ගම්දනව්වලට භීතිකාවක් වූ ජලභීතිකාව | සිළුමිණ

ගම්දනව්වලට භීතිකාවක් වූ ජලභීතිකාව

- මසක් ඇතුළත ගාල්ලේ ජලභීතිකා මරණ 2ක්
-  ජලභීතිකාව මර්දනය කරන්න නම් සුනඛ එන්නත් වැඩි කරන්න
- සුනඛ එන්නත් ගණන 70%ක් වුණොත් මිනිස් මරණ නැති කළ හැකියි
- “ඒකීය සෞඛ්‍ය” සංකල්පය යටතේ වැඩපිළිවෙළක් අවශ්‍යයි

මාපලගම හොරගස්තුඩුව පදිංචි වී සිටි 12 හැවිරිදි ගවේෂ් නෙත්සර පුතු සැප්තැම්බර් 26 වැනිදා මෙලොව හැර ගියේ ජලභීතිකාව රෝගයට ගොදුරු වීමෙනි. ඊට දින 3 කට පෙර යටලමත්ත ප්‍රදේශයේ පදිංචි වී සිටි 54 හැවිරිදි නියාගම ලොකුගමගේ සරත් මරණයට පත් වූයේද ජලභීතිකාව හේතුවෙනි.

පසුගිය මාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ හොරණ නිව්චැටල්වත්තේ කවිනි නෙත්සරාගේ මරණයට හේතු වූයේ ද ජලභීතිකාවයි. හොරණ මුවපට්ටිය ග්‍රාමයේ ආරියරත්න නරියකු සපා කෑමෙන් ජලභීතිකාව වැලඳී මිය ගියේ පසුගිය අගෝස්තු 17 වැනිදාය. මාස දෙකක් ඇතුළත සිදු වූ මෙම මරණ හතරට ම හේතු වූයේ ජලභීතිකාවයි. මේ වන විට ජලභීතිකාව රෝ‍ගයේ වැඩිවීමක් සිදු වී තිබේදැයි විමසා බැලීමට යොමු වූයේ එබැවිනි. 

ජලභීතිකාව වැලඳෙන්නේ වෛරසයක් මඟිනි. මෙම වෛරසය රුධිරයට හෝ ශ්ලේෂ්මල පටලවල තැවරීමෙන් ශරීරගත වන අතර එය වාතයෙන් හෝ සුළඟින් ශරීරගත නොවේ මෙම වෛරසය ශරීරගත වී බීජෞෂණ කාලයේදී පමණක් ප්‍රතිකාර කළහොත් එහි සාර්ථකත්වයක් ලබා ගත හැකිය. බීජෞෂණ කාලය, සපා කෑ හෝ සීරිමක් හෝ තුවාලයක කෙළ තැවරීමක් සිදු වූ ස්ථානය අනුව වෙනස් වේ. නිදසුනක් ලෙස මොළයට ආසන්න මුහුණ හෝ ගෙල ප්‍රදේශයේ සපා කෑමක් සිදු වූවේ නම් මොළයට හානි වීම ඉක්මනින් සිදුවේ. ඇතැම්විට දීර්ඝ කාලයකින් පසුව ‍රෝග ලක්ෂණ පහළ වන විට රෝගියාට තමා සතකුගේ හපාකෑමට හෝ සීරිමකට ලක් වූවාද යන්න පවා අමතක වී තිබිය හැකිය. බීජෞෂණ කාලයෙන් පසුව තියුණු තුඩකින් අනින ආකාරයේ වේදනාව, උණ, වමනය, හිසරදය, වෙහෙස, ආහාර අරුචිය, උගුරේ වේදනාව යන රෝග ලක්ෂණ මතු වේ.

මෙහි උච්ච අවස්ථාවේදී උගුරේ වේදනාව වැඩි වී ගිලීමේ අපහසුව ජලයට ඇති බිය, මොළයේ ඉදිමීම, කම්පනය, ශ්වසන අපහසුතා පේශිවල ක්‍රියාකාරිත්වය අඩු වීම, කලහකාරි ලෙස හැසිරීම, උමතු බව වැනි රෝග ලක්ෂණ දැක ගත හැකිය. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ මෙම වෛරසය ශරීරගත වූ පසුව මධ්‍ය ස්නායු පද්ධතියට හා මොළයට හානි වීමෙන් අනතුරුව ශරීරයේ අනෙකුත් අවයවවලට ද හානි වීමෙනි. ජලභීතිකා එන්නත් ලබා නොදුන් සුනඛයකු හෝ පූසකු හෝ නරියන්, මුගටියන් වැනි සතකුගේ සපා කෑමකට හෝ සීරීමකට ලක් වූ විට එම ස්ථානය සබන් ගා හොඳින් සෝදා හැකි ඉක්මනින් රජයේ රෝහලකට යෑමට උපදෙස් දෙනු ලබන්නේ ජලභීතිකාව බීජෞෂණ කාලයේදී පමණක් ප්‍රතිකාර කිරීමෙන් මැඬ පවත්වා ගත හැකි නිසාය.

