කතා මවන පොල් මිලට හේතුවක් මෙන්න | Page 2 | සිළුමිණ

කතා මවන පොල් මිලට හේතුවක් මෙන්න

පොල් කොළ මැලවීමේ රෝගය  පොල් මිල ඉහළ යන්න හේතුවක් ද

දකුණු පළාතේ රෝගී පොල් ගස් 3,20,000ක් පමණ කපා ඉවත් කරලා

පොල් මිල ගැන අහනවිට එලොව පොල් පෙනෙන බව මේ දිනවල බොහෝ දෙනකු කියන කතාවකි. ඊට හේතුව මේ දිනවල පොල් මිල අහස උසට නැඟ තිබීමයි. රජය මඟින් පොල් සඳහා පාලන මිලක් නියම කොට ඇති අතර පොල් ගෙඩියක මිල තීරණය වන්නේ ගෙඩියේ වට ප්‍රමාණය අනුවය.

පොල් ගැන සඳහන් කරන විට දකුණු පළාත හා පොල් වගාව අතර ඇති දිගු ඉතිහාසය අමතක කළ නොහැකිය. අප මේ කියන්නට යන්නේ දකුණු පළාත තුළ පැතිරී යන පොල්කොළ මැලවීමේ රෝගය ගැනය.

මේ වනවිට මෙකී රෝගී තත්ත්වය අඩුවැඩි වශයෙන් දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන අතර පොල්කොළ මැලවීමේ රෝගය මුල්වරට වාර්තා වූයේ 2006 වසරේදී වැලිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙනි. ඒ අනුව දකුණේ පොල් වගාවට පොල්කොළ මැලවීමේ රෝගය ඇතිවී වසර 14ක් ගතවී තිබුණද තවමත් ඒ සඳහා බෙහෙතක් සොයාගෙන නැත.

මේ සඳහා ඇති එකම විකල්පය වන්නේ රෝගී පොල් ගස් කපා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමයි. මීට අමතරව පොල් පර්යේෂණ ආයතනය මඟින් වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය සඳහා ප්‍රතිරෝධී පොල් ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතී. මේ වනවිට දකුණු පළාතේ ඇති පොල්ගස්වලින් සියයට 15කට පමණ මෙම රෝගය ව්‍යාප්ත වී තිබේ. රටේ සමස්ත පොල්වගාව ගතහොත් එය සියයට පහක් තරම් සුළු ප්‍රතිශතයකි.

ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව ගාල්ල, මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 702ක මෙම රෝගය ව්‍යාප්ත වී තිබේ. මින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයටය. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක මෙම රෝගය ව්‍යාප්ත වි ඇත.

වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය ව්‍යාප්ත වීමත් සමඟ රෝගි කලාපය හා ආරක්ෂිත කලාපය වශයෙන් කලාප 02ක් නම් කිරීමට පොල් පර්යේෂණ ආයතනය කටයුතු කළේය. ආරක්ෂිත කලාපය යනු රෝගි කලාපය හා නිරෝගී කලාපය අතර ඇති තීරුවයි. ආරක්ෂිත කලාපය සඳහා මුලික කරගෙන ඇත්තේ ගාල්ල අකුරැස්ස මාර්ගයයි. ආරක්ෂිත කලාපය අකුරැස්සේ සිට තංගල්ල දක්වා කිලෝමිටර් 86කින් දිගින් යුතුවේ. පළල කිලෝමිටර් 03කි. ආරක්ෂිත කලාපයට ග්‍රාම නිලධාරි වසම් 294ක් අයත් වන අතර රෝගි කලාපයට ග්‍රාම නිලධාරි වසම් 408ක් ඇතුළත්ව තිබේ. ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව වැලිගම පොල්කොළ මැලවීමේ රෝගි තත්ත්වය හේතුවෙන් 2008 වසරේ සිට මේ දක්වා කාලය තුළදී දකුණු පළාතේ රෝගී පොල් ගස් 3,20,000ක් පමණ කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙම කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගී පොල් ගස් 17,652ක් මාතර දිස්ත්‍රික්කයේ 2,82,277ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 7,010 ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ආරක්ෂිත කලාපයේ රෝගී පොල් ගස් 11,518ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට රෝගී කලාපයේ පොල් ගස් ඉවත් කිරීම සිදු කරන්නේ 9 වැනි අදියර යටතේ වන අතර ආරක්ෂිත කලාපයේ 5 වැනි අදියර යටතේ රෝගී පොල් ගස් ඉවත් කිරීම සිදු කෙරේ. රෝගී කලාපයේ පොල් පැළ ඉවත් කිරීම පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් සිදු කරන අතර ආරක්ෂිත කලාපයේ රෝගී පොල් පැළ ඉවත් කිරිම පොල් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරේ. රජය මඟින් වයස අවුරුදු 2කට වැඩි රෝගී පොල් ගසක් සඳහා රුපියල් 3,000ක වන්දි මුදලක් හා වයස අවුරුදු 2ට අඩු පොල් ගසක් සඳහා රුපියල් 1,000ක වන්දි මුදලක් පොල් වගාකරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් මෙම රෝගයට ගොදුරු වන පොල් ගස් ඉවත් කිරීමට ඇතැම් පොල් ඉඩම් හිමියෝ මැලිකමක් දක්වති. එහිදී පොල් පර්යේෂණ ආයතනය මඟින් රසායනික ද්‍රව්‍යයක් එන්නත් කොට එම පොල්ගස් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවලදී පොල් වගාකරුවන්ට වන්දි මුදල් හිමි නොවේ.

