ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පුරාණය | සිළුමිණ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පුරාණය

- ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ගණන 08ක්
- 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සිට මේ දක්වා සංශෝධන 19ක්

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කරළියට පැමිණිමත් සමඟ මෙරට දේශපාලන වේදිකාව වඩාත් උණුසුම් විය. එක් පාර්ශ්වයක් 20 වැනි සංශෝධනය අවශ්‍ය බව කියද්දී ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පවසන්නේ ඉන් ඒකාධිපතියකු නිර්මාණය වී ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදු වන බවය. තවත් පාර්ශ්වයක් පවසන්නේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවය. මේ පිළිබඳව නිශ්චිත අදහසක් තවම නොමැති බැවින් මෙතෙක් මෙරට සිදු කෙරුණු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ සැකවින් විමසා බැලීමට අපි අදහස් කළෙමු.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ගණන 08 කි. ඒ, 1833 දී කෝල්බෲක්‌ - කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය, 1910 කෲව් - මැකලම් ආණ්‌ඩුක්‍රමය, 1920 පළමුවන මැනිං ආණ්‌ඩුක්‍රමය, 1924 දෙවන මැනිං ආණ්‌ඩුක්‍රමය, 1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය, 1947 සෝල්බරි

ආණ්‌ඩුක්‍රමය, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සහ 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ආදී වශයෙනි.

නූතනයේ රටක ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වන්නේ ඒ රටේ ජනතාවගේ දේශපාලන සහභාගීත්වය තීරණය කරන මහජන ඡන්දය මඟිනි. 1931 ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ අපට සර්ව ජන ඡන්ද බලය හිමි විය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති වරයා වූ ජේ.ආර් ජයවර්ධන විසින් 1978 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන් අතර විවිධ සංශෝධන ඇතුළත්ව මේ දක්වා ක්‍රියාත්මක වන්නේ එකී ව්‍යවස්ථාවයි.

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමට පෙර මෙරට තුළ පැවතියේ ඩොමීනියන් ව්‍යවස්ථාවකි. (එනම් කිසියම් රටක පාලන බලය බාහිර පාර්ශ්වයක් මඟින් විධායකය හෝ එකී විධායකය විසින් පත් කරන නියෝජිතයකු යටතේ පාලනය කිරීමය.) 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සිට මේ දක්වා සංශෝධන 19ක් සිදුව ඇත. ඒවා සැකෙවින් මෙසේය.

01 වැනි සංශෝධනය 1978 වසරේ නොවැම්බර් 20 වැනිදා සිදු වූ අතර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව සංශෝධනය විය. ඒ අනුව අභියාචනාධිකරණය මඟින් විභාග කළ යුතු වන ඇතැම් නීතිමය කාරණා පාර්ලිමේන්තුවේ සම්මත වන ඇතැම් නීතිවල දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාග කිරීමට අවස්ථාව සැලසීමයි.

02 වැනි සංශෝධනය සිදු වූයේ 1979 වසරේ පෙබරවාරි 26 වැනිදාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ මාරු කිරීමෙන් හෝ අදාළ පක්ෂයෙන් නෙරපා හැරීමෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවට පැවති තත්ත්වය මේ අනුව වෙනස් විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 85 දෙනෙකුගේ අත්සනින් සම්මත වුවද අදාළ මන්ත්‍රී ධූරය අහෝසි නොවන බව මෙමඟින් පැහැදිලි කෙරිණ.

03 වැනි සංශෝධනය 1982 වසරේ අගෝස්තු මස 27 වැනිදා සිදු විය. ඒ අනුව ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලයේ වසර හතරක් ගෙවී ගිය විට නැවත වාරයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටීමට හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධන කෙරිණි. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 31 (3) ව්‍යවස්ථාව) මෙය ජේ.ආර් ජයවර්ධන විසින් ගෙනා ප්‍රජාතන්තවාදය හකුළුවනු ලද සංශෝධනයකි.

04 වැනි සංශෝධනය 1982 දෙසැම්බර් 23 සිදු කෙරුණු අතර, මින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන පරිච්ඡේදයේ (අන්තර්කාලීන විධිවිධාන) 161 (ඊ) සංශෝධනය කිරීම සිදු විය. ප්‍රථම පාර්ලිමේන්තුව පවත්නා කාලය තවත් වර්ෂ හයක කාලසීමාවක්, එනම් 1989 අගෝස්තු 04 වන දින තෙක් වසර හයක් දීර්ඝ කර ගත්තේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ‘කළගෙඩි-ලාම්පු සෙල්ලම’ යනුවෙන් මෙය හැඳින්වේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක්කළ සංශෝධනයක් ලෙස ඉතිහාසගත විය.

