ඇස් රතුවෙන ලූනු කතා | සිළුමිණ

ඇස් රතුවෙන ලූනු කතා

සර ගණනාවක් පාඩු ලබමින් හෙම්බත්ව සිටි මෙරට දේශීය ලොකු ලූනු ගොවියන්ගෙන් අතලොස්සකට වාර්තාගත ඉහල මිලකට තම ලොකු ලූනු අස්වැන්න අලෙවි කර ගැනීමට හැකිවි තිබේ. ලොකු ලූනු වගාවේ අස්වනු නෙලන සමය ආසන්න වනවිට පිටරටින් ගෙන්වන ලොකු ලූනු තොග වෙළඳපොලේ සුලභ වීම දක්නට ලැබුණ විශේෂ කාරණයක් වී තිබුණි. මේ තත්වය අද ඊයේ ඇති වූවක් නොව වසර කීපයක්ම දේශීය ලූනු ගොවියා මුහුණපා සිටි ගැටලුවක් විය. මේ තත්වය තුළ වගාව එපාවී සිටි ලූනු ගොවියා පසුගිය යල් කන්නයේ වගාව සඳහා පෙළඹවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින අවංක නිලධාරින්ට දරන්නට වුයේ මහත් පරිශ්‍රමයකි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙරට දේශීය ලොකු ලූනු ගොවියා කෙරෙහි උනන්දුව ඉහළ නැංවීමට නිසිකලට පිටරටින් ගෙන්වන ලොකු ලූනු සඳහාවූ ආනයනික බදු ඉහළ දැමීමට පියවර ගනු ලැබීමේ තීරණයත් සමඟ මෙරට දේශීය ලොකු ලූනු ගොවියාට තම අස්වනු සඳහා හොඳ මිලක් ලබාගැනීමට හැකිව තිබීම ප්‍රශංසනීය පියවරකි.

මෙරට ලොකු ලූනු ගොවියාට තම අස්වනු නෙලන සමයේ වෙළඳපොලේ රුපියල් 100 ත් 120 අතර ඉහල මිලකට අලෙවි කිරීමට හැකිවූ ලොකු ලූනු කිලෝවක මිල පසුගිය සතියේ සිට රුපියල් 180 - 240 අතර මිල පරාසයක් තුළ වාර්තාගත ඉහල මිලකට අලෙවිකර ගැනීමට හැකිවීම වගාව කෙරෙහි ගොවියා උනන්දු කිරීමට මහත් පිටුවහලක් වී ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

කෙසේ වෙතත් පාරිභෝගිකයාට මේ තත්වය තුළ අදටත් ලොකු ලූනු මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 250-280 ත් අතර ඉහළ මිලකටය. වසර කීපයක් ලොකු ලූනු වගාව හැරගිය බහුතර ලූනු ගොවියාටද මහත් ආස්වාදයක්වූ මිල ඉහළයාම යළි ලොකු ලූනු වගාව සදහා මහත් උත්තේජනයක් වී ඇත. මේ තත්වය ගොවි බිම හැරගිය ලූනු ගොවියා යළි ගොවිබිම කරා රැගෙන ඒම සදහා වත්මන් ආණ්ඩුවේද කෘෂිකර්ම බලධාරීන්ගේද වගකීමකි.

මිට දශක පහකට පමණ ප්‍රථම ලංකාවේ වාණිජ වගාවක් ලෙස ලොකු ලූනු වගා කිරීමට ගොවින් උනන්දු කරවුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ සිටි අවංක අතලොස්සක්වූ නිලධාරීන් පිරිසකි. ඔවුන් ලූනු වගාව ජනතාව අතර ප්‍රචලිත කිරීමට අපමණ වෙහෙසක් දැරිය. මෙරට දේශීය ලොකු ලූනු වාණිජමය නිෂ්පාදන කර්මාන්තයට දශක තුනකට වැඩි කාලයක් ගතවෙමින් පවතින මේ මොහොත වනවිට ලාංකීය ලොකු ලූනු කර්මාන්තය පත්ව ඇත්තේ අභාග්‍ය සම්පන්න ඉරණමකට බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේය. වෘත්තිමය ලොකු ලූනු ගොවියා රටේ තිබෙන මුල්‍ය ආයතනවල මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයන්හි ව්‍යාපරිකයින්ගේ ණය කරුවන් බවට පත්ව ඇති බව පැවසීම මුසාවක් නොවේ. පසුගිය කාලය තුළ ඇතැම් ගොවින් ලොකු වගාව විනාශ වීම දරාගත නොහැකිවීම හා වගා ණය ගෙවා ගත නොහැකිව සියදිවි හානිකරගත් අවස්ථා ද විය..

මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර තිබු ලොකු ලූනු නිෂ්පාදන කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් වගාකළ බිම ප්‍රමාණය අඩුවිය. 2014 වසරේ දී හෙකටයාර් 5743 ක්වූ බිම ප්‍රමාණයක වගා කළ දේශීය ලොකු ලුණු වගා බිම ප්‍රමාණය 2015 දී හෙකටයර් 2500 දක්වාද, 2016 දී හෙක්ටයාර් 1880 දක්වාද, 2017 දී හෙකටයර් 1050 දක්වාද, 2018දි හෙක්ටයාර් 700 දක්වාද, 2019දි හෙකටයාර් 583 ක් දක්වාද වගා බිම් ප්‍රමාණය අඩුවිය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොවින් උනන්දු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 යල් කන්නයේ එම බිම ප්‍රමාණය හෙකටයාර් 1150 ක් දක්වා ඉහළට නංවා ලොකු ලූනු වගාව යළි ආරම්භ කිරීමට හැකිවිය.