මේ පිළිබඳ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි රෝෂාන් ද සිල්වා මෙසේ පැවසීය.

"මේ වනවිට වැලිගම කොළ මැලවීමේ රෝගය සියයට 80ක් පාලනය වීමක් තිබෙනවා. නමුත් සහමුලින්ම තුරන් වෙලා නැහැ.

අපේ අරමුණ වන්නේ මෙම රෝගය ආරක්ෂිත කලාපයෙන් පිටතට පැතිරී යෑම පාලනය කිරීමයි. පොල් මිල වැඩි වීමට වැලිගම පොල්කොළ මැලවීමේ රෝගයේ බලපෑමක් නැහැ. මේ කාලයේදී කොහොමත් පොල් ඵලදාව අඩුයි. මෙකී රෝග වාහකයා ඇසට පෙන්නේ නැහැ. රසායනාගාරයේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟින් මෙම රෝගය හඳුනාගෙන තිබෙනවා. නමුත් ක්ෂේත්‍රයට ගොස් මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට පී.සී.ආර්.පරීක්ෂණ කරන්න බැහැ. එය ප්‍රායෝගික නැහැ. නමුත් පොල් ගසට වැළඳී ඇති රෝග ලක්ෂණ අනුව පොල්කොළ කුණුවීමේ රෝගය හඳුනා ගන්න පුළුවන්. පොල්කොළ මැලවීමේ රෝගයට ගොදුරු වූ පොල්ගස්වල පොල්කොළ පැතලි වෙලා දිගහැරෙනවා. මෙකී රෝගයට ප්‍රතිරෝධතාවක් දක්වන පොල් ප්‍රභේද හඳුන්වා දීම සඳහා පර්යේෂණ සිදු කරමින් තියෙනවා.

ඒ වගේම රෝගයට ඔරොත්තු දෙන සහ රෝගය පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් තියෙනවාද කියලත් පර්යේෂණ සිදු කරනවා. දැනට වැලිගම ප්‍රදේශයේ ඉඩමක බීජ පොල් උයනක් ස්ථාපනය කර තිබෙනවා. රෝගයට ඔරොත්තු දෙන කොළ කුන්දිරා නැමැති ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙනවා. තවම එය පර්යේෂණ මට්ටමින් තිබෙන්නේ. නමුත් වාණිජ වගාව සඳහා මෙම පොල් ප්‍රභේදය නිර්දේශ කරන්නේ නැහැ. ඉදිරියේදී කොළ මැලවීමේ රෝගයෙන් හානියට පත් පොල් වගාකරුවන්ට මෙම පොල් ප්‍රභේදය ලබා දීමට කටයුතු කරනවා "

ඉමදුව කොදාගොඩ ප්‍රදේශයේ පොල් වගාකරුවකු වන කේ.ජී. ආරියරත්න (68) පළ කළේ මෙවැනි අදහසකි.