ජලභීතිකාව මර්දනය කිරීම සඳහා එන්නත් කිරීමේදී සිදු වෙන්නේ එකී වෛරස් යොදාගෙන ඊට එරෙහි ප්‍රතිරෝධයක් ශරීරයේ ඇති වන පරිදි එන්නත් ලබා දීමයි. මෙම එන්නත 1885 දී ප්‍රංශ ජාතික ලුවී පාශ්චර් සහ එමිල් රූක්ස් විසින් නිපදවනු ලැබීය. මෙය 1908 දී වැඩි දියුණු වූ අතර 20 වන සියවසේ මුල් භාගයේ ජලභීතිකා එන්නත ජනප්‍රිය වූයේ ජලභීතිකා මාරයාගෙන් ගැලවීමට ඇති එකම ඖෂධය එය වන නිසාය. ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම අවස්ථා 2 කදී සිදුවේ. ඒ ජලභීතිකා රෝගයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති අය ආරක්ෂා කිරීම සඳහා සහ නිරාවරණය වීමෙන් පසු සායනික ජලභීතිකා රෝගය වර්ධනය වීම වැළැක්වීම සඳහා සිදු කෙරෙන එන්නත් කිරීමයි.

“ජලභීතිකාව මිනිසුන්ට හැදෙන්නේ ක්ෂීරපායි සතුන්ගෙන්. ක්ෂීරපායි සතුන් කිව්වාම බල්ලන්, පූසන්, මුගටියන්, හෝතඹුවන්, වවුලන්, ගවයන්, එළුවන් වැනි සතුන් අයිති වෙනවා. ඒත් මිනිසුන්ට වැලඳුන ජලභීතිකාව ගැන විශ්ලේෂණය කළාම 99%ක් වාර්තා වෙලා තියෙන්නේ බල්ලන්ගෙන්. ඒ නිසා අපි බල්ලන්ට ජලභීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහන් අඛණ්ඩවම සිදු කරනවා. ඉස්සර නම් අයාලේ යන බල්ලන් මරා දැම්මා. ඒත් දැන් මරන්නේ නැහැ. ඒ වෙනුවට බල්ලන්ගේ ගහනය අඩු කර ගැනීමට වඳ සැත්කම් කරනවා. ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව 2018 දී සුනඛ සංගණනයක් කළා. ඒ අනුව ලංකාවේ බල්ලන් ලක්ෂ 30ක් විතර ඉන්නවා. එයින් ලක්ෂ 09ක් අයාලේ යන සුනඛයන්. හැබැයි අපි එන්නත් දෙන්න ගම්වලට ගියාම අයාලේ යන බල්ලන්ව ලණුවලින් ගැට ගහගෙන ගේනවා.

එයින් පෙනෙන්නේ අයාලේ ඇරියාට ඒ බල්ලන්ට අයිතිකාරයෝ ඉන්න බව. අපේ මිනිස්සු වගකීමක් ඇතිව බල්ලන් ඇතිදැඩි කරනවා නම් ජලභීතිකාව වළක්වා ගන්න පුළුවනි.” යනුවෙන් පැවසුවේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, පශු වෛද්‍ය එල්.ඩී. කිත්සිරි ය. සුනඛයන්ට නොමිලේ ජලභීතිකා එන්නත් ලබා දීම ආරම්භ වූයේ 1959 වර්ෂයේදීය. එය සිදු කළේ 1953 වසරේ පිහිටුවනු ලැබූ පශු මහජන සෞඛය ඒකකය මඟිනි. එය 1959 - 1963, 1976 - 1980 සහ 1981 - 1985 යනුවෙන් පස් අවුරුදු වැඩපිළිවෙළ තුනකින් ක්‍රියාත්මක විය. එහෙත් 2016/09/07 පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මඟින් අයාලේ යන සුනඛයන් මගින් මහජනතාවට සිදු වන අවහිරතා වැළැක්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ අනුව 16/1858/744/014 - 1 අංක දරන කැබිනට් පත්‍රිකාව යටතේ සුනඛයන්ට ජලභීතිකා එන්නත් විදීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරිණි. ඒ අනුව 2018 සිට මානව ජලභීතිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සත්ව ජලභීතිකාව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් පැවරිණි. පශු වෛද්‍යවරුන් විසින් එන්නත්කරුවන්, යානවාහන ඇතුළු සම්පත් පිළියෙල කරගෙන සුනඛයන්ට එන්නත් කිරීමත් වඳ සැත්කම් කිරීමත් සිදු කරගෙන යන අතරවාරයේදී නැවතත් සුනඛයන්ට ජලභීතිකා එන්නත් දීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගනු ලැබුවේ 2019 වසරේ මුල් භාගයේදීය. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් පෙන්වා දුන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් අධික පිරිවැයක් දැරීම, ක්ෂේත්‍ර වැඩසටහන්වලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇති නිපුණත්වය වැනි කාරණාය.

