ලිංගික ශ්‍රමය ගැන ආන්දෝලනාත්මක නඩු තීන්දුව | සිළුමිණ

ලිංගික ශ්‍රමය ගැන ආන්දෝලනාත්මක නඩු තීන්දුව

ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා මතබේදාත්මක නඩුතීන්දුවක් ප්‍රකාශයට පත් කර සිටියේය. එහිදී අත්අඩංගුවට පත් ලිංගික ශ්‍රමික කාන්තාවන් සම්බන්ධව නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ ලිංගික ශ්‍රමිකයකු වීම කාන්තාවගේ කැමැත්ත නම් ඇයට එම සේවයේ නිතරවීමේ අයිතිය හිමිවන බවත්, ඇය එයින් වළක්වාලීමේ අයිතිය රජය සතුවන බවත්ය.

 

පසුගිය ඔක්තෝබර් 9වැනිදා මුම්බායි හිදී මේ නඩු තීන්දුව ලබා දී ඇති අතර මීට වසරකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව රැඳවුම් නිවාසවල රඳවා සිටියදී, ඉන් පැනගොස් යළිත් පොලිස් අත්අඩංගුවට පත්වූ ලිංගික ශ්‍රමික කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධව මේ නඩුව විභාගයට ගෙන තිබේ.

විනිසුරුවරයාගේ මේ ප්‍රකාශය සමාජය කැළඹීමට ලක් කිරීමට සමත්වූයේ එය ඉතා මානව හිතවාදී ප්‍රකාශයක් මෙන්ම ඉන්දියාව වැනි අතිශය සාම්ප්‍රදායික සමාජයක් දෙදරීමට ලක් කළ හැකි ප්‍රකාශයක්ද වූ නිසාවෙයි.

මේ සම්බන්ධව පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වන මතවාදවලින් මේ දිනවල ඉන්දීය සමාජය පිරීගොස් තිබේ.

මේ සම්බන්ධව එකඟතාව පළකරන පිරිස් පෙන්වා දෙන්නේ බොහෝ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වන්නේ සමාජ පීඩනය හේතුවෙන් බවයි.

කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු වන සිද්ධාර්ත් ජිස්වාල් පවසන්නේ ලිංගික ශ්‍රමික් කාන්තාවක් අත්අඩංගුවට පත් වූ පසු ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ඔවුන් රැඳවුම් භාරයට පත් කරන බවයි.

එමගින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඔහු පෙන්වා දී තිබේ. එසේ රැඳවුම් භාරයට පත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත හිමිවිය යුතු බවත්, එසේ නොමැති නම් එය ඔවුන් ලබන දඬුවමක් වන බවයි.

තම සිරුරේ අයිතිය තමන්ට බැවින් ඒ සම්බන්ධ තීන්දු තීරණ තමන්ට කැමති පරිද්දෙන් ගැනීමට හැකි විය යුතු බවද ඔහු පවසයි.

ලිංගික ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මේ ප්‍රකාශය එවැනි කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන ලද උසස් ප්‍රකාශයක් බවයි.

බොහෝ ලිංගික ශ්‍රමික කාන්තාවෝ අවතැන් වීම හේතුවෙන් මේ රැකියාවට ප්‍රවිශ්ඨ වන බවත්, එයින් පසු ඔවුන්ට එම රැකියාව හැර වෙනත් අවස්ථා අහිමි වන බවත්ය.

තවදුරටත් ඔවුන් කැමැත්තෙන් මේ රැකියාවේ නිරතවන තත්ත්වයක් දක්වා විතැන් වන බවත් එතැනින් පසු ඔවුන් එයින් ඉවත් කිරීම අපහසු බවත්ය.

ලිංගික ශ්‍රමික කාන්තාවන් පොලිස් දැලට කොටු වූ පසුව ප්‍රථම ඔවුන් දින විසිඑකක් රැඳවුම් භාරයේ තබනු ලැබේ.

එහිදී ඔවුන් හඳුනා ගැනීම් සිදු කෙරෙන අතර වෛද්‍ය පර්යේෂණවලට ද ලක් කෙරේ.

