මවගේ මරණය අබියස ශිෂ්‍යත්වයට මුහුණදුන් පුතෙක් | සිළුමිණ

මවගේ මරණය අබියස ශිෂ්‍යත්වයට මුහුණදුන් පුතෙක්

ප මේ කියන්නට යන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සුවිශේෂී දරුවකු ගැනය. මවගේ නිසල නිවසේ සාලය මත තබා ඇති පෙට්ටියක උඩුකුරුව තිබියදී ඔහුට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිදු විය. ඒ, ශෝචනීය කතාව සටහන් වන්නේ මෙලෙසිනි.

දස හැවිරිදි කවිෂ චතුරංග පුතු කරන්දෙණිය බන්දුල සේනාධීර ප්‍රාථමික පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබුවේය. කවීෂට වැඩිමහල් සහෝදරයකු සිටින අතර දහසය හැවිරිදි ඔහු මදිෂ චතුරංග ය. පවුලේ බඩපිස්සා මෙන්ම හුරතලා වූයේ ද කවීෂ පුතුය. පියා එස්.එච්. උපාලි (45) වඩු කාර් මිකයකු වන අතර මව එස්. එච්. නිලන්ති (40) ගෘහණියකි. මොවුන් කරන්දෙණිය කිරිපෙද්ද ප්‍රදේශයේ පදිංචිව සිටියහ.

කවීෂ පාසලේ ගුරුවරුන්ගේ ආදරය දිනාගත් දරුවකු විය. නිලන්තිගේ එකම අපේක්ෂාව වුයේද කවීෂ පුතු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වනු දැකීමය. ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පාසලේ පැවති අමතර පංති සඳහාද කවීෂ පුතු ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගි විය.

මේ අතරතුර කවීෂ පුතුගේ මව නිලන්තිද කොන්දේ වේදනාවකින් පසු වූවාය. ඇතැම් දිනවල ඒ වේදනාව ඇයට දරාගත නොහැකි තරම් විය. මීට මාසයකට පමණ ඉහතදී උපාලි තම බිරිය ඇල්පිටිය ප්‍රදේශයේ ශල්‍ය වෛද්‍යවරයකු වෙත කැඳවා ගෙන යන්නේද ඒ නිසාය. එම වෛද්‍යවරයා විසින් නිලන්ති කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළේය. කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පරික්ෂණවලදී ඇයට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු විය. අවාසනාවකට මෙන් ඒ වන විටත් ඇයගේ ශරීරය පුරා පිළිකාව පැතිරී ගොස් ඇති බවද වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය විය.

නිලන්ති සති දෙක තුනක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ සිට නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. කවීෂ පුතු තමන්ට හැකි පමණින් තනිවම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීම සඳහා සූදානම් විය.

නිලන්තිගේ උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් 09 වැනිදාටය. ඒ වෙනුවෙන් එදින නිලන්ති රෝහලින් නිදහස් කරගෙන ඒමට උපාලි කටයුතු කළේය. මව නිවසට පැමිණීම ගැන කාටත් වඩා සතුටින් සිටියේ කවීෂ පුතුය. "මගේ අම්මා ආවා. අනේ අම්මේ මා ළගම ඉන්න" ඔහුු මවගේ ඇගේ දැවැටෙමින් එසේ කීවේය.

උපාලි නිලන්තිගේ වෛද්‍ය වාර්තා කිහිපයක් රැගෙන වෛද්‍යවරයකු වෙත ගියේ එදින හවස් වරුවේය. ඔහු යළි නිවසට එන විට රෑ බෝ වී තිබූ අතර ඒ වන විට නිලත්ති පසුවූයේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. උපාලි කඩිනමින් සිය බිරිය යළි කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළේය. ඒ වනවිට වෙලාව අලුයම 5.00 ද පසුවී තිබුණි. එදින දහවල් උපාලි කැඳ බෝතලයක් හා අවශ්‍ය අඩුමකුඩුම සකස්කරගෙන නිලන්ති බලන්නට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගියේය. ඔහු යන විට ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඇයගේ දෑස්ද අඩක් පියවී තිබුණි. උපාලිගේ දෑස්වලින් ගලන කඳුළු අතරින් සිය බිරියගේ මුහුණ දෙස බලා සිටියේය. එක්වරක් පමණක් උපාලි දෙස බැලූ නිලන්ති දෑස් වසාගත්තාය. සිය සැමියා උපාලි ළඟ සිටියදීම එසේ අවසන් නින්දට වැටුණු නිලන්ති යළි දෑස් විවර කළේම නැත. උපාලි මේ දුක්බර පුවත ලොකු පුතාට දැනුම් දුන්නේ "අනේ ලොකු පුතේ අම්මා නැති වුණා. ඒත් සුදුපාට කොඩි දමන්න එපා. මල්ලිට මේ ගැන කියන්නත් එපා" යැයි හඬා වැටෙමිනි. 

එසේ වුවද 10 වැනිදා රාත්‍රියේ උපාලිගේ නිවෙසට එක්රොක් වූ අසල්වැසියන් නිලන්තිගේ අවමඟුල වෙනුවෙන් නිවෙස සූදානම් කරන්නට වූහ. උපාලි නිවසට පැමිණ කවීෂ පුතු අසල්වැසි නිවෙසක් වෙත රැගෙන ගියේය.