මෙලෙස ආරම්භ කළ ලොකු ලූනු වගාවට ආරම්භයේ සිටම අයහපත් කාලගුණය නිසා දැඩි බලපෑම් එල්ලවිය. ලොකු ලූනු වගාවට උචිත නොවන අඳුරු සහිත අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් බරපතල හානි සිදුවිණි. අකල් වර්ෂාව නිසා ලූනු වගාවට සුදුසු නොවන නිරන්තර අඳුරු ආලෝකය සහිත පරිසරයක් නිර්මාණයවීය. අඳුරු පැහැති පරිසරය ලූනු වගාවට කිසිසේත් සුදුසු නොමැති තත්වය පසුගිය වසර පහ හයක කාලය තුළ ලූනු ගොවියා මුහුණ දුන් ගැටලුවක් විය.

ලොකු ලූනු වගාවට මුලින්ම ඇතිවුයේ පාලනය කල නොහැකි ආකාරයෙන් දිලීර රෝග කීපයක් ව්‍යාප්ත වීමයි. ඒ වගේම බැක්ටීරියා ආසාදිතයන්ද ඇතිවිය. ආලෝකය අඩු අඳුර හා වැසිබර කාලගුණික තත්වය මත ලොකු ලූනු බල්බය කුණුවීම,පත්‍ර දඟර රෝගය නිසා වගාවට දරුණු හානි සිදුවිණි. ගොවි ජනතාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේම කෘෂි රසායනික වෙළඳුන් විසින් වරින්වර නිර්දේශිත පළිබෝධ නාශක භාවිතා කලත් වගාව පාලනය කළ නොහැකි දැඩි අනතුරකට ලක්විය. මෙම දිලීර හා බැක්ටීරියා ආසාදිත තත්වයන් මතුවී දින දෙක තුනක් යන්නටත් පෙරම වගාව සම්පුර්ණයෙන් විනාශ වී ගොස් අක්කර සිය ගණනින් වගා බිම අතහැර දැමීමට ගොවීන්ට සිදුවූහ.

මෙම අභියෝගයන් සියල්ලට සාර්ථකව මුහුණදෙමින් තම ලොකු ලූනු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා සතුටුවන ගොවින් කිපදෙනෙකු සිටිති. ඔවුන්ගෙන් ගලේවෙල,වටගල පදිංචි එච්.එම්.විජේසිංහ ගොවි මහතා කියා සිටියෙ මෙවන්නකි.

කෘෂිකර්ම නිලධාරීන් ඇවිත් බය නැතිව ලූනු වගා කරන්න අපිව උනන්දු කළා.

අස්වැන්න නෙලීමේ සිට වෙළඳපොල කරා රැගෙන යනතෙක් රුපියල් 40,000 ක් විතර වැයවෙනවා. අක්කරයක ලූනු වගා කිරීමට රුපියල් අවම වශයෙන් රුපියල් ලක්ෂ එක හමාරක් දෙකක් පමණ වැයවෙනවා.

ලොකු ලුනු වගාව සදහා ලොකු මුදලක් යට කරන්න වෙනවා. ප්‍රමිතියෙන් යුතු දේශීය හොඳ බිජ ලැබෙනවා නම් ලූනු වගාවෙන් පාඩු සිදුවන්නේ නැහැ. හැබැයි අස්වනු නෙලන සමයට පිටරටින් ගෙන්වන ලොකු ලූනු සඳහා ආනයනික බදු වැඩිකර දේශීය ආරක්ෂා කිරීම වැදගත් යයිද ඒ මහතා පැවසිය.

ගොවියන්ගෙන් රුපියල 150-170 ත් අතර මිලකට මිලදී ගත් ලොකු ලූනු තොග බොහොමයක් තිබුනේ වෙළඳුන් ළඟය. දින දෙක තුනක් යනවිට කොළඹ ප්‍රධාන පෙලේ ලූනු ගෙන්වන ව්‍යාපාරිකයින් කිහිපදෙනකු විසින් ලූනු සඳහා තරඟකාරී මිලක් ලෙස රුපියල් 230 ක් නියම කිරීමත් සමග ලූනු තොග වෙළඳපොල කරා විශාල ලෙස පැමිණියේය.

නමුත් එම ලූනු තොග ගොවීන්ගේ නොවේ. ඒවා ඊට පෙර ගොවීන්ගෙන් අඩුමිලට ව්‍යාපාරිකයින් සන්තකයේ තිබු ලූනු තොගය. මිල වැඩිවීමේ වාසිය ලැබුණේ ගොවියට නොව අතරමැදියාට බවයි ඔවුහු පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට රජය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 100 දක්වා අඩු කර ඇත.

දඹුල්ල-සරත් එරමිනිගම්මන

Comments