමයි හත්දෙනෙකු විතර අමාරුවට විවේකාගාරයේ හාන්සි වෙලා හිටියා. නර්ස් ඇවිත් මගේ උණ බැලුවා, 101 ලෙස උණ සටහන් වී තිබුණා. ආයෙත් උණ බැලුවා. එතකොට තිබුණේ 99 යි.

එයාලා මට කිව්වා වයිරස් උණක්නෙ තියන්නේ, ඒ නිසා වැඩ කරන්න කියලා. මම කිව්වා මගේ පපුව රිදෙනවා කියලා. එතකොට ගැස්ට්‍රික්වලට කියලා පෙති දුන්නා. මම කිව්වා මට ගැස්ට්‍රික් අමාරුවක් නැහැ, පපුව රිදෙනවා හුස්ම ගන්න බැහැ, ඒ නිසා මාව දිවුලපිටිය ‍රෝහලට ගෙනියන්න කියලා. නැතිනම් මගේ මහත්තයාට කියන්න කිව්වා. ඊටපස්සෙ තමයි මාව ගම්පහ රෝහලට එක්කන් ආවේ.” යනුවෙන් පවසමින් අංගොඩ අයි. ඩී. එච්. රෝහලේ 6 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන ප්‍රදීපිකා සුදර්ශනි රත්නායක අප සමඟ සංවාදයට එක්වූවාය.

සැප්: 30 වැනිදා ගම්පහ රෝහලට ඇතුළත් කළ ඇය ආපසු නිවසට පැමිණියේ ඔක්තෝබර් 02 වැනිදාය. ඇගේ උණ වැඩි වී නිව්මෝනියාව තත්ත්වයට පැමිණ සිටි බව පැවසූ වාට්ටු බාර වෛද්‍යවරයා, ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බැවින් එදින ඇයව නිවසට යවන බව සඳහන් කළේය.

ඇයට පී. සී. ආර්. පරීක්ෂණය කර තිබුණේ ඔක්තෝබර් 01 වැනිදාය. ඇයව ටිකට් කපා රෝහලෙන් පිටත් කරන විට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව පැමිණ තිබුණේ නැත. ප්‍රදීපිකා ඒ ගැන වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා තිබුණේ ඇයට කිසිම ප්‍රශ්නයක් නැති බවය. ප්‍රශ්නය මතු වූයේ ඈ නිවසට ගිය පසු ඔක්තෝබර් 02 වැනිදා සවස් භාගයේදීය. ප්‍රදීපිකාගේ සැමියාගේ දුරකතනයට ඇමතූ ගම්පහ රෝහල, ප්‍රදීපිකාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බැවින් ඉක්මනින් රෝහල්ගත වීමට සූදානම් වන ලෙස දැනුම් දීමත් සමග ප්‍රදීපිකා ඇතුළු පවුලේ අය වික්ෂිප්ත වූහ.

“ඇත්තටම අපිට මුකුත් හිතාගන්න බැරි වුණා. මගේ මහත්තයා කිව්වා වැරදීමක් වෙන්න ඇති කියලා. මගේ දුව භයවෙලා හොඳටම ඇඬුවා. මම හිතුවා මම මැරෙයි කියලා.” යනුවෙන් පවසන විට ඇගේ මුවින් දිගු සුසුමක් පිට වූයේ නිරායාසයෙනි. දිවුලපිටිය පොලිසියෙන් ඔවුන්ගේ නිවස සොයා පැමිණ ප්‍රදීපිකාට අයි.ඩී.එච්. රෝහලට යෑමටත් නිවසේ සිටින සෙසු සාමාජිකයන්ට නිරෝධායනය සඳහා යෑමටත් සූදානම් වන ලෙස දැනුම් දෙනු ලැබිණි. අංගොඩ අයි. ඩී. එච්. රෝහලේ වාහනයක් ඔවුන්ගේ නිවසට පැමිණියේ මේ අතරවාරයේදීය.

