කොවිඩ්වලට අභියෝග කරමින් විභාග ලියන අපේ දරුවෝ | සිළුමිණ

කොවිඩ්වලට අභියෝග කරමින් විභාග ලියන අපේ දරුවෝ

අධ්‍යා­පන ඇමැති, විභාග කොම­සා­රිස් ශිෂ්‍යත්ව විභා­ගය පැවැ­ත්වෙන ඩී එස් සේනානායක විදුහලේ විභාග මධ්‍ය­ස්ථා­න­ය ඉදිරිපිටදී

- කොවිඩ් තිබුණත් දරුවන්ගේ පැමිණිම 100% යි 
- බැරෑරුම්කම දැනුණත් විභාග රාජකාරි අතහැර යන්නේ නැහැ
- විභාග රාජකාරී වෙනුවෙන් වෙහෙසෙන අයට කොවිඩ් දීමනාවක් හෝ ලැබිය යුතුයි

කොවිඩ් වසංගතය හේතුවෙන් දෙවරක්ම කල්ගිය උසස් පෙළ විභාගය මේ වන විට පැවැත්වෙන්නේ දැඩි අභියෝග රැසක් මධ්‍යයේය. පුංචි දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය පසුගියදා අවසන් වූයේ දරුවන්ගේ පමණක් නොව දෙමවුපියන්ගේ සිත් පවා නිදහස් කරමිනි. දැඩි ලෙස දෙවැනි වරටත් ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය හමුවේ බොහෝ දෙනෙකුගේ එකම අපේක්ෂාව වූයේ දෙවරක් කල්ගිය උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය නැවතත් කල් නොදමා කෙසේ හෝ පැවැත්විය යුතු බවය. නමුත් පැවැති තත්ත්වය හමුවේ මේ විභාග නැවතත් කල් දැමීම ඉතා පහසුවෙන් කළ හැකි වුවද රජය දරුවන්ට එවන් කඩවුණු පොරොන්දු ලබා දුන්නේ නැත. මේ විභාග ද්විත්වය එසේ කල් නොදැමිය යුතු බවත්, කෙසේ හෝ කුමන අභියෝග මැද වුවද මෙය පවත්වන බවට රජය හා අධ්‍යාපන බලධාරින් දරුවන්ට පොරොන්දුවක් දුන්නේ විභාග ඉතිහාසයේ පැන නැඟි අසීරුතම විභාග කඩඉමට මුහුණ දෙමිණි.

මෙම අපදා අවස්ථාවේ අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් හා රජය ගත් මේ ක්‍රියාදාමයට රටක් වශයෙන් සැවොම අගය කළහ. ශිෂ්‍යත්වය මේ වන විට අහවර වී ඇත්තේය. එය සියයට 99.99ක සිසු සහභාගිත්වයෙන් සාර්ථකව අවසන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පසුගියදා මාධ්‍ය හමුවේ පැවැසූයේ ශිෂ්‍යත්වය මෙන්ම කුමන අභියෝග පැමිණියද සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය, රජය හා එක්ව කෙසේ හෝ උසස් පෙළ විභාගයද අවසන් කරන බව පවසමිනි. එය රටේ දරුවන්ට පමණක් නොව ගුරු දෙමවුපියන්ටද සැනසුම් සතුටුදායක පුවතක්ම විය.

