හොරෙන් වෙස් බැන්දට එළියෙ නටන්න වුණු බදුර්දීන් | සිළුමිණ

හොරෙන් වෙස් බැන්දට එළියෙ නටන්න වුණු බදුර්දීන්

රිෂාඩ් බදුර්දීන් යන නම අපේ රටේ කාලයෙන් කාලයට විවිධ කරුණු නිසා ඉස්මතු වන්නකි. වරෙක විල්පත්තු වනය විනාශ කිරීම සම්බන්ධයෙන්ද තවත් විටෙක මන්නාරමේ හා විල්පත්තුවේ විදේශීය ආධාර සහිත නිවාස සංකීර්ණයක් රජයේ අවසරයක් නොමැතිව ඉදි කිරීම සම්බන්ධයෙන්ද තවත් අවස්ථාවක මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නිවෙසට ගල් ගැසීම සම්බන්ධයෙන්ද ඔහුගේ නම කරළියේ රැව් දුන්නේය.

පාස්කු ප්‍රහාරයට ඔහුගේ හෝ ඔහුගේ ඥාතීන්ගේ සම්බන්ධයක් ඇතැයි රාවයක් ආවේය.

මීට අමතරව පසුගිය 2019 වසරේ ජනාධිපතිවරණයේදී මන්නාරමේ අවතැන්ව පුත්තලමේ තාවකාලිකව පදිංචිව සිටිතැයි කියන ජනතාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලින් ප්‍රවාහන කළැයි කියන සිදුවීමක්ද මේ අතර කතාබහට ලක්විය.

රිෂාඩ් බදුර්දීන් ගැන විශේෂ කතාවක් සාක්ෂි සහිතව පළමුවරට කරළියට ආවේ ‘සිළුමිණ‘ පුවත්පතෙනි. ඒ පාස්කු ප්‍රහාර සමයේ යුද හමුදාපතිවරයාව සිටි ජනරාල් මහේෂ් සේනානායක සමඟ ලියුම්කරු විසින් කළ සාකච්ඡාවකදීය. හමුදාපතිවරයාට අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විමසා අදාළ සැකකරුට කළ හැක්කේ කුමක්දැයි විමසමින් කළ බලපෑමක් ගැන සිළුමිණ වාර්තා කෙළේය. රිෂාඩ්ට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගයේ පළමු චෝදනාව වූයේද එය වන අතර ඒ සම්බන්ධව සාක්ෂ්‍ය ලෙස යොදාගෙන තිබුණේද සිළුමිණ විශේෂාංග ලිපියයි.

බදුර්දීන්ගේ කතාවන්ගේ කෙළවරක් නැත. අනෙක් කරුණු කොමිසම්හි මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විභාග වන අතර ඇදි ඇදී තිබුණු ජනාධිපතිවරණයේදී බස් රථවලින් ජනතාව ප්‍රවාහනය කිරීමේ කතාව එළියට ආවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන ලද්දේ ඒ වන විට පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයන් විසින් සිදු කරන ලද පැමිණිලි අනුවය.

·මන්නාරමෙන් සිලාවතුරට

පසුගිය සතිය වන විට නීතිමය කරුණු එකින් එක පෙළගැසෙමින් තිබුණි. ඒ අනුව රිෂාඩ් බදුර්දීන් 2019 වසරේ නොවැම්බර් 15 වැනිදා පුත්තලමේ අවතැන් වූ ජනතාව මන්නාරම සිලාවතුර ප්‍රදේශයට රැගෙන ගොස් ඡන්දය ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවැරැදි ක්‍රමවේදයට අනුව එය සිදු කරන ලෙස එහිදී මංගල සමරවීර උපදෙස් ලබා දී ඇත. ඉන් පසුව බදුර්දීන් සිදු කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඒ සම්බන්ධව පිහිට පැතීමයි. ඔහු ලිඛිතව දන්වා ඇත්තේ ඡන්දදායකයන්ට මුදල් ගෙවා ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි.

එහෙත් වාර්තා වන තොරතුරු අනුව බදුර්දීන් හිටපු ඇමැතිවරයා සිදු කර ඇත්තේ මුදල් ඇමැතිවරයා හෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් හෝ දන්වන ලද පරිදි කටයුතු කිරීම නොව තමන් විෂය බාරව සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ගිණුමෙන් මුදල් ලබා ගෙන බස් රථ 221ක් (222ක් බවටද වාර්තා වේ) යොදා ගෙන මුස්ලිම් ජනතාව 11,286ක් ප්‍රවාහනය කිරීමය. මේ පිළිබඳව එදින සිටම දේශපාලඥයන් මෙන්ම විවිධ සංවිධාන විසින් චෝදනා එල්ල කරන ලදී. එසේම එම ඡන්ද දායකයන් පුත්තලමේත් මන්නාරමේත් යන ස්ථාන දෙකේදීම ඡන්දය භාවිත කර ඇති බවට ද චෝදනා එල්ල විණි.

බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් අදාළ මුදල වූ රුපියල් 95,02,960.00ක මුදලක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ගෙවා තිබේ. ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ දීර්ඝකාලීන අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සම්සුදින් මොහොමඩ් යාසින් විසින් වන අතර අදාළ චෙක්පතට ප්‍රධාන අත්සන යොදා ඇත්තේ එකී ව්‍යාපෘතියේ ගණකාධිකාරි අලගරත්නම් මනෝරංජන් යන අය විසිනි. ඒ අනුව රජයේ මුදල් සාපරාධී ලෙස වෙනත් කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමේ චෝදනාව ඔවුන්ට ඍජුවම එල්ල වී ඇත. අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් වෙන් කළ මුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම බරපතළ වරදක් වන බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දන්වන ලදුව එයට තමන් කිසිසේත්ම අනුමත නොකරන බව මෙහිදී ලේකම්වරයා විසින් දන්වා ඇත.

·අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය නැහැ

කුමන ක්‍රමයකින් හෝ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගන්නට නොහැකි වූ තැන රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ ඍජු මැදිහත්වීම මැද නොවැම්බර් 21 වනිදා ‘සදර්න් ඩිස්ල්ලේස් ෆෝර්ට්‘ නැමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අදාළ මුදල අමාත්‍යාංශයට ගෙවා ඇත. ඒ අනුව රජයේ මුදල් සාපරාධී ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව වඩාත් ඉස්මතු වී ඇත. අදාළ මුදල නීත්‍යානුකූලව යොදා ගත්තා නම් එය නැවත අමාත්‍යාංශ ගිණුමට යොමු කළ යුතු නැත.

මේ එදා කළ වික්‍රමයේ සාක්ෂි සහිත කතාවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරන ලදී. ඒ අනුව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ඇතුළු මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැනවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. නීතිපතිවරයාගේ උපදෙස් අනුව මේ කටයුතු මෙහෙයවන ලද අතර ඒ අනුව මේ කටයුත්ත මෙහෙයවන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, දීර්ඝකාලීන අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සම්සුදින් මොහොමඩ් යාසින් සහ එකී ව්‍යාපෘතියේ ගණකාධිකාරි අලගරත්නම් මනෝරංජන් යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ සඳහා වරෙන්තුවක් ලබා ගන්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එම වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ රජයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අධිකරණයේ වරෙන්තු අවශ්‍ය නොවන බවයි.

·පොලිස් කණ්ඩායම් 6ක්

ඒ අනුව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන ලද අතර පොලිසියේ විශේෂ කණ්ඩායම් 6ක් බදුර්දීන්ගේ මන්නාරමේ නිවෙසට හා කොළඹ 8 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට ගියද ඔහු නිවෙසේ නොසිටියේය. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන කරුණු අනුව දැන ගන්නට ඇත්තේ පසුගිය 13 වැනිදා පුත්තලමේ සිට කොළඹ එමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සිය වාහනය තුළ ගුවන්විදුලියට කන්දී ගෙන එමින් සිටියදී තමා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි යන පුවත ඇසීමත් සමග වාහනය නැවැත්වීමට රියැදුරාට වාහනයෙන් බැස පලාගොස් තිබේ.

බදුර්දීන්ගේ වාහනය කොළඹ පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් එම අවස්ථාවේදී එහි සිට ඇත්තේ ඔහුගේ රියදුරු සහ මන්ත්‍රීවරයාගේ ඉඩමක් බලා ගන්නා පුද්ගලයෙක් පමණි.

·අනවසර අවි රැසක්

වාහනය සමඟ එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව එම අවස්ථාවේ පිස්තෝල දෙකක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබේ. එම මෝටර් රථ 2 තුළ තිබී පිස්තෝල 2ක්, මැගසින් 4 ක් සහ පතරොම් 48ක් ද සොයා ගෙන ඇත. මේ අතර රිෂාඩ් බදුර්දීන්ට පලාගොස් සැඟවීමට උදව් කළ බව කියන ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි මුස්ලිම් ජාතික පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමන්ම රිෂාඩ් බදුර්දීන් සමඟ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරාජන් කිරුලපනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 14 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හෝ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් තොරව මුදල් වැය කළ නොහැකි විෂයක් වෙනුවෙන් මුදල් වැය කිරීමට කටයුතු කිරීම රජයේ මුදල් බරපතළ ලෙසින් අවභාවිත කිරීමකි. එය 1981 අංක 15 දරන ජනාධිපති පනතේ අංක 82(1) වගනතිය යටතේ ජනාධිපතිවරණ මුවාවෙන් සිදු කළ අවභාවිතය වෙනුවෙන් දඬුවම් නියම කළ හැකි බරපතළ වරදකි.

·අතුරු තහනමක් ඉල්ලයි

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. තම නීතිඥයන් මඟින් අභියාචනාධිකරණය හමුවේ ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත.

වාර්තා වන අන්දමට බදුර්දීන්ට එරෙහිව තවත් චෝදනාවක් මේ සමඟ එල්ල වී තිබේ. ඒ ඔහු මන්නාරමේ සිලාවතුර දක්වා ප්‍රවාහනය කළ පිරිස පුත්තලමේද ඡන්දය භාවිත කර ඇති බවට තොරතුරු හෙළි වීමයි. එසේ වුවහොත් එය බරපතළ වරදක් වනු ඇත. රජයේ දේපළ සාවද්‍ය පරිහරණයට අමතරව මැතිවරණ නීතිය අමු අමුවේම උල්ලංඝණය කිරීමක් වනු ඇත. කෙසේ හෝ ඒ ගැන අනාවැකි කීම හෝ පුරෝකතන ඉදිරිපත් කිරීම අපට කළ හැක්කක් නොවේ. එය අධිකරණයට බාර කටයුත්තකි. අදාළ නඩුව මේ මස 27 වැනිදා අඟහරුවාදා විභාගයට ගැනෙනු ඇත. අප බලා සිටිය යුත්තේ අධිකරණ තීන්දුව කෙරෙහිය.


Comments