ලොව වටා | සිළුමිණ

ලොව වටා

තායිලන්තයේ රජුට එරෙහි විරෝධතා දිගටම

තායිලන්තයේ රජුය එරෙහිව එරට ජනතාව විසින් දියත් කර ඇති විරෝධතා මේ වන විටත් බැංකොක් අගනුවර දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ විරෝධතාවලට සහභාගී වූ පිරිස් අතරින් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර සෙසු විරෝධතාකරුවන් මේ වන විට ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිටිති.

තායි රජුගේ අසීමාන්තික බලය සහ ඔහු අත්විඳින සැපසම්පත් රටට ජනතාවට බරක් ලෙස පවසමින් ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ අතර බැංකොක් ප්‍රජාතන්තවාදී පෙරමුණ මේ විරෝධතාවල පෙරමුණ ගනිමින් සිටී.

 

කොරෝනා නිසා අධි සුඛෝපභෝගී කෘෘස් නැව් කුණුගොඩට

කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යෑම හේතුවෙන් වැඩකට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති අධි සුඛෝපභෝගී පාවෙන තරු පහේ හෝටල් වැනි වූ කෘෘස් නැව් අබලි ද්‍රව්‍යවලට අලෙවි කිරීමට කෘෘස් සමාගම සූදානම් වන බව වාර්තා වේ. කොවිඩ් හේතුවෙන් කෘෘස් සංචාර අවලංගු කෙරෙුණු අතර, තවත් වසර කිහිපයක් යන තුරු කෘෘස් සංචාර ක්‍රියාත්මක කළ නොහැකි බව පෙනෙන බැවින් එම නැව්වලින් තවදුරටත් වැඩක් ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ නැව් වෙනත් සමාගම්වලට අලෙවි කිරීමට උත්සාහ දැරුවද කිසිවකු ඒවා මිලදී ගැනීමට කටයුතු කර නැත. එබැවින් මේ වන විටත් කෘෘස් නැව් සංචාර ක්‍රියාත්මක කරන රටවල වරායවල සීමිත ඉඩකඩෙහි එම නැව් අපහසුවෙන් නවතා ඇති බව වාර්තා වේ. ඉදිරියේදී මේ නැව් අබලි යකඩවලට විකුණා දැමීමට එම සමාගම තීරණය කර ඇතැයි පැවසේ.

 

කොකේන් පුරවාගත් මෙක්සිකෝ ගුවන්යානය කඩා වැටේ

මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි වෙතින් ගුවන්ගත වී පියාසර කරමින් සිටි පෞද්ගලික සැහැල්ලු ගුවන් යානයක් නගරයෙන් තරමක් ඈත ප්‍රදේශයකට කඩා වැටී තිබේ. මෙසේ කඩා වැටීමට හේතුව වී ඇත්තේ රජයේ බලධාරීන් සහිත තවත් ගුවන් යානා කිහිපයක් මගින් මේ ගුවන් යානය ලුහුබැඳීමය. කඩා වැටුණු ගුවන් යානයේ කොකේන් ටොන් බාගයකට අධික ප්‍රමාණයක් තිබූ බව පසුව මෙක්සිකෝ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසා තිබිණි. ලැබුණු ඔත්තුවකට අනුව මේ කොකේන් පුරවා ගත ගුවන් යානය ලුහු බැඳගොස් ඇති අතර අධික වේගය හේතුවෙන් යානය පාලනය කර ගැනීමට නොහැකි වීම, එය බිමට ඇද වැටීමට හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

 

අන්වර් මැලේසියාවේ අලුත් ආණ්ඩුවක් හදන්න යයි

මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහීම් පසුගිය අඟහරුවාදා එරට රජු හමුවී තමන්ට නව ආණ්ඩුවක් බිහි කිරීමේ හැකියාව ඇතැයි පවසා සිටියේය. මේ සඳහා ඔහු සතුවන ශක්‍යතාව ඔප්පු කිරීමට අදාළ අස්සන් සහිත ලියවිලිද ඔහු රජු වෙත ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඔහු රජුට පවසා ඇත්තේ මේ වන විට මැලේසියාවේ අගමැති ධූරය හොබවන මුහ්යාදීන් යසීන් අසාර්ථක බවත්, ඔහු ඉල්ලා අස්විය යුතු බවත්ය. ආසන 222කින් සමත්විත මැලේසියානු පාර්ලිමේන්තුවේ ආසන 120කට අධික ප්‍රමාණයක සහයෝගය තමන්ට හිමි බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

 

කිලිමන්ජාරෝ ගිනි ගනී

අප්‍රිකාවේ උසම කඳු මුදුන වන කිලිමන්ජාරෝ කන්ද ගිනි ගැනීමට ලක්ව තිබේ. පසුගිය සඳුදා සිට හදිසියේ ඇතිවූ මේ ගින්න නිවා දැමීමට ටැන්සානියාවේ වැසියන්, ගිනි නිවන භටයන් මෙන්ම පාසල් සිසුන් ද මේ දක්වා එකසේ වෙහෙස වෙමින් සිටින බව වාර්තා වේ.

ගින්න මැඩ පැවැත්වීම අසීරු වී ඇත්තේ කඳු මුදුන සිසාරා හමා යන සුළං හේතුවෙනි.

මේ දක්වා ගින්න පාලනය කිරීමට හැකිවූ බවට වාර්තාවක් ලැබී නැත. එමෙන්ම ගින්න ඇති වීමටද හේතුවද මේ දක්වා වාර්තා වී නැත.

කිලිමන්ජාරෝ මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 6000ක් උසින් පිහිටා ඇති අතර වාර්ෂිකව සංචාරකයන් 50,000කට අධික සංඛ්‍යාවක් මේ කඳු මුදුන තරණය කිරීමට එක් වෙති.

 

රුසියාවෙන්, ඇමරිකාවෙන් තවත් පිරිසක් අභ්‍යවකාශයට

රුසියාව සහ ඇමරිකාව නියෝජනය කරමින් තවත් අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නික්ම ගොස් තිබේ.

ඇමරිකාවේ නාසා ආයතනය නියෝජනය කරමින් කේට් රුබින්ස්ද, රුසියාව නියෝජනය කරමින් සර්ගේයි රසිකොව් සහ සර්ජි කුඩ් සෙවර්ජ්කෝ මෙලෙස අභ්‍යවකාශ ගත වී තිබේ.

දකුණු කසකස්තානයේ සිට ඔවුන් රැගත් රොකට්ටුව පියාසර කර ඇත්තේ පසුගිය බදාදා දිනයේදීය. බ්‍රහස්පතින්දා දින උදෑසන වන විට ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය.

Comments