කෙසේ හෝ මේ පිල් මාරුව නිසා සුනඛයන්ට ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහනේ යම් පසුගාමි ස්වාභාවයක් ඇති වූ බව නම් සඳහන් කළ යුතුය. “දෙපාර්තමේන්තු මාරුව එක්ක සම්පත් මාරුවීමක් සිද්ධ වුණා තමයි. එය නැවතත් යථා තත්ත්වය පත් කරන්න කාලයක් ගත වෙනවානේ. සාමාන්‍යයෙන් අපි වසරකට සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලක්ෂ 10ක් පමණ ලබා දෙනවා. ගිය අවුරුද්දේ දීලා තියෙන්නේ ලක්ෂ 8ක් විතර. මේ අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා ඒ වැඩකටයුතු අඩපණ වුණා. මේ අවුරුද්දේ දෙන්න පුළුවන් වුණේ ලක්ෂ 5ක් විතර. ඒත් මේ හේතූන් නිසා ජලභීතිකාව වැඩි වුණා කියලා කියන්න බැහැ.

සාමාන්‍යයෙන් ජලභීතිකාව නිසා මිය යන මිනිසුන් ගණන 20 - 30 ත් අතර අගයක් තියෙනවා. ජලභීතිකාවෙන් වැඩි ගණනක් මිය ගියේ 1973 දී. ගණන 377ක්. මේ අවුරුද්දේ මේ වන විට 24 දෙනකු මිය ගිහින් තිබෙනවා. ඇත්තටම දැන් අපිට ලොකුම ගැටලුව වෙලා තිබෙන්නේ සුනඛයන්ගෙන් ජලභීතිකාව වැලඳීම නොවෙයි. නරියන්ගෙන් ජලභීතිකාව වැලඳීම. හොරණ, මිල්ලනිය, ඉංගිරිය, මදුරාවල වැනි ප්‍රදේශවලින් මේ වන විට නරි සපා කෑ මිනිසුන් 11කුත් බල්ලන් 30 කුත් හරකුන් 5 කුත් වාර්තා වී තිබෙනවා. වන සතුන් නිසා මිනිසුන් ජලභීතිකාවට ගොදුරු වීමට ඉක්මනින් පියවර ගැනීමට අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කළේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, පශු වෛද්‍ය එල්.ඩී. කිත්සිරි ය.

වන සතුන්ගේ ජලභීතිකාව මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පශු වෛද්‍ය තාරක ප්‍රසාද්ගෙන් විමසූ විට ඔහු පළ කළේ මෙවැනි අදහසකි.

“කැලෑ සතුන්ටත් ජලභීතිකා එන්නත් දිය හැකි ක්‍රම තිබෙනවා. කැනඩාවෙ වෘකයන්ටත් ස්විස්ටර්ලන්තයේ හිවලුන්ටත් ජලභීතිකා එන්නත් දී තිබෙනවා. මෙහිදී මස්, මාළු වැනි ආහාර සුවඳක් වහනය වෙන විදිහට ඇමක් සකස් කර වනයේ තැනින් තැන තබනවා. ඒ ආහාර සමග එන්නත අඩංගු වී තිබෙන නිසා එය ශරීරගත වෙනවා. එහෙත් මෙහි ප්‍රායෝගික ගැටලු වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා. මේ මුඛ එන්නත් ක්‍රමය තවමත් ලංකාවේ ක්‍රියාත්මක කළේ නැහැ. ගෘහාශ්‍රිත සතුන්ට නිසි වේලාවට එන්නත් දීලා අයාලේ යෑමට ඉඩ නොදී මීට වඩා වගකීමකින් සතුන් ඇති කරනවා නම් ජලභීතිකාව පාලනය කරගන්න පුළුවන්. මිනිසුන්ගේ දැනුම්වත් වීම ගොඩාක් වැදගත්. ගමට ඇවිත් නොමිලේ එන්නත් දුන්නත් වැඩට යන්න තියෙනවා, මඟුල් ගෙදර යන්න තියෙනවා කියලා එය අතපසු කරන අය කොයි තරම් ඉන්නවාද? මීට වඩා වගකීමකින් ගෘහාශ්‍රිත සතුන් එන්නත් කරනවා නම් කැලෑ සතෙකු උන්ට හැපුවත් බය වෙන්න දෙයක් නැහැ. අනික කැලෑ සතුන්ගේ ජලභීතිකා ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ බොහෝම හෙමින්. නරි 200ක් හිටියා කියලා සිය ගණනින් ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඕනෑ නම් නරි 5කට 6කට හැදෙයි. මොකද ජලභීතිකාව හැදුණු සතා රංචුව මග හැරලා ස්වභාවයෙන්ම වෙන් වෙනවා. 

