දෝනිගේ දිය­ණි­යට බිරි­යට තර්ජන | සිළුමිණ

දෝනිගේ දිය­ණි­යට බිරි­යට තර්ජන

මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දියාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවූ තරුවකි. ඔහු ඉන්දියාවට ලබා දී ඇති කීර්තියද අති මහත්ය. ඔහු මේ වන විට කොවිඩ් අභියෝග අස්සේ පැවැත්වෙමින් තිබෙන අයිපීඑල් තරඟාවලියටද සහභාගී වෙමින් සිටී. ඔහුගෙන් ඉන්දියාව ලත් කිර්තියක් මිස අන් කිසිවක් නොවේ. එහෙත් පසුගියදා එක්වරම ඉන්දීය සමාජ මාධ්‍යවල දකින්නට ලැබුණේ දෝනිගේ පස් හැවිරිදි කුඩා දියණිය සහ බිරිය මරා දමන බවටත්, ඔවුන්ට ලිංගික අඩන්තේට්ටම් කරන බවටත් පවසමින් පළවූ තර්ජනයකි.

එය දුටු වහාම බොහෝ දෙනා කැළඹී ගියේ දෝනි වැනි ඉන්දියාවට කීර්තිය ගෙන දුන් පුද්ගලයකුගේ දරු පවුලට මෙවැනි තර්ජනයක් කිරීම හේතුවෙනි.

එය කිසිසේත් යහපත් ප්‍රවණතාවක් නොවීය. ඒ සමගම මෙකී තර්ජනය හෙළා දකිමින් විරෝධතා එල්ල වන්නට වූයෙන් ඉන්දීය පොලීසියට මෙහි මූලාරම්භය සොයා කටයුතු කරන්නට සිදුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා අහමදාබාද් නගරයෙන් 16 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය කටයුතු කළේය.

පොලිසිය ඔහු හඳුනාගෙන ඇත්තේ එම්එස් දෝනිගේ බිරියට සහ දියණියට තර්ජන එල්ල කරමින් සමාජ මාධ්‍යවල පෝස්ට් පළ කිරීමට සම්බන්ධයක් සහිත පුද්ගලයකු වශයෙනි.

එහෙත් එය මේ දක්වා තහවුරු කර නොතිබීමද සැලකිල්ලට ගත යුතුය.

දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා පාසල් ශිෂ්‍යයකු වන අතර ඔහු ඉන්ස්ටර්ග්‍රෑම්හි තර්ජනාත්මක පෝස්ට් පළකිරීමට වරද පිළිගෙන ඇතැයිද එම ප්‍රදේශයේ පොලීසිය දැනුම් දී ඇතැයි ප්‍රකාශිතය. එහෙත් වරදකරු ඔහුම බව මේ දක්වා තහවුරු කර නැත.

කෙසේවුවද මේ තර්ජනවලින් හෙළි වන්නේ ඉන්දියාවේ කාන්තාවන් මුහුණ දෙන අස්ථාවර බව මිස අන් කිසිවක් නොවේ.

ඉන්දියාව යනු මේ පෘථිවි තලය මත කාන්තාවන්ට ඉතාම අනාරක්ෂිත රට වශයෙන් හැඳින්විය හැකිය.

එරට සිදුවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව කොතෙක්ද කිවහොත් ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා අතරට එක්වන්නේද නැත. විශේෂයෙන් කුලයෙන් පහත් හෝ දුගී බවින් පීඩා විඳින පවුල්වල කුඩා ගැහැණු දරුවන් සහ කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ ඉතා කටුක, වේදනාත්මක සහ වගකිවයුත්තකු නොමැති මරණ වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙස මියගිය ගැහැණු දරුවන්ගේ හෝ කාන්තාවන්ගේ සිරුරු නිහඬවම පුළුස්සා දමා සිදුවීම එතැනින් අවසාන කර දමන්නේ පොලීසිය විසිනි. මේ අනුව තත්ත්වය කොතරම් බලපතලදැයි ඔබට වැටහෙනු ඇත.

මේ සම්බන්ධව ඉන්දීය ජනතාව හඬ නැගුවේ මෑතකදී නොවේ. වරක් මේ සම්බන්ධව අදහස් දක්වමින් ජනප්‍රිය නළු ශාරුක් ඛාන් පවසා සිටියේ තමන් ඉන්දීය ජාතිකයකු බව පැවසීමට ලැජ්ජා වන බවයි.

එමෙන්ම මහමගදී සමූහ දුෂණයකට ගොදුරු වූ තරුණියකගේ ජීවිතය රැක ගැනීමට ඇයව විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරුව බලා යැවීමටද වරක් ඉන්දීය රජය කටයුතු කළේය.

අනන්‍යතාව සඟවමින් ‘නිර්භයා‘ ලෙස නම් කළ මේ දැරිය බේරා ගැනීමට කොතෙක් උත්සාහ දැරූවද ඇය මියගියේ සමූහ දූෂණය හේතුවෙනි.

පසුව ඉන්දීය ජනතාව මහගම තනිව අවේලාවේ ගමන් කිරීම කාන්තාවගේ වරදක් බවත්, එවැනි කාන්තාවන්, ගැහැණු දරුවන් දූෂණය වීම පුදුමයට කරුණක් නොවන බවත් පැවසීමට තරම් පසුගාමී වූහ.

ඒ අනුව ඉන්දියාවේ කාන්තාවක් ලෙස උපත ලැබීමම වරදක් බව වක්‍ර මාර්ගයෙන් ඉන්දීය සමාජයම පිළිගත්තා සේ විය.

දැන් මේ කණගාටුදායක සිදුවීම් මාලවේ නවතම පුවත ලෙස මහේන්ද්‍ර සිං දෝනිගේ කුඩා දියණියට පවා ලිංගික තර්ජන එල්ල කිරීමෙන් වැටහෙන්නේ එරට ජන සමාජයේ වයස අවුරුදු පහක කුඩා දරුවකුට වුවද කිසිඳු ආරක්ෂාවක් නොමැති බවය. එමෙන්ම ජන සමාජයේ කිසියම් කීර්තියක් අත්පත් කරගත් පුද්ගලයකුට වුවද ඉන්දීය සමාජය පොදුවේ මුහුණ දෙන භීෂණයෙන් ගැලවීමක් නොමැති බවය.

ස්වකීය පියාගේ කීර්තිය මත ජීවිතයට තර්ජන එල්ල වීම කිසිසේත් සරලව සැලකිය නොහැකි බව මේ සම්බන්ධව අදහස් දැක්වූ බොහෝ දෙනා පැවසූහ.

බොහෝ විට දැනට අත්අඩංගුවට පත්ව සිටින තරුණයා මේ සම්බන්ධව නියම වැරදි කාරයා වීමට හෝ සියලු වැරදි ඔහු පිටින් යෑමට ඉඩකඩ ඇත.

එහෙත් මේ සිදුවීම මෙසේ අවසන් වුවද ඉන්දීය ජන සමාජයේ කාන්තාව මුහුණ දෙන වාතාවරණය නම් වෙනසකට බඳුන් වේ යැයි සිතිය නොහැකිය.

Comments