කෙසේ වෙතත් මේ වන විටත් දැඩි අභියෝග රැසක් මධ්‍යෙයේ උසස් පෙළ විභාග පැවැත්වෙන අතර දැඩි අවධානයක් ගම්පහ පළාතට යොදා ඇත්තේ මේ වන විටත් එම දරුවන්ට පහසු ක්‍රමවේදයන් ඔස්සේ විභාගයට ලිවීමට අවස්ථාව ලබා දෙමිනි. කෙසේ හෝ විභාග පැවැත්විය යුතුයැයි තීරණය කළද විභාග දෙපාර්තමේන්තුව විභාගය පැවැත්වීමෙහිලා ගත් ක්‍රමවේද පැයෙන් පැයට යාවත්කාලීන වන්නේ කොවිඩ් අලුත් තත්ත්වයන්ට අභියෝග කරමිණි. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන බලධාරින් වසර ගණනක ඉතිහාසයේදි අභියෝගාත්මක විභාග වසරක් වූයේ මෙවරය. එය වඩාත් අභියෝගයක් ගෙන දුන්නේ මෙවර උසස් පෙළ විභාගයටය. පසුගිය 12 වැනිදායින් ආරම්භ වු උසස් පෙළ විභාගය මේ වන විට පවත්වා ඇත්තේ සතියක කාලයක් පමණි. එය ලබන මස මුල දක්වා පැවැත්වෙයි. නමුත් ආරම්භක දින මෙන් නොව දෙවැනි තෙවැනි දිනය වන විට කොවිඩ් අභියෝග ඉතා තදින් දැනෙන්නට විය. අධ්‍යාපන ඇමැති, ලේකම්, විභාග කොමසාරිස් මින් කිසිදු දිනක නොවිදි අත්දැකීම් විදිමින් කෙසේ හෝ උත්සාහ කරන්නේ අවසන් දින දක්වා විභාගය පැවැත්වීමටය.

“අපි විභාග රාජකාරී කරන්නේ කොවිඩ් එක්ක. අපිට කොවිඩ් වැළදෙයි කියා මේ රාජකාරී අත් හරින්න බැහැ. අධ්‍යාපන බලධාරීන් විදියට අපි මේ දේවල් අත් හැරියහොත් මේ රාජකාරි කරන කාර්ය මණ්ඩල පහසුවෙන් එයින් බැහැර වෙයි. මගේ පළාතේ පාසල් 52ක කොවිඩ් ආශ්‍රිත දෙමවුපියන්ගේ දරුවන් ඉන්නවා. ඒ නිසා අපි මේ සෑම පාසලකම විභාග මධ්‍යස්ථාන වලට ගිහින් ළමයින් ඇසුරේ ඉන්නේ. ඒ දරුවන්ව විභාග මධ්‍යස්ථාන වලට ගේන්න සමහරු කැමැති නැහැ. සමහර විට පොලිසියේ අයට සිදු වෙනවා මේ දරුවන්ව විභාග මධ්‍යස්ථාන වලට ගේන්න. නිරෝධායනය වන සමහර දරුවෝ පයින් සෑහෙන දුරක් එනවා. ඒ ඔවුන්ට ප්‍රවාහන පසහුකම් දෙන්න කවුරුත් කැමැති නැති නිසා. ඒත් දරුවෝ කිසිම කෙනෙක් විභාගයට නොපැමිණ සිටින්නේ නැහැ.....“ ඒ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර පෙරේරාය. මෙම කොවිඩ් අවදානම තදින්ම ඇති මිනුවන්ගොඩ, මිගමුව, ගම්පහ අධ්‍යාපන කලාප වල ඇති කොවිඩ් තත්ත්වය දිනෙන් දිනම උග්‍ර වන්නේය. විශේෂිත විභාග මධ්‍යස්ථාව කොවිඩි නිරෝධායන දරුවන්ට ලබා දි තිබුණද, මේ දරුවෝ සමඟ කිසිදු වෙනසක් නැතිව ඔවුනගේ මනසට කිසිදු ආතතියක් නොදෙන්නට කාර්ය මණ්ඩල විභාග රාජකාරි වල නියැළෙන්නේ දරුණු වසංගත රෝගයක් සමඟ ඔට්ටු වෙමිනි.