05 වැනි සංශෝධනය 1983 පෙබරවාරි මස 25 වැනිදා සිදු කෙරිණි. එමඟින් 161 ව්‍යවස්ථාවට සංශෝධන එකතු කිරීම සිදු විය. ප්‍රථම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ඇතුළත් කර ගන්නා ආකාරය මෙයින් කියැවිණ. මෙය 4 වැනි සංශෝධනය හා සම්බන්ධ වන්නක් ලෙස සැලකෙන අතර එම සංශෝධනයට මාස දෙකට පසුව මෙය ඉදිරිපත් කරන ලදී.

06 වැනි සංශෝධනය 1983 අගෝස්තු මස 08 වැනිදා සිදු වූ අතර, මෙය කළු ජූලියෙන් පසු හදිසි නීතියක් ලෙස ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධනයකි. මෙයින් 157 (අ) ව්‍යවස්ථාව හා 161 (ඇ) (3) ව්‍යවස්ථාව සංශෝධනයට ලක් වුණු අතර, ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරනු ලැබීය.

07 වැනි සංශෝධනය 1983 ඔක්තෝබර් මස 04 වැනිදා සිදු වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 පරිච්ඡේදයේ 5 ව්‍යවස්ථාව හා 96 ව්‍යවස්ථාව සංශෝධනය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක අතරට ‘කිලිනොච්චිය’ නමින් අලුතින් දිස්ත්‍රික්කයක් ඇතුළත් කරන ලදී. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 දක්වා වැඩි විය.

08 සංශෝධනය 1984 වසරේ මාර්තු මස 06 වැනිදා සිදු කෙරුණු අතර, 136 හා 169 (අ) ව්‍යවස්ථාවන් මින් සංශෝධනය විය. එතෙක් පැවති ‘රාජ්‍ය නීතිඥ’ යන්න ඉවත් කොට ඒ වෙනුවට ‘ජනාධිපති නීතිඥ’ තනතුර ඇති කරන ලදී. එසේ ම ජනාධිපති නීතිඥවරුන්ගේ තත්ත්වය, බලතල, වරප්‍රසාද හා පත් කරන ආකාරය පිළිබඳව මීට ඇතුළත් කරන ලදී.

09 වැනි සංශෝධනය සිදු කෙරුණේ 1984වසරේ අගෝස්තු මස 24 වැනිදාය. එමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වීමට පවතින ව්‍යවස්ථාපිත සීමා සවිස්තර කිරීම සිදු විය. විශේෂයෙන් ම රජයේ නිලධාරීන් සඳහා තිබූ සීමා නිශ්චිත ලෙස අර්ථ දැක්වීම සඳහා 14 වන පරිච්ඡේදයේ 91 ව්‍යවස්ථාව මින් සංශෝධනය විය.

10 වැනි සංශෝධනය 1986 වර්ෂයේ අගෝස්තු මස 06 වැනිදා සිදු කෙරුණ අතර, ඉන් ඒ වන විට රට තුළ ගොඩ නැගෙමින් පැවති සන්නද්ධ ගැටුම් හේතුවෙන් රජයේ ආරක්ෂක අංශ මුහුණ දී තිබූ අසීරුතා වළක්වා ගැනීම සඳහා හදිසි නීතිය දිගින් දිගට ම බලාත්මක කිරීමේ වුවමනාවක් එවකට ආණ්ඩුවට පැවති බැවින් ඒ සඳහා පැවති ඇතැම් සීමා ඉවත් කිරීම මෙමඟින් සිදු විය. ඒ අනුව155 වන ව්‍යවස්ථාව සංශෝධනය කෙරිණ.

11 වැනි සංශෝධනය 1987 වර්ෂයේ මැයි මස 06 වැනිදා සිදු වූ අතර, මෙමඟින් මෙරට අධිකරණ පද්ධතිය පුළුල් ප්‍රතිසංස්කරණයකට භාජනය කරන ලදී. මහාධිකරණ ස්ථාපිත කිරීම, මුළු රටට ම බලපාන පිස්කල්වරයකු පත් කිරීම, අධිකරණ ක්ෂේත්‍රයේ උසස් කිරීම් හා මාරු කිරීම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම මෙහි අරමුණ විය. මේ සඳහා 111,112, 113,114 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු විය. මීට අමතරව එක් එක් විනිශ්චය පීඨයක් සමන්විත විය යුතු විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා 146 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමද සිදු විය.

12 වැනි සංශෝධනය 1987 වර්ෂයේ සැප්තැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන විසින් පළමුවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ස්ථාවර නියෝග 47(5) යටතේ අමාත්‍යාංශ වාර්තාව ඉදිරිපත් නොකළ බැවින් ඉදිරි කටයුතු සිදු නොකරන ලදී.

