ලොව හොල්ලන අපේ ක්‍රිකට් ශූරියෝ | සිළුමිණ

ලොව හොල්ලන අපේ ක්‍රිකට් ශූරියෝ

* දෙදෙනාම O/L, A/L පමණක් නොව ශිෂ්‍යත්වය ද සමත්
* චමරි හා ශෂිකලා අයි. පී. එල්. සටන් බිමේ 

කැපවීම සහ උත්සාහයයි මා මෙතනට ගෙන ආවේ
- චමරි

‘අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය ඇත්නම් නිසැකව ජයගන්නවා’ 
- ශෂිකලා

න්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනකු එක්වෙයි. 

කණ්ඩායම් තුනක් කරට කර තරග වදින මේ තරගාවලිය සඳහා ලෝකයේ ප්‍රබල කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක්ම එක්ව තිබේ. 

තුන්ඉරියව්වෙන්ම ක්‍රීඩා කරන විශේෂ දක්ෂතා පෙන්වා තිබෙන රටවල් රැසක ක්‍රීඩිකාවන් මේ සඳහා එක්කර ගැනීමට සංවිධායකවරුන් විසින් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කසකාරියන් ලෙස සැලකෙන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සුපර් නෝවාස් කණ්ඩායමට එක්ව තිබේ.

රටවල් හතක විදේශීය ක්‍රීඩිකාවන් එක්ව සිටින තරගාවලිය සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් තිදෙනකු කණ්ඩායම් තුනේ නායකත්වයට පත්කර ඇත.

සුපර් නෝවාස් කණ්ඩායමේ නායිකාව වශයෙන් හර්මන්ජිත් කෞර්, ට්‍රේල් බ්ලේසර්ස් කණ්ඩායමේ නායිකාව ස්මිරිනි මන්දනා සහ වෙලොසිටි කණ්ඩායමේ නායිකාව ලෙස මිතාලි රාජ් තරග බිමට පිවිසෙනු ඇත. ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව අංක එකේ පන්දු යවන්නිය වන සොෆී එක්ලස්ටන් සහ ඩැනී වියාට් එංගලන්තය නියෝජනය කරමින්ද ඩියැන්ඩ්‍රා ඩොටින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් තරගාවලියට එක්ව තිබේ.

අයබොන්ගො ඛකා සහ සුනේලුස් දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ද සල්මා ඛාටුන්, ජහනාරා අලාම් බංග්ලාදේශය නියෝජනය කරමින්ද නටකන් චන්ටම් තායිලන්තය නියෝජනය කරමින්ද ලෙයිෆ් කැස්පෙරෙත් නවසීලන්තය නියෝජනය කරමින්ද තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වත්මන් නායිකාව ලෙස සිටින චමරි අතපත්තු මෙන්ම ජාතික කණ්ඩායමේ හිටපු නායිකාව වන ශෂිකලා සිරිවර්ධන සිය කණ්ඩායම් වෙනුවෙන් උපරිම ලෙස ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව සිළුමිණට පැවසුවාය.

1990 වසරේ පෙබරවාරි 09 වැනිදා උපත ලද අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි ජයසිංහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය ජීවිතයේ බො‍හෝ දේ කැප කළ තරුණියකි.

අවුරුදු තිහක් වයසැති චමරි අතපත්තු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ලෝකය ජය ගැනීමට සමත් වූවාය.

පව‍ුලේ එකම දැරිය වන ඇය ඇයට හැකි සෑම අවස්ථාවකදීම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පුහුණු කටයුතුවල නිරත වීමට වගබලා ගත්තාය.

චමරිගේ මෑණියන් වන ඩී.බී. චන්ද්‍රාවතී ඇගේ ක්‍රීඩා දිවියට මහත් ශක්තියක් ලබා දෙයි. දැනට දිවියෙන් සමුගෙන ඇති ඇගේ පියා වන ජයවර්ධන බණ්ඩාර ඇගේ ක්‍රිකට් දිවිය සඳහා කළ කැප කිරීම් පිළිබඳව චමරි සිහිපත් කරනු ලබන්නේ දෑසට කඳුළු නංවමිනි.

අවුරුදු 05 දී ඇය ඉතා හොඳින් ක්‍රිකට් පිත්ත හැසිරවූ වූ බව චමරිට ඇගේ පියා ප්‍රකාශ කර තිබේ. පාසල් වයස් කාණ්ඩවලදී විශේෂිත වූ පහරවල් කරා යෑමට චමරි දක්වා ඇති දක්ෂතාවය නිසාවෙන් ඇයගේ පාසලට ජයග්‍රහණ රැසක්ම එක්කර දීමට ඇය සමත් වූවාය.