එදා පටන් අද දක්වාම ප්‍රදීපිකා සිටින්නේ අයි. ඩී. එච්. රෝහලේ 6 වැනි වාට්ටුවේය. ඇගේ සැමියාත් දියණියත් පුතුන් තිදෙනා සහ ඇගේ පියාත් 04 වැනි සෙනසුරාදාට එළිවන ජාමයේ ගාල්ල හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ‍රැගෙන එනු ලැබූහ. ඔවුන්ට පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. දැන් ස්වප්නා දිව්‍යාංජලි දියණිය සිටින්නේ අයි. ඩී. එච්. රෝහලේ 6 වැනි වාට්ටුවේ ඇගේ මව සමගය.

ප්‍රදීපිකා සුදර්ශනි රත්නායකට නම් 6 වැනි වාට්ටුව හරි අපූරු වාට්ටුවකි. එක් පසෙකින් ඇගේ දියණිය සිටියි. අනෙක් පසින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ ඈ සමග එකට සේවය කළ මිතුරියෝ 16 දෙනෙක් සිටිති.

“හැමදාම උදෑසන 5.00ට උණ පරීක්ෂා කරන්න, ලේ ගන්න, රුධිර පීඩනය බලන්න වාට්ටුවට හෙදියන් එනවා. අපිට බෙහෙත් දෙනවා. උදේ 6.00ට උදෑසන ආහාර දෙනවා. උදේ 9.45ට විතර සුප් එකක් හෝ තැම්බූ කොත්තමල්ලි වතුර දෙනවා. ඒ අතරවාරයේ අපිට අව්වෙ ඇවිදින්න කියලා වාට්ටුවෙන් පිටතට යවනවා. දොස්තර මහත්තුරු ඇවිත් අපිව බලනවා.’’

‘‘දොස්තරලා නර්ස්ලා වාට්ටුව ඇතුළට එනකොට විශේෂිත ඇඳුම් කට්ටල ඇඳලා එන නිසා අපිට හඳුනාගන්න වෙන්නේ කටහඬින්. හැබැයි සාමාන්‍ය වෙලාවට වාට්ටුවේ වීදුරු ගහපු තැනකට අපිට එන්න කියලා වීදුරුව දෙපැත්තේ ඉඳගෙන අපේ සුවදුක් අහනවා. ඒ වෙලාවට මාස්ක් විතරක් දාලා ඉන්න නිසා හඳුනාගන්න පුළුවනි. මේ හැමෝම අපිට උපරිම හොඳින් සලකනවා. සවස 3.15 ට බිස්කට් සමග කිරි තේ දෙනවා. සවස 5.45ට රෑ කෑම දෙනවා. හැමදේම ඉතාමත් හොඳින් පිළිවෙළට සිද්ධ වෙනවා.

දවස් තුනකට සැරයක් ඇඳ ඇතිරිලි කොට්ට උර මාරු කරනවා. මම මෙහේ ආවේ ඇඳුම් 2ක් අරගෙන. තුවා, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු හැමදේම දුන්නේ රෝහලෙන්. අපිට අඳින්න ඇඳුම් කීපයක් ලැබෙනවා නම් ලොකු උදව්වක්.” යනුවෙන් ඇඳුම් ඉල්ලා සිටියේ ප්‍රකට ඇඟලුම් කම්හලක වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කරන ප්‍රදීපිකා සුදර්ශනි රත්නායකය.

එහෙත් ප්‍රදීපිකාගේ සැමියා වන ගයාන් අමරසිංහ ඇතුළු පිරිස රඳවා සිටින හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට නම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය ඇඳුම් කීපයක් පරිත්‍යාග කර ඇත. 

“හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය පොලිසියට අයිති තැනක්. ඇනෙක්ස් වගේ තියෙන්නේ. මමත් ප්‍රදීපිකාගේ තාත්තාත් ඉන්නේ එක් ඇනෙක්ස් එකක. පුතාලා තුන්දෙනා ඉන්නේ අපට ඉස්සරහ ඇනෙක්ස් එකේ. හැමදාම උදේ උණ බලනවා. විෂබීජහරණය කරනවා. අපි ආපු දවසේ පී. සී. ආර්. පරීක්ෂණ කළා. නැවත 13 වැනි දවසේ කරන බව කිව්වා.” යනුවෙන් සඳහන් කළේ ප්‍රදීපිකාගේ සැමියා, ගයාන් අමරසිංහය.

දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි ගයාන්ට ප්‍රදීපිකා මුණගැසී තිබෙන්නේ ඔහු බස්රථයක රියැදුරු ලෙස සේවය කරන කාලයේදීය. ඒ කාලයේ ප්‍රදීපිකා මුද්දරගම ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී නයිවල ඇඟලුම් කම්හලක සේවයට ගියාය. යන එන අතරවාරයේදී ඇති වූ දැනහැඳුනුම්කම ආදර කතාවක් බවට පත් විය. මොනරාගල මාළිගාවිල උපන් ප්‍රදීපිකා පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇයට බාල සොයුරියෝ සිවුදෙනෙක් සිටිති. ඇගේ පියා ගොවි මහතෙකි. ප්‍රදීපිකාගේ එක් නැගණියක් බුත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකි.

1999 වසරේ නොවැම්බර් 16 වැනිදා ප්‍රදීපිකා - ගයාන් යුවළ එක් වහලක් යට ජීවත් වන්නට පැමිණියේ මවුපියන්ගේ ආශීර්වාදය ලබමිනි. දැන් 20 හැවිරිදි වැඩිමහල් පුතු පසිඳු ලක්මාල් අමරසිංහ යුද හමුදා සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන අතර 18 හැවිරිදි අවිශ්ක ලක්ෂාන් මෝටර් රථ ආනයන සමාගමක සේවය කරයි. 16 හැවිරිදි ස්වප්නා දිව්‍යාංජලි දියණිය මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දිවුලපිටිය ඥානාවාස විද්‍යාලයේ සිසුවියකි. 14 හැවිරිදි බාලපුතු නිමේෂ් ලක්ෂිත ගල්කන්ද සීලවිමල විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. වසර 21කට පෙර ගයාන් - ප්‍රදීපිකා තැනූ කැදැල්ලේ ඔවුහු දරුවන් සිවුදෙනා සමග කුලී නිවසක සතුටින් දිවි ගෙවති.

කුලී නිවසක විසූවද අඟහිඟකම් තිබුණද, ඔවුන්ගේ ආදරය, සතුට පෑළදොරින් පලා ගොස් නැත. එහෙත් ප්‍රදීපිකා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග ඇයට එල්ල වූ නින්දා ගැරහුම් කෙළවරක් නැත.

“මාව ගම්පහ රෝහලට එක්කං ගිය දා ඉඳලා මා ගැන කිසිම හොයා බැලීමක් නොකරපු ආයතනය මට කොරෝනා හැදුණ කියපු ගමන් මට කතා කරලා ඇහුවා මම කාවද ආශ්‍රය කළේ, ඉන්දියාවේ අය එක්ක හිටියා නේද කියලා.’’

‘‘ඇත්තටම එයාලාට ඕනේ වුණේ මාව පටලවලා එයාලා ඒකෙන් බේරෙන්න. ඒත් දැන් ඔප්පු වෙලා ඉවරයි කොරෝනා මගෙන් පෙන්නුවාට මට හැදෙන්න ඉස්සෙල්ලා ෆැක්ටරිය ඇතුළෙ තිබුණා කියලා. මම පළමු රෝගියා නොවෙයි කියලා හැමෝම දන්නවා. ඒ ගැන මට සතුටුයි. ඒත් මා ගැන යන කටකතා අහලා මුලින් නම් මම ඇඬුවා. කම්පා වුණා. මාව සැනසුවේ අයි.ඩී.එච්. රෝහ‍ෙල් වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්යය මණ්ඩලය. ඇත්තටම එයාලා නම් දෙවිවරුන්.” යනුවෙන් ප්‍රදීපිකා සඳහන් කළාය.

බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානු පිරිසක් පැමිණියාද යනුවෙන් අප ඇගෙන් විමසු‍වේ ඇය ඉන්දියානුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූවාද යනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකාරිත්වය විමසා සිටි බැවිනි. ප්‍රදීපිකා පවසා සිටියේ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයට එවැනි පිරිසක් නොපැමිණි බවය.

ඉන්දියාවේ ඇණවුමක් බාර දීමට සූදානම්ව තිබූ බැවින් ඔවුන් නිවාඩු නොලබා සේවය කළ බව සඳහන් කරන ඈ, ඔවුන්ට මැසීමට දුන් රෙදිවල මුත්‍රා ගඳක් වැනි ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක් තිබූ බව දන්වා සිටියාය. නමුත් සැප්: 17, සැප්: 18 වැනි දිනක මහන සාම්පල් පරීක්ෂා කිරීමට ඉහළ පෙළේ නිලධාරින් තිදෙ‍නකු පැමිණි බවත් ඔවුන් ඉන්දියානුවන් ද කියා නොදන්නා බවත් සඳහන් කළේ ඇගේ මතකය අවදි කරමිනි.

බ්‍රැන්ඩික්ස් සමූහය මෙරට ඇරඹුණේ 1969 වර්ෂයේදීය. ඇඟලුම් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී තිබෙන්නේ 1972 වසරේදීය. සීදුවේ ලියනගේමුල්ල ප්‍රදේශයෙන් ඇරඹුණු බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් මිනුවන්ගොඩ, වතුපිටිවල ඇතුළු ස්ථාන 23ක ස්ථාපිත කර ඇත. ඊට අමතරව ඉන්දියාවේ කර්මාන්ත ශාලා 4ක්ද බංග්ලාදේශයේ එක් කර්මාන්තශාලාවකුත් ඉදි කර තිබේ. මේ වන විට බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ක්ෂේත්‍රය සතු මුළු කම්හල් ගණන 28කි.

ඇමෙරිකාව සහ යු‍රෝපය ඉලක්ක කරගෙන නිපැයුම් නිෂ්පාදනය කළත් පසුගිය කොරෝනා රැල්ල සමග ඔවුන්ගේ ඇඟලුම් අපනයනයට ලැබුවේ නරක කලදසාවකි. කොරෝනා රැල්ලට රට වසා දැමීමට පෙර 53,000 ක පමණ සේවක පිරිසක් සේවයෙහි නිරත වුවත් දැන් සේවයේ යෙදී සිටින්නේ 35,000 ක සේවක සංඛ්‍යාවකි.

“බ්‍රැන්ඩික්ස් ‍එකේ ඉස්සර හිටපු කළමනාකාරිත්වය නම් හරි හොඳයි. අපේ දුව ලොකු ළමයෙක් වුණාමත් අපේ ගෙදර ආවා. අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මාව ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඇවිල්ලා මාව බැලුවා. ඉස්සර කට්ටිය සේවක සේවිකාවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා. උදව් කළා; දුක සැප බෙදා ගත්තා. ඒත් දැන් අවුරුදු දෙකක විතර ඉඳලා වෙන කට්ටියක් ඉන්නේ.

ඒ අය කරන්නේ සේවකයන්ව මරව මරවා වැඩ ගන්න එක විතරයි.” යන‍ුවෙන් සඳහන් කළේ ප්‍රදීපිකාගේ සැමියා වන ගයාන් අමරසිංහය.

Comments