13 වැනි සංශෝධනය 1987 වර්ෂයේ නොවැම්බර් 14 වැනිදා සිදු කෙරුණු අතර, පළාත් සභා ක්‍රම ස්ථාපිත වූයේ මෙමඟිනි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත් ඒ හේතුවෙන් මෙවැනි ‘ෆෙඩරල්’ ස්වරූපයේ යාන්ත්‍රණය කිසිසේත් පිළිගත නොහැකි බවට විවේචන ඉදිරිපත් විය. මෙතෙක් ඉදිරිපත් වූ සංශෝධන අතුරින් වඩාත් විවාදාත්මක, පුළුල් බලපෑමක් කළ සංශෝනයක් වශයෙන් මෙම සංශෝධනය පෙන්වා දිය හැකිය.

14 වැනි සංශෝධනය 1988 මැයි මස 24 වැනිදා සිදුවූ අතර සමානුපාතික නියෝජන ක්‍රමය හා මැතිවරණ කොට්ඨාස බෙදීම පිළිබඳ නීති මෙහිදී ඉදිරිපත් විය. යම් ඡන්ද කොට්ඨාසයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට සුදුසුකමක් වශයෙන් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 ක ප්‍රමාණයක් ලබා ගත යුතු බවට මෙමඟින් තීරණය විය.

15 වැනි සංශෝධනය 1988 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිදු කෙරුණු අතර, මෙමඟින් බලාපොරොත්තු වූයේ 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට මූලික සුදුසුකම ලෙස සැලකූ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8ක් ලබා ගත යුතු බවට වන නියමය මෙම සංශෝධනය යටතේ 1/20 ක් දක්වා පහත හෙළීමය. මින් සුළු ජාතික දේශපාලන පක්ෂවල නියෝජනය සහතික විය.

16 වැනි සංශෝධනය 1988 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිදු වූ අතර, පළාත් සභා ක්‍රමයේ මතු වූ දුර්වලතා මඟ හරවා ගැනීම පිණිස මෙය ඉදිරිපත් කෙරිණි. සිංහල සහ දෙමළ පරිපාලන භාෂා සහ ව්‍යවස්ථාදායකයේ භාෂා බවට පත්කිරීම පිණිස විධි විධාන මෙම සංශෝධනයට ඇතුළත් විය.

17 වැනි සංශෝධනය වර්ෂ 2001 ඔක්තෝබර් මස 03 සිදු කෙරුණු අතර මෙය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඒකමතිකව සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනයයි. මේ තුළින් ව්‍යවස්ථා සභාවක් ඇති කර ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම ද සිදු විය. මෙතෙක් ඉදිරිපත් වූ සාධනීය ම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දේශපාලන විචාරකයෝ සහ නීතිවේදීයෝ ද පිළිගනිති.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිදු කෙරුණු අතර මේ හරහා මෙරට විධායක ජනාධිපතිවරයාගේ අසීමිත බලතල තවදුරටත් පුළුල් කෙරිණි. දෙවරකට වැඩි වාර ගණනක් පත්වීමට ඇති හැකියාව ඇති කිරීම මෙහිදී කැපී පෙනේ. මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කළ අතර ඇතැම් පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් යම් බාධක ඉවත් කොට සියලූ බලතල විධායකය වෙත ඈඳා ගැනීම සිදු විය.

19 වැනි සංශෝධනය 2015 වසරේ මැයි 15 වැනි දින සිදු විය. විධායක ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව නැවත වරක් දෙවතාවකට සීමා කිරීම, ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු පහකට සීමා කිරීම, වසර හතරහමාරක් ගතවීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව අහිමි කිරීම, තොරතුරු දැනගැනීම මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගැනීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය සීමා කිරීම (ජාතික ආණ්ඩුවක් නිර්මාණය නොකරන්නේ නම් පමණක්) ආදි වශයෙන් අතිශය සාධනීය ව්‍යවස්ථා ප්‍රතිපාදන මේ ඇසුරින් නිර්මාණය විය.

20 වැනි සංශෝධනය මේ වනවිට ක්‍රියාත්මක වීමට නියමිත සංශෝධනය වේ. වත්මන් ආණ්ඩු විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන මෙය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අරබයා ගෙන ඒමට කටයුතු කරන බවට ආණ්ඩුව පැවසීය. එසේ වුවද ඒ සඳහා සුළු පක්‍ෂවල විරෝධයට හේතු වී තිබේ. ඒ සඳහා පුළුල් ජනතා සහභාගීත්වයක් හා සැලකිය යුතු තරම් කාලයක් අවශ්‍ය බව ව්‍යවස්ථා විශාරදයන්ගේ හා සිවිල් සමාජයේ ඉල්ලීම වී තිබේ.

Comments