රට පුරා පැතිරුණු “කොවිඩ් ගිනි පුපුරු” | සිළුමිණ

රට පුරා පැතිරුණු “කොවිඩ් ගිනි පුපුරු”

කොරෝනා රැල්ලත් සමඟ ආරම්භ වූ පසුගිය සතිය විශේෂිත සතියක් වූයේ මෙතෙක් පමා වෙමින් පැවැති 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය එම සතියේ ඇරඹුණු නිසාය. 11 වැනි ඉරිදා 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, විභාග මධ්‍යස්ථාන 2936 කදි සිසු සිසුවියන් 3,31,694ක් සඳහා පැවැත්විණි. මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ විභාග අපේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළේ ප්‍රථම වතාවටය. මහරගම අපේක්ෂා රෝහලේ දරුවන් දෙදෙනකුටත් අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ දරුවන් පස් දෙනකුටත් විශේෂිත විභාග මධ්‍යස්ථාන 2ක් පැවැත්වූ අතර නි‍රෝධායන මධ්‍යස්ථාන කීපයකදීත් විභාග මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනය වන දරුවන් වෙනුවෙනි. මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18ක විශේෂිත විභාග මධ්‍යස්ථාන යොදා තිබුණේ කොළඹ පාසල්වල ඉගෙනුම ලබන එකී ප්‍රදේශ තුළ සිටින දරුවන් සඳහාය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී පසුගිය ඉරු දින සවස් භාගයේ සිට ග්‍රාම නිලධාරි වසම් 7ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර හුදකලා කරනු ලැබ‍ුවේ මේ වසම් හත තුළ පුද්ගලයන් 37 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ය. මේ කලාපයේ පවුල් 3688 ක පුද්ගලයන් 12,600 ක් වාසය කරති. මාලිගාතැන්න, කූරිකොටුව හා එළුවාපිටිය මේ හුදකලා ගම්මානවලට අයත් වූ අතර එයින් අවදානම වැඩි ගම්මානය ලෙස හඳුනාගෙන තිබ‍ුණේ එළුවාපිටිය ග්‍රාමයයි. එළුවාපිටිය පන්සලේ හිමිවරුන් සිවුනමකට සහ පන්සලේ ආවතේවකරුවකුට ද කො‍රෝනා වැලඳී තිබිණි. එහෙත් ඊට පසුදින, එනම් 12 වැනිදා මේ හුදකලා ගම්මාන යළි විවෘත කෙරිණි.

ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ (ලෙකෝ) කඳාන ශාඛාවේ සේවකයන් 12 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඔක්තෝබර් 12 වැනිදාය. 12 වැනි සඳුදා සිට මීගමුව අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ 7කුත් මීගමුව දේශීය ආදායම් කාර්යාලයත් වසා දැමුණි. ගම්පහ මාකොළ පෞද්ගලික ආයතනයක සේවය කරන කඩුවෙල පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ද 12 වැනිදාය. ඇගේ පව‍ුලේ සාමාජිකයන් අටදෙනකු නිරෝධායනය කිරීමට පියවර ගැනිණි.

පානදුර හිරණ ප්‍රදේශ‍යේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග පානදුර ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නේ ඈ පානදුර රෝහල, නගරය සහ ඒ අවට කඩසාප්පුවල ද ගැවසී ඇති බැවිනි. මීගමුව දළුපොත බදුවත්තේ පැවැත්වූ සංගීත සංදර්ශනයකට ගිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයකුට කොරෝනා ආසාදනය වීමත් සමග ඊට සහභාගි වූ අයට ‍ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබේ. පූගොඩ කම්හලක තත්ත්ව පාලන අංශයේ සේවය කරන පැපිලියවල පල්ලේගම පදිංචි 37 හැවිරිදි දෙදරු මවකට කොරෝනා ආසාදනය වීමත් සමඟ 150 දෙනකුට පමණ නිරෝධායනය වීමට සිදු වූයේ ඈ රාජකාරි කටයුතු සඳහා කටුනායකටත් කොළඹටත් ගොස් තිබූ නිසාය.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තරුණියක් බියගම ප්‍රදේශයේ තරුණයකු සමග විවාහය ලියාපදිංචි කර තිබුණේ ඔක්තෝබර් 02 වැනිදාය. එහෙත් ඇය කො‍රෝනා රෝගයට ගොදුරු වීමත් සමග මනමාල තරුණයාවත් විවාහය ලියාපදිංචි කළ රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් දෙදෙනාවත් නිරෝධායනයට ලක් කෙරිණි. මධුසමය ද කල් දැමීමට නියම විය. මේ අතරවාරයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් බැලීමට ඔක්තෝබර් 02 වැනිදා බියගම සියඹලාපේ තරුණයකු ඇතුළු පිරිසක් මංගල ගමනක් පැමිණ තිබුණි. එම තරුණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගත් වහාම පැමිණි මනමාලයා ඇතුළු 14 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමේ පුවතක් ද අසන්නට ලැබිණි.