චමරි ජාත්‍යන්තර වශයෙන් දක්ෂතාවන් රැසකට ද හිමිකම් කියයි.

ලෝකයේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ චමරි අතපත්තුය. ඇය එහිදී නොදැවී ලකුණු 178 ලබා ගැනීමට සමත් වූවාය.

ප්‍රබල කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇය මෙම දක්ෂතාවය පෙන්වීමට සමත් වීම විශේෂ සිද්ධියකි. 2017 වසරේදී ජුනි 29 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බර්න් ක්‍රීඩා පිටියේදී ලකුණු 178 ලබා ගන්නේ ක්‍රීඩාපිටිය සිසාරා හතරේ සහ හයේ පහරවල් රැසක් එක්කරමින්ය. ජාත්‍යන්තර එක්දින තරගවලදී ශතක පහක් ලබා ගැනීමට චමරි සමත් වන අතර ඉන් ශතක තුනක්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැති තරගවලදී ලබාගෙන තිබේ. 

2011 වසරේ අප්‍රේල් 28 අයර්ලන්තයට එරෙහිව ඇය ක්‍රිකට් දිවි‍යේ ප්‍රථම ශතකය ලබා ගනු ලබන්නේ කොළඹ පී. සරණවමුත්තු ක්‍රීඩාපිටියේදීය. එහිදී ඇය ලකුණු 111ක් ලබා ගත්තාය. අනතුරුව 2014 ඔක්තෝබර් 17 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්.ස්.සී. පිටියේදී ලකුණු 106 සහ ඉන්දියාවට එරෙහිව ලකුණු 115 ද නැවත වරක් ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බර්න්හිදි ලකුණු 103 ලබා ගත්තාය.

ටී 20 ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ශතක වාර්තා වී ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවකි. 2019 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩා පිටියේදී ලකුණු 113 ලබා ගැනීමට මේ දක්ෂ ක්‍රීඩාවට හැකි වන අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අතර චමරි ප්‍රසිද්ධව ඇත්තේ ලකුණු මැෂිම යනුවෙනි.

2010 වසරේ සිට 2019 දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 84කට සහභාගි වී ලකුණු 2625 ලබා ගැනීමට සමත් වූ චමරි විස්සයි විස්ස තරග 85 කදී ලකුණු 1646 ලබා ගැනීමට සමත් වන්නේ ප්‍රහාරක වේගය 97.7 වශයෙන් වාර්තා පොතට එක්කරමින්ය. ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක එකේ ක්‍රීඩිකාව වශයෙන් අවස්ථා ගණනකදී පැමිණි ඇය ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අංක 1 සිට 10 දක්වා නිරන්තරයෙන් පැමිණ තිබේ.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දක්ෂ ලෙස ක්‍රීඩා කරන ඇය ජාත්‍යන්තර එක්දින තරගවලදී කඩුලු 23ක්ද ටී 20 තරගවලදී කඩුලු 26ක්ද ලබා ගැනීමට සමත්ව ඇති අතර ලකුණු 31කට කඩුලු 3 ලබා ගැනීම මෙහි කැපී ‍පෙනෙන පන්දු යැවීම වන අතර ඇය පන්දු රැකීමේදී ද සහජ දක්ෂතාවට උරුමකම් කියන්නීය. ක්‍රිකට් ජීවිතය සම්බන්ධව චමරි අතපත්තු සිළුමිණට මෙසේ පැවසුවාය.

“මම අවුරුදු පහේ ඉඳලා ක්‍රිකට් ගහනවා. මගේ මාමා හරි කැමැත්තක් දැක්වූවා මම ක්‍රිකට් ගහනවාට. මගේ තාත්තත් ගොඩාක් කැමතියි ක්‍රිකට්වලට. අම්මාගෙන් ද ලොකු සහයක් මට මේ සඳහා ලැබුණා. පවුලේ එකම ළමයා වුණාට අම්මා තාත්තා දෙන්නම කැමැතිවුණා මම ක්‍රිකට් සෙල්ලම් කරනවාට.” ගොකරැල්ල තමයි මගේ ගම. මගේ මාමා චන්ද්‍රා දිසානායක මුල්ම ක්‍රිකට් ගුරුවරයා බව කිව යුතුයි. ගොකරැල්ල ගමේ පාසලේ මම මුලින්ම ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්වය සමත් වෙනවා. ඒ සමඟම ‍ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී ක්‍රිකට් ක්‍රීඩාව තමයි මගේ ජීවිතය බවට පත් වෙන්නේ.

