කොරෝනා නීති කඩමින් නුවරඑළියේදී සැප ගත් මන්ත්‍රීවරු | සිළුමිණ

කොරෝනා නීති කඩමින් නුවරඑළියේදී සැප ගත් මන්ත්‍රීවරු

කොරෝනා ජරමරය අස්සේ ගාල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එජාපයේ මන්ත්‍රිවරු පිරිසක් නුවරඑළිය මහ නගරසභාව බලා පිටත්ව ගියේ අධ්‍යයන චාරිකාවකට සහභාගිවිම සඳහාය. ඝන මළ අපද්‍රව්‍ය කළමණාකරණය සහ කාර්යාල කළමණාකරණ අධ්‍යයන වැඩසටහන ලෙස මෙය නමකර තිබුණි. මෙකී අධ්‍යයන වැඩසටන 09 හා 10 යන දෙදින තුළ නුවරඑළිය මහ නගර සභා පරිශ්‍රයේ දි පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, සහ උප නගරාධිපති පවුසල් නියාස් ( එජාප) යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු හා මන්ත්‍රිවරියන් පිරිසක් මෙකි අධ්‍යයන වැඩසටහනට සහභාගී වීම සඳහා ඉකුත් 08 වැනි දින පිටත්ව ගියහ.

නුවරඑළිය මහා නගර සභාව මඟින් පාලනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, මල අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, අන්තර්ජාලය මගින් ඔන්ලයින් ගෙවීමේ අධ්‍යයනය, මොබිටෙල් අධ්‍යයන සමඟ එක්ව සිදුකරන රථ නැවතුම් ගාස්තු පිළිබඳ අධ්‍යයන කිරීම මෙම චාරිකාවේ අරමුණ විය.

කොරෝනා නීතිරීති උල්ලංඝණය කරමින් ගාල්ල මහනගර සභාවේ පොහොට්ටුවේ හා එජාපයේ මන්ත්‍රිවරු පිරිසක් නගරසභා මුදලින් අධ්‍යයන චාරිකාවක් මුවාවෙන් සැපගන්න නුවරඑළියට ගිහින් යැයි නගර සභාවේ ජ. වි.පෙ මන්ත්‍රීවරු කියන්නට වුහ. ඉන් නොනැවතුණු ජ.වි.පෙ මන්ත්‍රිවරු මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගාල්ල නගරය පුරා පොස්ටර් ඇලවුහ. මෙකී අධ්‍යයන චාරිකාව ගැන හා එල්ල වෙන චෝදනා ගැන අපි අදාළ පාර්ශ්ව සමඟ කතාබහ කළෙමු. දකුණු පළාත් සභාවේ හිටපු ජ.වි.පෙ මන්ත්‍රී නලින් හේවගේ මෙසේ කීවේය.

"පෙහොට්ටුවේ හා එජාපයේ මන්ත්‍රිවරු පිරිසක් අධ්‍යයන චාරිකාවක් කියලා ගිහින් තියෙන්නේ නිරෝධායන නීති කඩලා. මේ ගැන අපි පොලිස්පතිතුමාත් දැනුම්වත් කිරීමට කටයුතු කරලා තියෙනවා. නිරෝධායන නීතිය අනුව මෙම මස 30 වැනි දින දක්වා රජය මඟින් සම්මන්ත්‍රණ සාකච්ඡා වැඩමුළු තහනම් කරලා තියෙන්නේ. මේ ගැන ආණ්ඩුකාරතුමාත් දැනුම්වත් කළා" යැයි නලින් හේවගේ කියන්නේය.

එල්ල වන චෝදනා සම්බන්ධව ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු කියන්නේ මෙවැනි කතාවකි.

නුවරඑළිය නගර සභාව මඟින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ හොඳ ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ අය එම ව්‍යාපෘතිය සඳහා ජනාධිපති සම්මාන පවා අරගෙන තියෙනවා. ඒ ගැන සහ නගර සභාව මඟින් පාලනය වන තවත් ව්‍යාපෘති කිහිපයක් අධ්‍යයනය කිරීමට තමයි නුවරඑළිය නගර සභාවට ආවේ. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන නුවරඑළිය නගර සභාවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේක අත්දැකීම් හුවමාරු කරගැනීමක්. නුවරඑළියේ නගර සභාවේ අය ගාල්ලටත් එනවා. මෙම අධ්‍යයන චාරිකාවට ජ.වි.පෙ මන්ත්‍රීවරු කියන මුදලක් ගිහින් නැහැ; සුළු මුදලක් තමයි වියදම් වුණේ. නීත්‍ය­ානුකුලව තමයි සියලු කටයුතු කළේ. අනික රට වහලා නැහැ. කලින් යොදාගත් වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කළේ. විනෝද චාරිකාවක් ගියේ නැහැ. නගරසභාවේ ජ.වි.පේ මන්ත්‍රීවරුත් මේ අධ්‍යයන චාරිකාවට සහභාගි වෙනවා කියලා කලින් අත්සන් කරලා තිබුණා" යැයි ගාල්ල මහ නගරාධිපතිවරයා සඳහන් කළේය. ගාල්ල මහ නගර සභාවේ උපනගරාධිපති පවුසල් නියාස් (එජාප) මෙසේ කීවේය.