පසුගිය 13 වැනිදා සිට බොරැල්ල නගරයේ ආපනශාලා 3ක් පාවහන් අලෙවිසැලක්, විසිතුරු භාණ්ඩ අලෙවිසැලක් හා කම්‍යුනිකේෂන් ආයතනයක් සහ බොරැල්ලේ ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් වසා දැමීමට සිදු වූයේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් සිවුදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමගිනි. ඔවුන් සිවුදෙනා ඉහත කී ස්ථානවල සහ මාර්ගවල සංචාරය කර තිබුණු බැවින් වසා දැමීමට සිදු විය. ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට‍ කොරෝනා ආසාදනය වූ බව තහවුරු වීමෙන් ජාතික රෝහලේ ශල්‍යාගාරයක් සහ වාට්ටු 2ක් වසා දමනු ලැබීය.

කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් 7 දෙනකුට කොරෝනා වැලඳීමත් සමග රත්මලානේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක් වසා දැමීමට සිදු වූයේ ඔවුන්ගෙන් එක් අයකුගේ බිරිඳ එහි සේවය කරන නිසාය. කොල්ලුපිටියේ සේවය කළ කළමනාකරුවකු පසුගිය දිනෙක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යෑමත් ඔහුගේ බිරි‍ඳගේ මවුපියන් පොත් අලෙවි කුටියක් පවත්වා තිබීමත් නිසා කොරෝනා ව්‍යාප්තියේ අවදානම තවතවත් වැඩි විය. ඔහු‍ගේ පියා, බිරිඳ, දරු දෙදෙනා, බිරිඳගේ මවුපියන් සහ ගෘහසේවිකාව නිරෝධායනයට යොමු කළේ එබැවිනි.

මැදවච්චියේ 70 හැවිරිදි කාන්තාවකටත් ඇගේ මිනිපිරියටත් කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන දියණිය බැලීමට මිනුවන්ගොඩට පැමිණ දියණියගේ නවාතැනේ රැයක් ගත කර ගොස් ගිය ගමනෙන් පසුවය. මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීමකට ගිය තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූයේ මෙම සතියේය. ඔවුහු කටුනේරිය, මුන්දලම හා ආරච්චිකටුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයකු ඔක්: 04 වැනි ඉරු දින බාරයක් ඔප්පු කිරීමට අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ගොස් ඇති අතර උඩමළුවේ සැදැහැවතුන්ගෙන් පිරී තිබූ බැවින් බෝමළුවේ පැදුරු එළාගෙන දිගු වේලාවක් රැඳී සිට තිබේ. මෙම තරුණයා කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීමත් සමගම ශ්‍රී මහා බෝධියේ කපු මහතුන් දෙදෙනකු නිරෝධායනයට යොමු කර තිබේ. සීදුවේ නවාතැන්පොළක සිටි 42 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූයේ ද 15 වැනි බදාදාය. එදින සවස රජය විසින් නිවේදනය කරනු ලැබුවේ 16 වැනි බ්‍රහස්පතින්දා පාන්දර 5.00 සිට බලපැවැත්වෙන පරිදි කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන මිතුරකුගේ ප්‍රිය සාදයකට සහභාගි වූ රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයකුට කොරෝනා ආසාදනය වීමත් සමග ඔහු නතර වී සිටින මොරටුව කටුබැද්ද ප්‍ර‍ෙද්ශයට කොරෝනා අවදානම ඇති විය. ඊට අමතරව දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ මොරටුව ප්‍රදේශයේ අයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග මොරටුමුල්ල, විල්ලෝරාවත්ත, රාවතාවත්ත, එගොඩඋඩයන සහ කොරළවැල්ල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. මාතර හිත්තැටිය ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් කොරෝනා රෝගියකු ලෙස හඳුනා ගැනුණේ 15වැනි බදාදාය. ඇය ද දිවුලපිටියේ විවාහ මංගල්‍යයකට සහභාගි වී ඔක්තෝබර් 6 වැනි දින රුහුණු කුමාරි දුම්රියෙන් මාතරට පැමිණ මාතර - වැලිපිටිය බසයේ නිවසට පැමිණ තිබේ.