එවැනි සතකු ගම් වැදුණොත්, අසාමාන්‍ය චර්යා රටාවක් පෙන්වනවා නම් ජනතාව මඟ හැරලා යන්න දැනගන්න ඕනෑ. වනජීවී ආඥා පනත යටතේ උමතු සතුන් ඉවත් කිරීමට බලයක් මිනිසුන්ට තිබෙනවා. හැබැයි පොලුවලින් ගහලා කෲර විදිහට නෙමෙයි. අනික මිනිස්සු දකින දකින නරියා මරන්න ගියොත් විලෝපිතයන්ගේ ගහනය වැඩි වෙලා වෙනත් ගැටලු රාශියකට මුහුණපාන්න වෙනවා. සත්ව ලෝකයේ සමතුලිත බව ගිලිහෙනවා. වන සතුන්ගේ ජලභීතිකාව ප්‍රශ්නයක් වුණත් මිනිසුන් බුද්ධිමත්ව කටයුතු කරනවා නම්, ගෘහාශ්‍රිත සතුන් වගකීමකින් හදනවා නම් ජලභීතිකාව පාලනය කර ගන්න පුළුවන්.”

ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති (තේරී පත්වූ) පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන සඳහන් කළ් 2030 වන විට ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේ වැඩපිළිවෙළක් තම සංගමයෙන් සැලසුම් කර ඇති බවය.

“ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ රටක සුනඛයන්ගෙන් 70%ක් එන්නත් ‍කළොත් මානව මරණ 0 කරගන්න පුළුවන් කියලා. 2016 දී සුනඛයන්ට ජලභීතිකා එන්නත් කිරීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරුවාම අපි ලොකු වැඩසටහනක් සකස් කළා. අපේ රට දූපතක් නිසා ජලභීතිකාව තුරන් කරන්න ලේසියි. මෙහිදි තැනින් තැන පොඩි පොඩි කඳවුරු තියලා හරි යන්නේ නැහැ. ලංකාව පුරා දැවැන්ත වැඩපිළිවෙළක් මාස 4ක් වැනි කෙටි කාලයකින් ක්‍රියාත්මක කරන්නයි අපි සැලසුම් කළේ. ඒත් දෙපාර්තමේන්තු වෙනස්වීමත් එක්ක එය අතරමග නැවතුණා. ඒකීය සෞඛ්‍ය කියන සංකල්පය යටතේ පශු වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් එක මේසයකට ඇවිත් තමයි මෙම වැඩපිළිවෙළ සකස් කළේ.

අයාලේ යන සුනඛයන් මිනිසුන් හපා කෑවොත් පසු විපරම් කිරීම, සුනඛ ගහනය අඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් එහි ඇතුළත් වෙනවා. රජයට භාරදීමට තමයි තිබෙන්නේ. රජය ඊට එකඟත්වය පළ කරනවා නම්, හැමෝම එකතු වෙලා කටයුතු කරනවා නම් ජලභීතිකාව තුරන් කරන දවස වැඩි ඈතක නෙමෙයි.” යනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති (තේරි පත්වූ) පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන සඳහන් කළේය.

ජලභීතිකාවට උස්මිටිකම් නැත. ලොකු පොඩි භේදයක් නැත. ලංකාවේ ප්‍රභූ පැළැන්තියට අයත් මහා දානපති චාල්ස් සොයිසා 53 වැනි වියේදී මරු වැළඳ ගත්තේ ජලභීතිකාවට ගොදුරු වීමෙනි. ජලභීතිකාව මෙරටින් තුරන් කළ හැකි නම් එය සැමට සැනසිලිදායක පුවතක් වනු ඇත.

Comments