"මේ වගේ වැඩසටහන් විටින් විට ක්‍රියාත්මක කරලා තියෙනවා. ජ.වි.පෙ මන්ත්‍රීවරුනුත් එනවා කියලා තිබුණා. මන්ත්‍රිවරු 21 දෙනෙකු හා නිලධාරින් කිහිපදෙනකු මෙම අධ්‍යයන චාරිකාවට සම්බන්ධ වුණා. බස්රථයේ එක අසුනක එක් අයකු තමයි ගමන් කළේ. ඒ අයට මුඛ ආවරණ හා විෂබිජහරණ බෝතල් ලබා දුන්නා. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව තමයි අපි කටයුතු කළේ. මේ වගේ වැඩසටහන් රාශියකට මම මීට පෙර සම්බන්ධ වෙලා තියෙනවා." ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක ජිලිත් නිශාන්ත මේ ගැන පැවසුවේ මෙවැන්නකි.

"මට නම් පුද්ගලික හේතුවක් නිසා මෙම අධ්‍යයන චාරිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වගේ වැඩසටහන් මීට පෙරත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගාල්ල මහ නගරසභාවේ නාගරික කොමසාරිස්තුමාත් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරාවි කියලා මා නම් හිතන්නේ නැහැ. පුද්ගලික හේතූන් මත සමහරක් මන්ත්‍රීවරු ගියේ නැහැ. තම තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි. මා වසර 22ක් නගර සභාව නියෝජනය කරනවා මේ වගේ චාරිකාවක් නොගිය මන්ත්‍රීවරයකු නැහැ.

ගාල්ල මහ නගර සභාවේ ජ.වි.පෙ මන්ත්‍රී කණ්ඩායමේ නායක නාගරික මන්ත්‍රී සුනිල් මෙසේ කිවේය.

මෙම වැඩමුළුව සඳහා මුදල් වෙන්කර නොගෙන පුර්ව අනුමැතිය යටතේ තමයි ගිහින් තියෙන්නේ. වැඩමුළුව කියලා කිව්වාට විනෝද චාරිකාවක් තමයි ගියේ. ගිය කොරෝනා කාලයේ මුදල් වෙන්කරගෙන ජංගම දුරකතන ගත්තා මේ කොරෝනා කාලයේ විනෝද චාරිකාවක් ගියා. නගරසභාවේ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න මුදල් නැහැ. නගරසභාවේ බොහෝ කටයුතු අඩපණ වෙලා. මේ අය අධ්‍යයන චාරිකාවලට ගියාට ඇවිල්ලා කරන කරපු දෙයක් නැහැ.

ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වන වත්මන් නාගරික මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න පැවසුවේ මෙවැන්නකි. ගාල්ල මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රිවරු 35 දෙනොගෙන් බහුතරයක් නවක මන්ත්‍රීවරු ඒ නිසා යම්කිසි දෙයක් ඉගෙන ගන්න මේ වගේ ගමනක් ගියාට කමක් නැහැ. ඒ ගැන වරදක් මම දකින්නේ නැහැ. තීන්දු තීරණ ගන්න අය ඒ අයගේ ආකල්ප වෙනස් කරගන්න විදේශීය රටවලට යැව්වත් කමක් නැහැ. නමුත් එවා හොඳින් අධ්‍යයනය කරලා ඇවිත් ගාල්ල නගරය තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මන්ත්‍රීවරු යමක් ඉගෙන ගන්න. මේ වගේ අධ්‍යයන චාරිකාවල නිරත විය යුතුයි.

මේ ගැන දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

අපද්‍රව්‍ය කළමණාකරණය ප්‍රධාන ගැටලුවක්. මේ කටයුතු දිරිමත් කරන්න කියලා මා උපදෙස් දීලා තියෙනවා. අවශ්‍ය පහසුකම් ලබාගන්න මුදල් පවා වෙන්කරලා දීලා තියෙනවා. මේ ගැන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් අතර විශාල උනන්දුවක් තියෙනවා. මේ ගැන අධ්‍යයනය කරන්න. ලංකාව ඇතුළත මේ වගේ ව්‍යාපෘති හොඳින් කරන පළාත් පාලන ආයතනවලට ගොස් ඒ ගැන අධ්‍යයනය කළාට වරදක් නැහැ. බනින මිනිහා බනිනවා. අපිට එවා නවත්වන්න බැහැ. අත්දැකීම් හුවමාරු කරගැනීම ඉතා වැදගත්. නිරෝධායනය කියලා කැළිකසල අදින්නේ නැතිව ඉන්නද? මන්ත්‍රීවරයාටත් මේ ගැන අධ්‍යයනය කිරීමෙන් විශාල උනන්දුවක් ඇතිවෙනවා. මෙහි කිසි අඩුවක් මා දකින්නේ නැහැ. මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ දෘෂ්ටිකෝණවලින් දකිනවා. හොඳ දේ අරගෙන නරක දේ ඉවතට දැමිය යුතු බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ලලිත් චාමින්ද - ගාල්ල

Comments