කඳාන ලෙකෝ සමාගමේ කොරෝනා ආසාදිතයකු කඩවත සිට අධිවේගි මාර්ගයේ ගාල්ලට විත් එතැන් සිට බද්දේගම පිහිටි ඔහුගේ නිවසට සෙනඟ පිරුණු බසයකින් පැමිණි අතර ඔහු පෝද්දල, බද්දේගම, ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කර තිබීමෙන් එකී ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

කොළඹ ජාතික රෝහලේ හෙදියකට කොරෝනා වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග ඈ කොළඹ සිට මතුගම දක්වා ගමන් ගන්නා අධිවේගි සුඛෝපභෝගි බස්රියේ රියදුරු, කොන්දොස්තර සහ බස් රථයේ හිමිකරු ස්ව කැමැත්තෙන්ම පී.සී.ආර්. පරීක්ෂණයකට ඉදිරිපත් වූහ. එයින් අනාවරණය වූයේ ඔවුන් තිදෙනාම කොරෝනා ආසාදිතයන් බවයි. ඔවුන් ආගිය මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ, කඩසාප්පු වසා දැමුණු අතර කොන්දොස්තරගේ බිරිඳ සේවය කරන පෞද්ගලික බැංකුව ද කැමැත්තෙන්ම ගනුදෙනුවලින් ඉවත් විය.

මේ අතරවාර‍‍‍ෙය්දී කොරෝනා ආසාදිතයන් ගමන් කළ බස් රථ 6ක් හඳුනා ගත් බව 16 වැනි දින අනාවරණය කෙරිණි. එම බස්රථ වන්නේ කොළඹ - මැදගම ගමන් ගන්නා ND 4890 අංකය දරන බස්රිය, මාකුඹුර - ග‍ාල්ල ගමන් ගන්නා ND 2350 අංකය දරන බස්රිය, කඩවත - අම්බලන්ගොඩ ගමන් ගන්නා ND 0549 දරන බස්රිය, කොළඹ - යාපනය ගමන් ගන්නා ND 6503 අංකය දරන බස්රිය, ගාල්ල - කඩවත ගමන් ගන්නා NF 7515 අංකය දරන බස්රිය සහ කොළඹ - ඇල්පිටිය ගමන් ගන්නා NP 9787 අංකය දරන බස් රථයයි.

මේ අතරවාරයේදී කොරෝනා රෝගින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමෙන් රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇති බව ඔක්තෝබර් 15 වැනිදා උදෑසන වාර්තා විය. එදින උදෑසන 5.00 වන විට කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ‍රෝහල් 13කින් ඉතිරි වී ඇත්තේ ඇඳන් 170ක් පමණක් බවත් රෝගීන් 1542කට ඇඳන් වෙන් වී ඇති බවත් එයින් කියැවිණි. රෝහල් තුළ කොරෝනා රෝගීන්ට වෙන් කර තිබූ මුළු ඇඳන් ප්‍රමාණය 1712 කි. 15 වැනිදා උදෑසන වින විට වාර්තා වී ඇති රෝගීන් 1542 දෙනාගෙන් 127 දෙනකු පිටරට සිට පැමිණි අය වෙති. බ්‍රැන්ඩික්ස් පොකුරට අයත් රෝගීන් ගණන 1415 කි. ඇඳන් 100 කින් සමන්විත ‍රෝහලක් උතුර ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය වී තිබෙන්නේ එබැවිනි. මේ වන විට දංකොටුව රෝහලත් මොරටුව ලුණාව රෝහලත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කර ඇත. දීප ව්‍යාප්ත සිනමාශාලා ඔක්තෝබර් 31 වැනිදා තෙක් වසා දැමුවේ කොරෝනා නිසාය.