මේවන විට මිනුවන්ගොඩ නිරෝධායන විභාග මධ්‍යස්ථාන 19 ක මෙම ලිපිය ලියන මොහොත වන විටත් සිසුන් 60 ට ආසන්න ප්‍රමාණයක් විභාගය ලියයි. කොවිඩ් වැළඳුණු දරුවන්ට සිදු වූයේ විභාග දෙපාර්තමේන්තුව විසින් අයි. ඩි. එච් උණ රෝහලේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානය තුළදි ඉතුරු ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන්නටය. මෙවර කොවිඩ් වසංගතයේ ආරම්භක ස්ථානය වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේද කොවිඩ් නිරෝධායනය වන දරුවන් සඳහා විභාග මධ්‍යස්ථානයක් පැවැති අතර අධ්‍යාපන බලධාරීන්ට එහි ගොස් රාජකාරී කරන්නට සිදුවූයේ සිය සෞඛ්‍ය පවා අමතක කරමිනි. මේ නිසා විභාග කාර්ය මණ්ඩල නිලධාරීන්ට සිය දරු මල්ලන්, පවුලේ සෞඛ්‍ය පවා මොහොතකට අමතක කරන්නට සිදු වෙයි.

“මේ විභාගය පැවැත්වෙන්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් යටතේ; විභාග වාතාවරණයෙන් සියයට සියයක් බැහැරයි. අපේ මාධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින දරුවන් බොහෝමයකගේ ගෙවල්වල අයට කොවිඩ් පොසිටිව්. එහෙම කියල මේ දරුවෝ අපිට බැහැර කරන්න බැහැ. ඇඳිරි නීති පළාත්වල විභාග රාජකාරි වලට යන කාර්ය මණ්ඩල වලට ප්‍රවාහන පහසුකම් නැහැ. තමන්ගේ වාහනයක් නැතිනම් අඩුම තරමින් යන්න ත්‍රී විලරයක් හෝ ඕනෑ. ගම්පහ, මිනුවන්ගොඩ, කැළණිය, මිගමුව අධ්‍යාපන කලාපවල මේ ප්‍රශ්නය දැඩිව දැනෙනවා. විභාග රාජකාරී වල නියැළෙන හැමෝම දරු පවුල් තියෙන අය. මේ අය විභාග රාජකාරි වලට යනවට නිවෙස්වලින් කැමැති නැහැ. ඒත් මෙය ජාතික කර්තව්‍යයක්. ඔවුන්ට කොවිඩ් වැළදීමේ හැකියාව ඉහළයි. මෙවන් ගැටලු රැසක් මැද මේ කර්තව්‍ය කරන සියලු දෙනාට යම් දිරි දීමනාවක් හෝ ලැබිය යුතුයි. මේ අය විෂබීජහරණ ද්‍රව්‍ය වලට මෙන්ම ප්‍රවාහනයේදීත් අතින් වියදම් කර ගෙනයි පැමිණෙන්නේ. මේ අය යම් හෙයිකින් විභාග රාජකාරි ප්‍රතික්ෂේප කළ හොත් මේ සියලු වෑයම් අසාර්ථක වෙනවා.

විභාග රාජකාරි මෙවන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් යටතේ හෝ කර ගෙන යන්නේ මේ අයගේ දැඩි කැපවිම නිසා. ඒ නිසා මේ අය වෙනුවෙන් යම් දීමනාවක් හෝ ලැබිය යුතුයි. ඒත් අපිට එක විස්වාසයක් තියෙනවා. කොතරම් අවිනිශ්චිත තත්ත්වයක් මතු වුණත් මේ කිසිදු අයෙකු මේ රාජකාරී අතහැර නොයන බව......“ ඒ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවාරච්චිය.

මේ වන විට සියලු විභාග රාජකාරී දිනෙන් දින විෂබීජහරණයට නතු කළ යුතු වුවද මේ කාර්ය කිරීම එතරම් ලෙහෙසි පහසු නැත. පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඉටුවන මේ කර්තව්‍යයේදි හමුදා පොලිස් අංශවලින් ලැබෙන්නේ නොමසුරු සහයෝගයකි.