මම අවුරුදු 16 දී ජාතික කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඒ වනවිට මම අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා හිටියේ. මට උසස් පෙළ හදාරන්න වෙන්නේ ක්‍රිකට් ගහන ගමන්. මගේ තාත්තා ඔය අතර ජීවිතයෙන් සමුගන්නවා. මම උසස් පෙළ හදාරා සමත් වෙනවා. හැබැයි ක්‍රිකට් දිගටම කරගෙන යනවා.

කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයට තමයි මම ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ. ඒ 2007 වර්ෂ‍යේදී. ඒ වසරේදී අන්තර් ක්‍රීඩා සමාජ අතර තරගාවලියට සම්බන්ධ වෙනවා. අවුරුදු 16 දී මම ජාතික කණ්ඩායමට තේරීපත් වෙනවා.

2009 දී මම ලෝක කුසලානයට සහභාගි වෙනවා. එය එංගලන්තයේදී පැවැත්ව‍ුණේ. එහිදී ඉන්දියාව සමඟ ප්‍රථම තරගයට මම ක්‍රීඩා කරනවා. එතැනින් පසුව එක්දින තරග පිටියට පිවිසීමේ වරම් ලැබීමත් සමග ජාතික කාන්තා කණ්ඩායමේ දිගටම ක්‍රීඩා කළා. වර්තමානයේ එහි නායිකාව වශ‍යෙන් ද ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් හැටියට චමරි අතපත්තු බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය යන රටවල්වල පැවැති කාන්තා ටී 20 තරගාවලි සඳහා සහභාගි වී ඇති අතර එහිදී දක්ෂතාවන් රැසක්ම පෙන්වා තිබේ.

මෙම තරගාවලිය සඳහා ඇය සමඟ පිටත්ව යන ශෂිකලා සිරිවර්ධන කොළඹ නගරය ආසන්නයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ තිබේ. හෙට්ටිමුල්ල අප්පුහාමිලාගේ ශෂිකලා දේදුනු සිරිවර්ධන තිදෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබීය. අනෝජා සිරිවර්ධන ඇගේ මව වන අතර ඩෙන්සිල් සිරිවර්ධණ පියාය. මදුෂිකා සිරිවර්ධන ඇගේ නැගණිය වන අතර චාමර සිරිවර්ධන සොහොයුරාය. රාජගිරිය ජනාධිපති විද්‍යාලයෙන් ඇය අධ්‍යාපනය ලබන අතර අවුරුදු දහතුනෙන් පහළ කණ්ඩායමේ සිට ප්‍රථම පෙළ දක්වාම කණ්ඩායම් නියෝජනය කරනු ලබන්නේ අවස්ථා ගණනාවකදීම කණ්ඩායමේ නායකත්වය ද දරමින්ය. ඇය පාලින්ක් ඇකඩමිය මගින් මෙලෙස ක්‍රීඩා කර තිබේ. ඇය ශිෂ්‍යත්ව විභාගය ද සමත් වන අතර ‍අපොස සාමාන්‍ය පෙළ මෙන්ම අපොස උසස් පෙළ ද සමත් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් උනන්දුවක් දක්වන අතරතුරය. එක්දින තරග 100 සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව වන ශෂිකලා සිරිවර්ධන සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය 2003 වසරේදී ආරම්භ කරනු ලැබීය. ඇය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ පිට දඟපන්දු යවන්නියක් ලෙසිනි. පාසල් කාලය තුළදී මෙන්ම ජාත්‍යන්තර තලය දක්වා පැමිණෙන්නේ ද පන්දු යවන්නියක් වශයෙනි.

පන්දු යැවීමට අමතරව ඇයට තිබෙන දක්ෂතාව වන්නේ අංක එකේ සිට අංක 10 දක්වා පිතික‌ාරියක වශයෙන් ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාවයි. පන්දු යැවීමේ නිරතව සිටි තරගවලදී පිතිකරුවෙකු බවට පත්වෙමින් අංක 03, 05, 07 ස්ථානවල ක්‍රීඩා කර ලකුණු 30 සිට 50 දක්වා ඇය ලබා ගනු ලබන්නේ පන්දු යවන්නාට රිසි සේ ප්‍රහාර එල්ල කරමින්ය. 