" තාත්තේ ඇයි අපේ ගෙදර ටෙන්ට්, මඩු ගහන්නේ "කවීෂ පුතු උපාලිගෙන් ඇසුවේය. "පුතේ අම්මා රෝහලේ නේ ඉන්නේ. අම්මා වෙනුවෙන් දානයක් දෙන්න තමයි හදන්නේ" යැයි උපාලි කීවේ පුතුට සැකයක් ඇති නොවන පරිදිය. "ඔව් තාත්තේ අපි ඉක්මනට අම්මාව සනීප කරගමු"යැයි කවීෂ පුතු කීවේය.

"පුතා අම්මාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට හොඳින් ශිෂ්‍යත්ව විභාගෙට මුහුණ දෙන්න ඕන" උපාලි කීවේය.

"ඔව් තාත්තෙ මම අම්මගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරනවා" කවීෂ පුතු එසේ කියද්දී සිය දයාබර බිරිය වෙනුවෙන් උපාලිගේ සිත හඬා වැටෙමින් තිබිණ. එහෙත් කවීෂ පුතු ගැන සිතා ඔහු සිය වේදනාව සඟවා ගත්තේය. පසුදින විභාගයට යා යුතු නිසා උපාලි වේලාසනින් අසල්වැසි නිවෙසේම කවීෂ පුතු නින්දට යැවූවද එදින රාත්‍රී 10ට පමණ නිලන්තිගේ දේහය උපාලිගේ නිවෙසට ගෙන එනු ලැබීය. ගතවූයේ නිමේෂයෙකි. කවීෂ පුතු නින්දෙන් අවදි වී කෑගසන්නට වූයේ "තාත්තේ අම්මා ආවා. අම්මා ආවා. අම්මා පෙට්ටියකින් ආවේ" කියාය. ඔහු සිහිනයෙන් මෙන් එසේ කෑගසද්දී "නෑ පුතේ අම්මා ආවේ නැහැ. අම්මා ඉස්පිරිතාලෙනෙ. පුතා බය නැතුව නිදාගන්න"කියමින් උපාලි පුතු යළි නිදි කරවීය.

පසුදින උදෑසනින්ම අවදි වූ කවීෂ පියාට කීවේ නිවෙසේ තිබෙන දානයට සිය මිතුරන්ටද ආරාධනා කරන බවය. අසල්වැසි නිවෙසේ සිටම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යෑම සඳහා සූදානම් වූ ඔහු මල්පහන් පුජාකොට බුදුන් වැද පියාගේද දෙපා නැමද පිටත්ව ගියේය.

"අම්මා හිටියා නම් කොච්චර වටිනවාද?" කවීෂ පුතු පියා සමඟ එසේද කීවේය. "අම්මා සනීපවෙලා ඉක්මනින් ගෙදර ඒවි. පුතා හොඳින් විභාගෙට මුහුණ දෙන්නකො" උපාලි පුතු සනසමින් කීවේය. තම මව ඒ වන විටත් ජීවතුන් අතර නොවන බව නොදැන පාසලට ගිය කවීෂ පුතු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට යළි නිවෙස කරා ආවේ සිය පන්තිභාර ගුරුතුමියද සමඟය. නිවසට යන මඟ සුදු කොඩි දුටු කවීෂ පුදුම වී ඒ ගැන ප්‍රශ්න කරද්දී ගුරුතුමියද නිරුත්තර වූවාය. ටික වේලාවකට පසු අසල්වැසි නිවසේ සිට පන්තිබාර ගුරුතුමිය විසින් කවීෂ පුතු ඔහුගේ නිවෙස වෙත කැඳවාගෙන ආවේය.

මවගේ නිසල සිරුර පෙට්ටියක බහා සාලය මැද තිබෙනු දැකීමෙන් කවීෂ වික්ෂිප්ත විය. "අනේ මගේ අම්මා" කියමින් ඔහු නැඟූ විලාපය අවට සිසාරා රැව් දෙද්දී ඔහු කෑ ගසමින් හඬා වැටුණේ රැස්ව හුන් හැම හිතක්ම කම්පාවට පත් කරමිනි. මවගේ මුහුණ අතගාමින් හඬා වැලපුණු කවීෂ දෙවතාවක්ම සිහිසුන්ව බිම ඇද වැටිණ. මවු සෙනෙහස සදහටම අහිමි වීමේ වේදනාව ඒ සියුමැලි ළපටි හිතට තවමත් දරාගත නොහැකි කම්පාවකි.

නිලන්තිගේ හදිසි වියෝව උපාලිගේ දෙවුර මත ඉතිරි කොට ඇත්තේ විශාල වගකීමකි. දරු දෙදෙනාගේ අනාගතය සැපවත් කිරීම ඒ අතර මූලික වේ. ගමේ පොදු වැඩවලදී පෙරමුණ ගන්නා, සමාජශීලී පුද්ගලයකු වන උපාලිගේ පවුලට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුෂාන් ප්‍රසන්න මෙසේ කීවේය.

"මෙය ඉතා කනගාටුදායක අවස්ථාවක්. මේ පුංචි පුතුගේ මානසික තත්ත්වය ඉක්මනින්ම හොඳ තත්ත්වයට පත්කළ යුතුයි. ඒ වගේම ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට උදවු කළ යුතු වෙනවා."

ලලිත් චාමින්ද - ගාල්ල

Comments