විදෙස් වෛද්‍ය උපාධිය ගැන තිත්ත ඇත්ත | සිළුමිණ

විදෙස් වෛද්‍ය උපාධිය ගැන තිත්ත ඇත්ත

සස් ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් සහ සත්කාර මෙන්ම උසස් සෞඛ්‍ය සේවයකින් සමන්විත රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිතව ඇත. දකුණු ආසියාවේ සෙසු රටවල් හා සලකා බලන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශකද ඉන්දියාව ඇතුළු සියලුම රටවල් අභිබවා පෙරට පැමිණ ඇත. නමුත් දැන් දැන් වාර්තා වන කරුණු අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී ඇති අර්බුද අතර සුදුසුකම් රහිත, ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීම ප්‍රමුඛ හේතුවක් වී තිබේ. ඒ මතය කරළියට පැමිණියේ රුසියාවේ ප්‍රකට විදෙස් විශ්ව විද්‍යාල තුනක් මෙරට අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කිරීම සහ විදෙස් රටවල වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර පැමිණෙන සිසු සිසුවියන්ට මෙරට රජයේ රෝහල්වල සීමාවාසික පත්වීම් ලබාගැනීම සඳහා සමත් විය යුතු ERPM විභාගය දින නියමයක් නොමැතිව කල් යෑම ආදී කරුණු කාරණා නිසාය.

කෙසේ වෙතත් ERPM විභාගය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය සමනය වූයේ මෙම මස 30 වැනිදාට පෙර එම විභාගය සඳහා ලියා පදිංචි වන ලෙස පසුගිය සතියේදී වෛද්‍ය සභාව විසින් නිවේදනය කිරීමත් සමඟය. එම විභාගය සඳහා ආසන්න වශයෙන් සිසුන් 1250 ක් 1500 අතර සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ ERPM විභාගය වසරකට තුන්වරක් පැවැත්විය යුතු බවය. එහෙත් පසුගිය වසරවලදී මෙම විභාගය පවත්වා ඇත්තේ 2019 වසරේ එක් වතාවක්, 2018 වසරේ දෙවතාවක් හා 2017 වසරේ එක් වතාවක් බැගිනි. අවසන් වරට විභාගය පැවැත්වූ 2019 ජුලි මාසයේ සිට මේ දක්වා විභාගය නොපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බොහෝ දෙනකු චෝදනා කරන්නට වූහ. විශේෂයෙන් විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබා පැමිණි සිසු සිසුවියන් පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණ ව්‍යාපාරයකටද එක්වෙමින් කියා සිටියේ එම විභාගය කඩිනමින් පවත්වන ලෙසටය. එවැනි තත්ත්වයක් තුළ පසුගිය 25වැනිදා රැස්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ERPM විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමට දින නියම කරනු ලැබිණ. එම පුවත එතෙක් ERPM විභාගයට පෙනී සිටීම සඳහා බලා සිටි 1500ක් පමණ වන වෛද්‍ය සිසු සිසුවියන්ට සුබ පුවතක්ම විය.

ERPM විභාගය පැවැත්වූ පමණින්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ සහතික විය හැකිද යන්න සම්බන්ධයෙන්ද විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරති. ඒ සම්බන්ධයෙන් මහජන යුක්ති කේන්ද්‍ර‌ෙය් කැඳවුම්කරු වසන්ත අල්විස් ගෙන් අප විමසීමක් කළෙමු.

"මේ වන විට වෛද්‍ය පත්වීම් ලබා ගැනීමට හා සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සීමාවාසික පත්වීම් අවසන් කළ 2018, 2019 කණ්ඩායම් දෙකක් සහ සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් 2019 නොවැම්බර් මස අවසන් විභාගය සම්පූර්ණ කළ තවත් කණ්ඩායමක් සිටිනවා. ඒ අනුව අද වන විට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් 30000 කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. නමුත් හෙදියන් සිටින්නේ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වී තිබෙනවා. සම්මතය අනුව නම් එක් වෛද්‍යවරයකුට හෙදියන් හය දෙනෙක් සිටිය යුතුයි.

දැනටමත් හෙද සේවයට නිලධාරීන් එක් ලක්ෂ තිස් දහසක් සහ අමතර කාර්ය මණ්ඩල අවශ්‍ය වී තිබෙනවා. තව වසර පහකින් මේ රටේ වෛද්‍ය වරු ප්‍රමාණය 50,000 ඉක්මවන අතර එම වසර පහට අමතර හෙදියන් දෙලක්ෂ පනස් දහසක් අප රට තුළින් බිහි කර ගත හැකිද යන්න මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙන විශාල ගැටලුවක්. එම නිසා අපගේ අදහස නම් මෙරටට දැන් විදේශ වෛද්‍යවරුන් අවශ්‍ය නොවන බවයි. "

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ මූලික සුදුසුකම් පවා සපුරා නැති පිරිසක් විදේශ රටවල වෛද්‍ය උපාධි ලබා මෙරටට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇති බවයි. ඒ අනුව මේ වන විට දහසකට ආසන්න විදේශීය සිසුන් ප්‍රමාණයක් ERPM විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අතර එයින් අසූ තුන් දෙනකුගේ නාමලේඛනයක් ඔහු අප වෙත යොමු කර තිබේ. එම අසූ තුන් දෙනාගෙන් උසස් පෙළ විභාගෙන් C සාමාර්ථ දෙකකට සහ S සාමාර්ථ එකකට ඉහළින් සුදුසුකම් ලබා ඇත්තේ සිසුන් 12 දෙනකු පමණි.