"මට අක්කර 13ක පොල් ඉඩමක් තියෙනවා. මෙම රෝගී තත්ත්වය නිසා පසුගිය කාලේ මාස 6ක් ඇතුළත මගේ ඉඩමේ පොල් ගස් 200ක් විතර කපා ඉවත් කළා. ගෙඩි 40, 50ක් කඩන ගස් ඒ අතර තිබුණා. ඒ ගස්වලින් වරකට ගෙඩි 5,000ක් 10,000ක් පමණ කැඩුවා. රෝගී තත්ත්වය නිසා හොඳම ඵලදාව තිබුණු ගස් තමයි ඉවත් කිරීමට සිදු වුණේ. වන්දි වශයෙන් රුපියල් ලක්ෂ ‍ දෙකකට වැඩි මුදලක් මට ලැබුණා. දැන් තියෙන ගස්වල පොල් ඵලදාව ගොඩක් අඩුවෙලා තිබෙනවා. පොල් ගස් 200කට වඩා වැඩි සංඛ්‍යාවක් කැපුණු නිසා තියෙන ගස්වලටත් හරියට සාත්තු කරගන්න බැරි වුණා. පොල් පොහොර හිඟයකුත් තිබුණා. අපේ ප්‍රධාන ආදායම තමයි පොල් වගාවෙන් ලැබෙන ආදායම. මේ නිසා ආදායම ගොඩක් අඩුවෙලා තියෙනවා. මාස දෙකකට වරක් පොල් කඩනවා. මේ වතාවේ පොල්ගෙඩි 700 යි කැඩුවේ.

විකල්පයක් වශයෙන් අපිට තේ, කුරුඳු සිටුවන්න පැළ දුන්නා. නමුත් පොල්වලින් වගේ ඒවායින් ආදායමක් ගන්න බැහැ. තේ වගාව සඳහා වියදම වැඩියි. ඒ කාලයේ අපි කොප්පරාවලට පොල් ගෙඩි ලක්ෂයක් විතර එකතු කළා. මේ අවට කොප්පරාවලට පොල් එකතු කරපු හය හත්දෙනෙක් හිටියා. දැන් කොප්පර මඩුවක් හොයා ගන්න නැහැ. ඒ කාලයේ මේ ප්‍රදේශයේ සිල්ලරට පොල් විකුණුවේ නැහැ. කොප්පර මඩු තමයි කළේ. මේ තත්ත්වයට හේතු වුණේ පොල් ඵලදාව අඩු වීමයි. ඒ වගේම පොල් ඉඩම් කට්ටිකර විකිණීමත් ඒ සඳහා බලපෑවා"

පොල් සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජී.එස්. රංගජීව ඒ සම්බන්ධයෙන් මෙසේ මෙසේ කීවේය.

"දකුණු පළාතේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා මේ රෝගය දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. අපේ කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන දේ තමයි පොල් ගෙඩි හා පොල් ලෙල්ල. මෙම අමුද්‍රව්‍යවල හිඟය කොහු කර්මාන්තයට පොල්තෙල් කර්මාන්තයට විශාල බලපැමක් තියෙනවා. අඟුරු කර්මාන්තයට, කොප්පරා කර්මාන්තයට මෙම කොළ මැලවීමේ රෝගී තත්ත්වය බලපා තියෙනවා. මේ වනවිට දකුණු පළාත තුළ පොල් ලෙලි හිඟයක් තදින්ම තිබෙනවා. පොල් ලෙල්ලක් මිල රුපියල් 4 දක්වා වැඩිවී තිබෙනවා."

2019 වසරේ නිකුත් වූ මහබැංකු වාර්තාවට අනුව මෙරට පොල් වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 503කි. 2018 වසරේ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 499කි. පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3086කි. 2018 වසරේ පොල් ගෙඩි මිලියන 2623ක් නිෂ්පාදනය කර ඇති අතර පොල් යටිවගාව යටතේ නැවත වගා කිරීම 2018 වසරට වඩා 2019දී අඩුවී ඇත. එම ප්‍රමාණය හෙක්ටයාර 5931කි. 2019 වර්ෂයේදී පොල් හෙක්ටයාර 6842ක් අලුතින් වගා කර ඇත.

 

 ලලිත් චාමින්ද- ගාල්ල

Comments