අපනයන දිරිමත් කරන්න අත්වැලක් | Page 2 | සිළුමිණ

අපනයන දිරිමත් කරන්න අත්වැලක්

විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන දේශීය ව්‍යාපාරිකයන් සඳහා සුබ කලක් උදා වෙමින් පවතී.එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දේශීය ව්‍යාපාරිකයින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් ව්‍යාපාරික මෙහෙයුම් වෙත ප්‍රවේශ වෙමින් සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ද දේශීය ව්‍යාපාරිකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාරික වපසරිය අපනයන වෙළෙඳපොළ මූලික කර ගත් ව්‍යාපාරික වපසරියක් බවට පුළුල් කරන බවට ඉතා පැහැදිලිවම සඳහන් කර ඇති අතර නව රජයේ වසරකට ආසන්න වැඩපිළිවල තුළ ඒ කරුණු ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ජනාධිපතිතුමන් හා රජය කැපවීමෙන් කටයුතු කරන බවට පැහැදිලිවම දක්නට ලැබී ඇති හෙයින්ම අපේ දේශීය ව්‍යාපාරිකයෝ අපනයන වෙළෙදපොළ වැනි නව ව්‍යාපාරික අවස්ථා වෙත යොමු වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් පවතියි.

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් මේ වන විටත් සිය වෙළෙදපොළ අපනයන වෙළෙදපොළ ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට ඇති අවස්ථා සම්බන්ධව උනන්දු වන ආකාරයක්ද පෙනෙන්නට තිබේ.

එවැනි ව්‍යාපාරිකයන් හදුනා ගෙන ඔවුන් දිරි ගැන්වීම සදහා බස්නාහිර පළාතේ කර්මාන්ත සංවර්ධන අධිකාරිය ද වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එම වැඩසටහන් හී එක් පියවරක් ලෙස පළාතේ ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ අපනයන දිරි ගැන්වීමේ අරමුණින් එම පිරිස් වෙත අපනයන ක්‍රියාවලිය පිළිබදව පුළුල් අවබෝධයක් ලබා දෙන සුවිශේෂී වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

බස්නාහිර පළාතේ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක ප්‍රසන්න සුජිත් කුමාර පවසා සිටියේ මෙම වැඩමුළුව පසුගිය ඔක්තෝබර් මස 03 , 04 දෙදින පැවැත්වුණු අතර එය අතිශයින් සාර්ථික වුණු බවයි.

මෙම වැඩමුළුව නොකඩවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිසා ඒ සඳහා බස්නාහිර පළාතේ සිටින සියලුම කර්මාන්තකරුවන්ට විවෘත ආරාධනාවක් කරන බවද එම අධිකාරියේ ප්‍රධාන විධායක ප්‍රසන්න සුජිත් කුමාර සඳහන් කළේය.

"කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග මෙරට අපනයන වෙළෙඳ පොළේ යම් පසුබෑමක් සිදු වුණා.ඒත් දැන් අප අභියෝග ජය ගනිමින් ඉදිරියට යා යුතුයි.

මේ වැඩමුළුව අප සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත්තේත් අපනයන වෙළෙදපොළ සම්බන්ධ උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ට හා කර්මාන්තකරුවන් ඒ සඳහා තවදුරටත් දිරිගන්වමින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඒ සදහා ඔවුන්ට කවරාකාර සහයෝගයක් ලබා දෙන්නේදැයි යන්න මනා ලෙස පැහැදිලි කර දීමේද අරමුණ ඇතුවයි.

ඉතා පැහැදිලිවම මෙරට ව්‍යවසායකයන් හා කර්මාන්ත කරුවන් අපනයන වෙළෙඳපොළට ප්‍රවේශවිය යුත්තේ කෙසේද හා ඒ තුළ කටයුතු කළ යුත්තේ කෙසේද යන කාරණා පිළිබඳව මෙම වැඩමුළුව තුළදී අපි සවිස්තර ලෙස විස්තර කරනවා..ඒ වගේම අනෙකුත් න්‍යායාත්මක කරුණු ගැන වගේම අපනයන වෙළඳපොළ ජය ගැනීමට වගේම එම එක් එක් ක්ෂේත්‍ර සදහා වැදගත් නවීන යන්ත්‍ර සූත්‍ර පිළිබඳවත් යොදා ගන්නා නවීන තාක්ෂණය පිළිබඳවත් පුළුල් අවබෝධයක් ලැබීමට ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට මෙම වැඩමුළුව කදිම වේදිකාවක් වනු ඇති බවට අප විශ්වාස කරනවා."

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න සුජිත් කුමාර සඳහන් කළේ ඉදිරියේදීද මෙවැනි වැඩමුළු රැසක් සංවිධානය කිරීමට තම අධිකාරිය කටයුතු යොදා ඇති බවත්, බස්නාහිර පළාතේ ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට පමණක් නොව මේ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පළාත් නියෝජනය කරන ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ටද ඊට සහභාගී වීමේ අවස්ථාව සලසා දී ඇති බවත්ය.

දැනට රට තුළ පවතින තත්ත්වයද සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය නීතී රීතී හා මාර්ගෝපදේශ වලට සම්පූර්ණයෙන්ම අනුගතව මෙවර වැඩමුළුවද සංවිධානය කර ඇති බවත් මේ සම්බන්ධව වැඩි විස්තර 011-2804511 දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවත් බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක ප්‍රසන්න සුජිත් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය.

• චන්දිමා එදිරිමාන්න

Comments