ජාත්‍යන්තර එක්දින තරග 113 කට සහභාගි වෙමින් පන්දු වාර 908.1 පන්දුවකදී ලකුණු 3577කට කඩුලු 124 ලබා ගැනීමට ඇය සමත් වූවාය. එහිදී කඩුලු තුන බැගින් අවස්ථා අටකදී ලබාගෙන තිබේ. විස්සයි විස්ස තරග 78 කට සහභාගි වෙමින් පන්දු වාර 275.3 කදී ලකුණු 1598කට කඩුලු 77 ලබා ගැනීමද කැපී පෙනෙන සිද්ධියකි. ඇය ටී 20 තරගවලදී කඩුලු තුන බැගින් තුන් වරක් ලබාගෙන තිබේ.

පිත්තෙන් දක්ෂතාවයන් දැක්වූ ඇය ජාත්‍යන්තර එක්දින තරග 118 කදී ලකුණු 2029 ලබා ගැනීමට සමත්ව ඇත්තේ අර්ධ ශතක 7ක්ද ඊට එක්කරමිනි.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 81 කදී ලකුණු 1097 ලබාගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ද ඊට එක්කරමින්ය.

තම ක්‍රිකට් දිවිය පිළිබඳව ශෂිකලා සිය අත්දැකීම් මෙසේ විස්තර කළාය.

“කොළඹ කොටිකාවත්ත තමයි මගේ ගම. ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඇත්තටම මගේ අයියත් එක්ක ඉඩ ලැබුණු සෑම අවස්ථාවකදීම ගෙදර ඉදිරිපිට පාරේ ක්‍රිකට් ක්‍රීඩා කළා.

“පාලින්ක්ස්පොට් ක්ලබ්” කියලා පාලිත සර්ගේ ක්‍රීඩා සමාජයේ මුලින්ම ක්‍රීඩා කළා. අවුරුදු දහතුනේදී මම ලෙදර් බෝල ක්‍රීඩා කරන්න තරම් වාසනාවන්ත වුණා.

පාලිත ගුණසේකර තමයි අ‍පගේ ගුරුවරයා. කොළඹ මැලේ ක්‍රීඩාපිටියේ අපි ක්‍රීඩා කළේ. ඇත්තටම ඒක ක්‍රිකට් ඇකඩමියක්. මම අවුරුදු අටක් විතර එහි පුහුණුවීම් කළා.

ඇත්තටම පාසලේ මුලින් ක්‍රිකට් තිබුණේ නැහැ. අපි ඇකඩමියෙන් තමයි වයස් කාණ්ඩවලින් ක්‍රිකට් ආරම්භ කළේ. මේ අතර 2002 මම ජාතික කණ්ඩායමට තේරෙනවා. 2003 මුල්ම තරගය ක්‍රීඩා කරනවා. ප්‍රථම සංචාරය බටහිර ඉන්දීය කොදෙව් වලට තමයි යන්නේ. එහිදී මම ලකුණු 23 කඩුලු 3 ලබා ගන්නවා. ඊට අමතරව ලකුණු 27ක්ද ලබා ගන්නේ කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙමින්. එතැන් සිට ගිය වසර දක්වාම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා.

එහි නායකත්වයත් මා දරනවා. දැනට මම ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. ඒ සඳහා නාවික හමුදාව විශාල සහයෝගයක් ලබා දෙනවා. වර්තමානයේ මගේ ක්‍රීඩාවට මගේ සැමියා නාමල් සෙනවිරත්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.”

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා දහසක් ගැටලු මැද තමන්ගේ ඉලක්කය කරා ගමන් කරනු ලබන්නේ අධ්‍යාපනය නිසි අයුරින් ලබා ගන්නා ගමන්ය.

මෙරට අධ්‍යාපනය තුළ තිබෙන ජයග්‍රහණ සියල්ල ලබාගෙන ඇති ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමාන සමාජයට ලොකු පණිවුඩයක් ලබාදෙයි.

අයි.පී.එල්. තරග මාලාවේදී අප රට නියෝජනය කරන චමරි සහ ශෂිකලාට උපරිම දක්ෂතාව දැක්වීමට හැකි වේවායි අප ලක්වැසියන් සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නෙමු.

ජයාරූප ඉෂාර කොඩිකාර

Comments