මේ වන විට විදේශ රටවල වෛද්‍ය උපාධිය ලබා පැමිණි 750 පමණ පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන ERPM විභාගයට ඉල්ලුම් කර ඇති අතර ඒ අනුව මුලික සුදුසුකම් සම්පූර්ණ කර නැති සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස ඔහු පවසන්නේ වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලාංකික සිසුන් යැවීම ජාවාරමක් බවට පත්ව තිබීමයි. එම ජාවාරම් කරුවන්, තැරැව්කරුවන් මාර්ගයෙන් ඉතා විශාල ලෙස කොමිස් මුදල් ලබා ගනිමින් ලක්ෂ 60 සිට ලක්ෂ 400 දක්වා මුදල් අය කර වෛද්‍ය උපාධිවලට ලාංකික සිසුන් පිටරට යැවීම සිදු කරයි.

රජයේ වෛද්‍ය පීඨ 10 සඳහා උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා පාසල් සිසුන් අතරින් වෛද්‍ය අධ්‍යාපනයට වසරකට ඇතුළු කර ගන්නේ 1500ක් පමණි.

එහෙත් වසරකට 1000 කට වැඩි ප්‍රමාණයක් වෛද්‍ය උපාධි සඳහා විදේශ ගත වන බව වාර්තා වේ. නොබෝ කලකින් මේ සංඛ්‍යාව තවත් වැඩි විය හැකිය. ඒ තුළින් සිදු වන භයානක ප්‍රතිඵලය වන්නේ ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහි වීම තුළින් රටේ සමස්ත සෞඛ්‍යය ක්ෂේත්‍රය ම බිඳ වැටී රෝගී ජීවිත බරපතල ලෙස අවදානමට ලක් වීම බවද ඔහු පෙන්වා දෙයි.

විදෙස් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණ ERPM විභාගයට පෙනී සිටීම වෙනුවෙන් වසර එකහමාරක පමණ කාලයක් බලා සිටි වෛද්‍ය සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මවුපියන් පවසන කතාවද ශෝචනීයය.

"අපි අපේ දරුවන් වෛද්‍ය උපාධිය ගන්න පිටරට යැව්වෙ බොහාම දුක් මහන්සියෙන්. අපි බහුතරය මහ ලොකු සල්ලිකාරයො නෙවෙයි. ඉඩකඩම්, යානවාහන විකුණලා හොයාගත්ත සල්ලිවලින් තමයි දරුවො පිටරට යවලා තියෙන්නේ. ඒ නිසයි මේ විභාගය ඉක්මනින් පවත්වන්න කියලා අපි ඉල්ලීම් කළේ." මහජන යුතුකම් කේන්ද්‍ර‌ෙය් කැඳවුම්කරු වසන්ත අල්විස් මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුව බව පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් අනුමත කළ වෛද්‍ය අධ්‍යාපනයේ මූලික ප්‍රමිතීන් (Minimum Standards of Medical Education) පාර්ලිමේන්තුවේ සම්මත නො වීම නිසා ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයයි.

පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ඊට හේතුවයි. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සහ රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලට නීතිමය රැකවරණය නොලැබුණි. ඒ තුළින් ජාවාරම්කාර සමාගම්වලට වෛද්‍ය සභාවේ ප්‍රමිතීන්ට පටහැනිව තම ව්‍යාපාරය කරගෙන යෑමට ඉඩ ප්‍රස්ථා හිමිවී ඇති බවද ඔහු පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ තව වසර කිහිපයකින් අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වී වෛද්‍ය උපාධි ලබන වෛද්‍යවරුන්ටද රැකියා නොලැබෙන තත්වයක් ඇති වනු ඇත.

"වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ මූලික සුදුසුකම් සපුරා විදේශ රටවල වෛද්‍ය උපාධි ලබා මෙරටට පැමිණෙන වෛද්‍ය සිසුන්ට ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීම සඳහා ERPM විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා සපුරාලිය යුතු මූලික සුදුසුකම් හෝ නැතිව ERPM විභාගයට පෙනී සිට වෛද්‍ය ක්ෂේත්‍රයේම එක්වීම රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම පරිහානියට හේතුවක්. මෙම ව්‍යසනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බේරා ගැනීමට වහාම පියවර ගත යුතුව තිබෙනවා."

ඒ සඳහා කඩිනමින් ගත යුතු පියවර ලෙස ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් අනුමත කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික සුදුසුකම් සහ ප්‍රමිතිය සම්පූර්ණ නොකළ වෛද්‍යවරුන් බිහිවීම වැළැක්වීමට පියවර ගැනීම, වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමට ජාවාරම්කාර සමාගම් විසින් කරගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, රටේ අවශ්‍යතාවන්ට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ දීර්ඝකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කිරීම ආදී කරුණුය.

සුරේකා නිල්මිණි ඉලංගකෝන්

Comments