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇඳිරි නීතිය පනවා තිබියදී විවෘත කර තිබූ කඩ, ෆාමසි ඔක්තෝබර් 13 වැනිදා සිට දින 3ක් වසා දමා ඔක්තෝබර් 16 වැනි සිකුරාදා සිට යළි විවෘත විය. ඒ උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා පමණි. කොළඹ පුරපතිනිය රෝසි සේනානායක ඇතුළු කොළඹ මහ නගර සභාවේ සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට 16 වැනි දින පී.සී.ආර්. පරීක්ෂණ කිරීමටත් ඔවුන්ට ස්වයං නිරෝධායනය වීමටත් සිදු වූයේ කොළඹ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වැලඳීමත් සමගය. ඈ නගරාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගි වී තිබීම හේතුවෙන් නගරාධිපතිනිය ඇතුළු පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලැබීය. ඊට අමතරව ඇගේ සමීපතමයන් හා කාර්යාලයේ සේවක සේවිකාවන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ අතර ඈ සේවය කරන කාර්යාලය පිහිටි මරදාන ඩීන්ස් පාරේ ගොඩනැඟිල්ලේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා ළමා මාතෘ සායන හැර සෙසු අංශ සති 2 කට වසා දැමිණි. මෙම ආසාදිත කාන්තාව කඩුවෙල පදිංචිකාරියකි. ඇගේ සැමියා කොළඹ ජාතික රෝහලේ සේවය කරයි.

වත්තල නගරයේ බත් පැකට් අලෙවි කරන පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බව 15 වැනිදා අනාවරණය විය. ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකි. කිරිඳිවැල ප්‍රදේශයේ මාළු අලෙවි කරන අයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා ඔහු ඇසුරු කළ මාළු වෙළෙන්දන් 12 දෙනකුත් ඉන්ධන ලබා ගත් ඉන්ධන පිරවුම්හලේ සේවකයන් 16 දෙනකුත් පවුලේ සාමාජිකයනුත් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මෙම මාළු අලෙවිකරුවා කිරිඳිවැල, කුට්ටිගල, රදාවාන, පැපිලියවල, මැද්දේගම, නඩුවත්ත, බෝගහකුඹුර යන ප්‍රදේශ රැසක සංචාරය කර තිබේ.

මරදානේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක සේවිකාවකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව තාවකාලිකව වසා දමා කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. ඈ මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට වාර්තා වෙයි. මාකොළ ප්‍රදේ‍ශයේ 49 හැවිරිදි ව්‍යාපාරිකයකුටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහු නඩු කටයුත්තක් සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු හමුවීමට ගොස් ඇත.

යාල වනෝද්‍යානය අසල හෝටලයක ‍සංචාරක මඟ පෙන්වන්නකුට කොරෝනා ආසාදනය වීමෙන් ඔහු සේවය කළ හෝටලයේ 61 දෙනකු ද පිටස්තර පුද්ගලයන් 60 දෙනකු ඇතුළු ඔහු ප්‍රතිකාර ලැබූ රෝහල් තුනක කාර්යය මණ්ඩල පිරිස් ද හම්බන්තොට නිරෝධායනයට යොමු කර තිබේ.

මිනුවන්ගොඩින් ඇරඹුණු කොරෝනා වයිරසය උතුර දකුණ, නැගෙනහිර, බටහිර ඇතුළු දස දිසාවේම පැතිරෙද්දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගනිහිමුල්ල, පේරලන්දවත්ත සහ හැලකන්දන යන ගම්මාන තුන හුදකලා කළේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයන් විශාල වශයෙන් ‍වාර්තා වන නිසාය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර 1789 දක්වා ඉහළ යන විට ඔක්තෝබර් 15 වැනිදා රාත්‍රියේ නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් විය. සෞඛ්‍ය මාර්ගෝපදේශන දැන් නීතිගත වී තිබේ. දැන් සෙල්ලම් නැත. මුඛ ආවරණ නොපළඳා සිටියහොත් සමාජ දුරස්ථභාවය රඳවා නොගත්තොත් රු. 10,000/- කට නොවැඩි දඩයක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම ලබා දීමට අධිකරණයට බලය හිමි වේ.

ඡායාරූප - නිශ්ශංක ද සිල්වා

Comments