පොලිස් ඉතිහාසය වෙනස් කළ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්ෂානි ජාසිංආරච්චි | සිළුමිණ

පොලිස් ඉතිහාසය වෙනස් කළ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්ෂානි ජාසිංආරච්චි

- දස දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා 
- කොළඹ සරසවියේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්
- පොලිසියට එක්වූයේ 1997 දී 
- අභියෝග මැද ආ ගමනක්

භිමානවත්වූත්, ප්‍රෞඪ වූත් වසර එකසීය පනස් හතරක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව පිටුවක් පෙරළුණු සතියක් ලෙස ගෙවීගිය සතිය හැඳින්විය හැකිය. ඒ, 85000ක් පමණ පිරිසකගෙන් සමන්විත පොලිස් දෙපාර්තමේන්තුවේ 8900ක් පමණ වන කාන්තා පොලිස් නිලධාරිනියන් අතුරින් එක් නිලධාරිනියක එදා-මෙදා තුර කාන්තා නිලධාරිනියක ලද ඉහළම තනතුරට උසස්වීම් ලබමිනි. 

දින කීපයක සිටම කතාබහට ලක්වෙමින් තිබූ ශ්‍රී ලංකා පොලිසියට ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක පත්වීමේ කතාන්දරය අනුව පසුගිය 08 වැනිදා එකී උසස්වීම වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව සිදු කෙරිණි.

ඒ අනුව ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලබා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කරගැනීමට වාසනාව ලද නිලධාරිනිය වූයේ පොලිස් ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙසින් රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ෂානි ජාසිං ආරච්චියි.

එලෙස ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලද බිම්ෂානි පසුගිය 13 වැනිදා පෙරවරුවේ පොලිස් සුබසාධන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස රාජකාරි ඇරැඹු‍වේ පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ කාන්තා නිලධාරිනියන්ගේ නාමය සදා නොමැකෙන ලෙස සනිටුහන් කරමිනි.

වසර 23ක පමණ සේවා කාලයකට හිමිකම් කියන ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය දැඩි අභියෝග මධ්‍යයේ නියෝජ්‍ය පොලිස්පතිනියක දක්වා උසස්වීම් ලද දිරිය නිලධාරිනියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තවේ ප්‍රචලිතය.

1997 වසරේ පෙබරවාරි 04 වැනිදා පොලිස් සේවයට එක්ව ඇති නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි දකුණේ හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ ඈත ගම් පියසක් වන ගල්පොත්තයාය ග්‍රාමයේ උපන් කාන්තාවකි. ජිනසේන ජාසිං ආරච්චි සහ විමලා කුරුගම මාතාවට දාව උපන් දරුවන් දසදෙනාගෙන් තුන්වැන්නා ලෙස මෙලොව එළිය ලැබ ඇත්තෙ අපේ කතා නායිකාවයි.

අනතුරුව මූලික අධ්‍යාපනය මීගස්ආර මහා විද්‍යාලයෙන්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු තංගල්ල බාලිකා මහා විද්‍යාලයෙන්ද සම්පූර්ණ කර ඇති ඇය පාසල් සමයේදී ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද එකසේ හපන්කම් පෑ තැනැත්තියකි. තංගල්ල බාලිකාවෙන් අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව 1992 වසරේ රුහුණු විශ්වවිද්‍යාලයට පිවිසීමට තරම් ඇය වාසනාවන්ත වී තිබුණාය.

විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවක ලෙස කටයුතු කරමින් සිටියදී දිනක් ඇයගේ නෙත ගැටුණු පුවත්පත් දැන්වීමක් සිය ජීවිතය මෙතරම් දිගු ගමනක් රැගෙන යාවියැයි ඇයද නොසිතන්නට ඇත. එහෙත් කුඩා කාලයේ සිටම සිත් කොනක කැකෑරුණු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව රටට සේවයක් කිරීමේ අභිලාෂය එම දැන්වීම හරහා මුදුන් පමුණුවා ගත් ඇය පොලිස් දෙපාර්තමේන්තුවට එක්වීමේ වරම් දිනා ගත්තාය.

පවුල් පසුබිමෙහි කිසිවෙක් හෝ පොලිස් දෙපාර්තමේන්තුවට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවූවත් බිම්ෂානි 1997 වසරේ පෙබරවාරි 04 වැනිදා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට එක්ව මූලික පුහුණුව ලබා ආධුනික උපපොලිස් පරීක්ෂකවරියක ලෙස සිය රාජකාරි ආරම්භය සනිටුහන් කර තිබුණාය.

ඇයගේ මුල්ම රාජකාරි ස්ථානය එවකට රට දෙකඩ කිරීමට වලි කමින් සිටි රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට, බලපෑමට ලක්වූ වවුනියාව පොලිස් ස්ථානයයි. ත්‍රස්තවාදීන්ට එරෙහිව මාස කීපයක රාජකාරි දිවියකින් පසු ඇය අපරාධ විමර්ශන ක්ෂේත්‍රයට පිවිස වසර 14ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) විශිෂ්ට සේවාවක නිරත වූ පොලිස් නිලධාරිනියකි. ඊට අමතරව ඇය මෙතෙක් පොලිස් රාජකාරි දිවිය තුළදී වසර 10ක් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ ක්ෂේත්‍රයේද, පොලිස් පුහුණු කිරීම් ක්ෂේත්‍රයේ වසර 4ක්ද ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරින්හි වසර පහක් සහ මෙහෙයුම් රාජකාරියන්හිද වසරක කාලයක් සේවය කොට පොලිස් දෙපාර්තමේන්තුවේ හසළ අත්දැකීම් ලත් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියයි.