ඔවුන් උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් පසුවය.

එහිදී ඔවුන් තවදුරටත් රැඳවුම් භාරයේ තැබීම හෝ නිදහස් කිරීම සිදුවේ. මේ අවස්ථා දෙකේදීම උසාවිය විසින් ශ්‍රමිකයාගේ පවුල් පසුබිම ඇතුළු කරුණු කිහිපයක්ම සැලකිල්ලට ලක් කරණු ලැබේ. ඇතැම් අවස්ථාවලදී ශ්‍රමිකයා වසර තුනක් දක්වා රැඳවුම් භාරයේ තැබීමට උසාවිය තීන්දු කරයි.

බොහෝවිට එවැනි තීන්දු ලැබෙන්නේ ශ්‍රමිකයා ඍජුවම ජාවාරම් සමග සබඳතා සහිත බව ඔප්පු වීමෙනි.

එහෙත් ඉන්දීය උසාවිය පොදුවේ පිළිගන්නා මතය වන්නේ දැනට ඉන්දියාවේ සිටින ලිංගික ශ්‍රමිකයන් අතරින් අති බහුතරය ස්වකීය කැමැත්තෙන් මේ රැකියාවේ නිරතවනවාට වඩා ජාවාරම්කරුවන් විසින් බලහත්කාරයෙන් රැකියාවේ යොදවනු ලබන බවයි.

2018 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ මුම්බායි නගරයේ ලිංගික ශ්‍රමික කාන්තාවන් අතරින් සියයට 80ක් එම වෘත්තියට ප්‍රවිශ්ට වීමට හේතුව අවතැන් වීම බවයි.

එමෙන්ම ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමෙන් පසුවද ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න වැඩිවනවා මිස පිළිතුරු නොලැබෙන බවද පැහැදිලි වී ගොස් තිබේ.

උදාහරණයක් ලෙස ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසු නීතිඥයන්ට ගෙවීමට වෙනම මුදල් ඉපයීමට ඔවුන්ට සිදුවේ. එයි අතුරු ප්‍රතිඵලය වන්නේ ඔවුන් ණය උගුලේ සිරවීමය.

කෙසේ වුවද මෙවර මුම්බායි උසාවිය ලිංගික ශ්‍රමික කාන්තාවන් වෙත හෙළා ඇත්තේ ඉතා සානුකම්පිත දෘෂ්ටිියකි. විශේෂයෙන්ම අත්අඩංගුවට පත්වන ලිංගික ශ්‍රමික කාන්තාවන් රැඳවුම් භාරයේ තැබීම උසාවියේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

උසාවිය ඒ සම්බන්ධව පවසා ඇත්තේ ‘කිසිවකු රැඳවුම් භාරයේ සිටීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එමෙන්ම තමන් කැමති රැකියාවේ නිතර වීමට සෑම දෙනාටම අයිතියක් තිබෙනවා‘ යනුවෙනි.

කෙසේවුවද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙන්ම ගණිකා වෘත්තියට එරෙහි මත දක්වන කණ්ඩායම් අතර මේ සම්බන්ධව බොහෝ මතගැටුම් ඇතිවෙමින් තිබේ.

වැඩි දෙනා පවසන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවන් අතරින් බහුතරය ස්වකීය කැමැත්තෙන් එහි නිරතවන අය ලෙස හඳුනාගත නොහැකි බවයි.

කිසිදු කාන්තාවක් ස්වකීය කැමැත්තෙන් මේ වෘත්තිය තෝරා ගනී යැයි සිතිය නොහැකි බවටද මත පළවී තිබේ.

ආසියානු සමාජයේ එය එසේ වීමට වැඩි ඉඩක් පවතින නමුදු මිනිස් සිතුම් පැතුම් කාලානුරූපව වෙනස් වන බවද අමතක කළ යුතු නොවේ.

ඒ අනුව උසාවි තීන්දු තීරණය මෙලෙස නම්‍යශීලී සහ මානුෂික වීම පැසසුම් ලැබිය යුතුය.

Comments