“අපි දිනෙන් දින විභාග රැසවීම් පැවැත්වෙනවා. මෙය සුළුපටු කටයුත්තක් නොවෙයි. ඇතිවන අලුත් තත්ත්වයන්ට අපි මුහුණ දිය යුතුයි. දරුවන් වෙනුවෙන් ආරක්ෂක ක්‍රමවේද රැසක් ගැනීමට අපිට සිදු වුණා. දරුවන්ට ආරක්ෂිතය යන විශ්වාසය අපි ලබා දුන්නා. අපි

දරුවන්ට ලබාදුන් විශ්වාසය දරුවෝ පිළිගෙන තියෙනවා. මේ දරුවෝ කිසිදු පැකිළීමකින් තොරව විභාගයට මුහුණ දුන්නා. දරුවන්ගේ පැමිණීම සියයට සියයක්. මුලින් විෂබීජහරණ ගැටලු මතුවුණා. අපි කොවිඩ් කලාපවල කිසිදු දරුවකු කොළඹට ගෙනාවේ නැහැ. මේ දරුවන්ට විශේෂිත විභාග මධ්‍යස්ථාන ඇති කළා. ගම්පහ විශේෂිත මධ්‍යස්ථාන 12 ක් මෙන්ම නිරෝධායනය වූවන් සඳහා රටපුරා තවත් මධ්‍යස්ථාන 11 ක් ඇති කළා. සෑම විභාග මධ්‍යස්ථානයකට නිරෝධායනය වු දරුවන්ට පන්ති කාමර දෙකක් ඇති කළා. උසස් පෙළ විෂයයන් 63ක් සංවිධානය කිරීම ඉතා අපහසු දෙයක්. ඒත් කොවිඩ් එක්ක මේ අභියෝගය ඉතිහාසගත අභියෝගයක් වුණා. අපි කොවිඩ් වසංගතය පැවැති කාලයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් ලබා දුන්නා” ඒ විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) කේ. එම්. එච් බණ්ඩාර ය.

මේ බැරෑරුම් කාර්යයට රජය සෘජුව නැඟී සිටි අතර අධ්‍යාපන ඇමැති ජී. එල් පීරිස්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මෙන්ම විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, සෞඛ්‍ය වෛද්‍ය කාර්ය, ත්‍රිවිඩ හමුදා හා පොලිස් කාර්ය මෙන්ම සමස්ත අධ්‍යාපන බලධාරින් දරුවන්ගේ අපේක්ෂා යළිත් සිඳින්නට බිඳින්නට ඉඩ දුන්නේ නැත. මේ ගෙවෙන්නේ කිසිදා උද්ගත නොවූ ලෝක සෞඛ්‍ය තර්ජනාත්මක අවදියකි. විභාගයක් පැවැත්වීමට කිසිසේත් නුසුදුසු අවදියකි. එහෙත් දරුවන්ගේ අපේක්ෂා සිඳ බිඳලන්නට රජය හා අධ්‍යාපන බලධාරීන් ඉඩ දුන්නේ නැත. මේ වන විටත් එක් දරු පිරිසකගේ ජීවිතයේ අවසන් පාසල් කඩඉම තීරණය වන්නේ ලෝක තර්ජනයක් වු කොවිඩ් අභියෝග මධ්‍යයේය. එවන් තත්ත්වයකදි මේ දරුවන් කිසිදු පැකිළීමකින් තොරව විභාගයට මුහුණ දෙන්නේ බලධාරීන් ලබා දුන් විශ්වාසය නිසාමය.

කොවිඩ්වලට අපට දිය හැකි ලොකුම අභියෝගය මෙන්ම ලෝකයාට දිය හැකි ලොකුම ආදර්ශයද මෙවර ලබා දෙන්නේ අපේ දරුවන්ය. ඒ ඉදිරියේදි අපි කොවිඩ් වසංගතයත් සමඟ ජීවත්විය යුතුය යන පණිවුඩය ලොවට හඬ ගා පවසමිනි.


සේයාරූ - නිශ්ශංක ද සිල්වා
සමන්ත වීරසිරි

Comments