තවද එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා එක්ව වසර දෙකක කාලයක්ද නැගෙනහිර ටිමෝරයේ ළමා හා කාන්තා අපරාධ විමර්ශන කාර්යාංශ කණ්ඩායම් නායිකාව හා දකුණු සුඩානයේ පොලිස් මෙහෙයුම් මූලස්ථානයේ පිරිස් පාලන නිලධාරිනිය ලෙසද ඉමහත් සේවාවක නිරතව තිබුණාය.

2006 වසරේදී කාන්තා පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලද බිම්ෂානි 2007 වසරේදී සහකාර පොලිස් අධිකාරි තනතුරටද උසස්වීම් ලැබුවාය. එහෙත් 2000 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව රාජකාරි අතරතුරදීම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි බඳවා ගැනීම් විවෘත විභාගයට පෙනී සිට සමත් වුවත් නොයෙක් කම්කටොලු බාධක නිසාවෙන් ඇයට 2007 වසර වන තෙක් සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීමට 'විශාල' සටනක් කරන්නට සිදුව තිබුණේ අධිකරණයේ පිහිටද පතමිනි.

එහිදී සිය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා නීතිය ඉදිරියට ගිය ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරැදි හා සාධාරණ තීන්දුවක් ලැබීමත් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම් වෙනුවෙන් පෙනී සිටීමත් නිසා 2007 වසරේදී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීමට වරම් හිමිවී තිබුණාය.

අනතුරුව 2013 වසරේදී ඕ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දක්වා ඉහළට පැමිණියාය. එලෙස වත්මන් නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි, 2017 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලැබීම මෙරට ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනිය වූ ප්‍රමිලා දිවාකරගෙන් පසුව වීමද විශේෂත්වයකි. 2019 වසරේදී තවත් නිලධාරිනියන් අටදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියන් ලෙස උසස්වීම් ලබන්නටද සමත් වූයේ කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම් වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ගෙන ගිය අරගලය සමඟිනි.

වත්මන් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 47 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස අසමසම වාර්තාවකට උරුමකම් කීම පිළිබඳව අප ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනිය ලෙස 1999 වසරේදී උසස්වීම් ලැබීමෙන් පසු 2002 වසරේ පොලිස් සේවයෙන් ඉසිඹු ලැබූ ප්‍රමිලා දිවාකර ගෙන් විමසීමක් කළාය.

"ඇත්තටම මේ මොහොතේ මම තරම් සතුටු වන වෙනත් කිසිම කෙනෙක් නැතුව ඇති. එතුමියට මං සුබ පැතුවා. ඒත් මට දුක එතුමිය වැඩ බාරගත් මොහොතට සහභාගිවීමට නොහැකි වීම ගැනයි. මම දැනගෙන හිටියෙ නැහැ වැඩ බාරගත් බව. මට තියෙන විශාලම සතුට මගේ වාර්තාව අබිබවා යෑම ගැනයි. මොකද මගේ රෙකොඩ් එක හැමදාම තියෙන්න බැහැනේ. කවුරුහරි ඒක අබිබවා යා යුතුමයි. කාන්තාවන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුර දක්වා යා හැකි විය යුතුයි. මමත් උසස් වීම් ලබාගත්තෙ උසස් නිලධාරින් සමඟ ගැටිලා උසාවි ගිහින්... මම කරපු අරගලය සෑම පොලිස් නිලධාරිනියකටම ලොකු ශක්තියක් වුණා...මම නැවතත් ඇයට සුබ පතනවා."

ඒ, 1958 කොස්තාපල්වරියක් ලෙස එක්වී 1971 සාජන් තනතුරටත් 1977 උපපොලිස් පරීක්ෂිකා, 1984 පොලිස් පරීක්ෂිකා, 1986 ප්‍රධාන පොලිස් පරීක්ෂිකා, 1988 සහකාර පොලිස් අධිකාරිනියක, 1994 පොලිස් අධිකාරිනියක සහ 1999 ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනිය ලෙස උසස්වීම් ලබා 2002 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නික්ම ගිය ප්‍රමිලා දිවාකරයි.

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියටද හිමිකම් කියයි. ඊට අමතරව බැංගලෝර් විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පීඨයේ සහ ඇමෙරිකාවේ ලුසියානා පොලිස් විද්‍යායතනයේද පොලිස් සේවයට අවැසිම රාජකාරි පිළිබඳ වැඩිදුර හැදෑරීම් කරමින් හසළ දැනුමකින් යුත් නිලධාරිනියකි. ගුවන් විදුලි සංස්ථාවේ සහකාර අධ්‍යක්ෂවරයකු සමඟ විවාහ වී සිටින නි‍යෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානිට පොලිස් සේවය හරහා රට වෙනුවෙන් තවත් වසර ගණනාවක් ජනතාවට සේවය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

Comments