චීනය නිසා ගොඩ­ගිය පකි­ස්තා­නය | සිළුමිණ

චීනය නිසා ගොඩ­ගිය පකි­ස්තා­නය

පකිස්තානය බිමටම ඇද දැමුවේ ඇමරිකාවයි. එසේ කිරීමට පෙර පකිස්තානය අභ්‍යකාශ යානා නිපදවීමට සමත්වූ, න්‍යෂ්ඨික බලය අත්පත් කරගත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය සහිත රටක් වීමට කේවල් කිරීමට තරම් සුදුසුකම් ලත් බලවතෙක් විය. ඒ සඳහා ඉන්දියාවෙන් වෙන්වූ පකිස්තානයට මුස්ලිම් රටවල සහයද හිමිවූ බව අමතක කළ යුතු නැත.

එහෙත් මුස්ලිම් අන්තවාදීන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ පසු අසල්වැසියාගේ බලපෑමෙන් ගැලවීමට පකිස්තානයට හැකියාව ලැබුණේ නැත. එහිදී පකිස්තානය තෝරා ගනුලැබුවේ මුස්ලිම් අන්තවාදය නොව ලෝකයේ වඩාත්ම බලවතාගේ පාර්ශ්වයයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට පහර එල්ල කිරීමේදී ඇමරිකානු හමුදාවන්ට සියලු පහසුකම් සපයනු ලැබුවේ පකිස්ථානයයි.

ඒ සඳහා ඇමරිකාව තමන්ට හිතකාමී පාලකයකුද පකිස්තානයට පත් කර ගත් අතර ඔහු ෆර්වේස් මුෂාරාෆ්ය. ඇමරිකාවේ ආධාර මෙන්ම සහයෝගයද නොඅඩුව ලැබුණු එම වකවානුව පකිස්තානයේ ස්වර්ණමය යුගයක් විය.

එහෙත් තලේබාන් සංවිධානය බිමට හාන්සි කර, අල් කයීඩාව වැනසු පසු ඇමරිකාවට තවත් පකිස්තානය අවශ්‍ය වූයේ නැත. ඇමරිකාව විසින් අතහැර දමුණු ලැබූ පකිස්තානය සැබවින්ම කුණාටු සාගරයේ රුවල කැඩී ගිය නෞකාවකට සමාන විය.

දූෂිත පාලකයන්, අධික ණය බර, මුස්ලිම් අන්තවාදය, ඉන්දියානු තර්ජන යනාදී මේ සියල්ල ඔසවාගෙන පකිස්තානය අනාගතය කරා යා යුතු විය. එහෙත් ඒ ගමන ඉතා සෙමෙන් වූ අතරඑහි අවසන් ප්‍රථිඵලය වූයේ පකිස්තානය පතුලක් නැති අගාදයකට වැටීමය.

ඉම්රාන් ඛාන් බලය ලබා ගන්නේ එවන් වූ පකිස්තානයකය. පෞද්ගලික ජීවිතයෙන් බැහැරව දේශපාලනය සහ රට වෙනුවෙන්ම කැපවූ පුද්ගලයකු ලෙස පෙනී ගිය ඉම්රාන් ඛාන්ට බලය ලබා දීම පකිස්තාන වැසියන් ගත් ඉතා නිවැරදි තීරණයක් විය.

එහෙත් ඉම්රාන්ට ලැබුණු අභියෝගය ඔහු සිතූ තරම් පහසු නොවීය. දේශපාලනඥයන් විසින් විනාශ කර තිබූ පකිස්තානයේ භාණ්ඩාගාරය කොතෙක් දුප්පත් වීද යත්, ඉම්රාන් ඛාන් රට බාර ගන්නා විට භාණ්ඩාගරය සතු වත්කම් ජනතාවට සතියක් ආහාර සැපයීමට ප්‍රමාණවත් නොවීය. අගමැති සහ ඇමතිවරුන් සතු වත්කම් විකිණීමට ඉම්රාන් යෝජනා කළේය. ඉන්පසු එය ක්‍රියාත්මකද කළේය. එහෙත් ප්‍රතිඵලයේ වැඩි වෙනසක් නොවීය.

අගමැති ඉම්රාන් ඛාන් සතුව වෙනත් විකල්ප නොවීය. ඔහු තමන්ට උපකාර කරන ලෙස මුළු මහත් ලෝකයෙන්ම ඉල්ලා සිටියේය.

ඔහුගේ ඉල්ලීමට ප්‍රංශය මෙන්ම ජර්මනියද යම් පමණකින් ප්‍රතිචාර දැක්වූහ. ඒ සමගම චීනයද ප්‍රතිචාර දැක්වීය. එහෙත් ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවීය.

ඉම්රාන් යළි උදව් ඉල්ලුවේය. එවර චීනය පමණක් ප්‍රතිචාර දැක්වීය. චීනය දිගින් දිගටම පකිස්තානය සමග සිටියේය. මේ ණය මුදල් ලබා දීමේ දීර්ඝ කාලීන අරමුණු තිබිය හැකිය. ඒවා දේශපාලනිකද විය හැකිය. එහෙත් රටක ජනතාව බඩගින්නේ මිය යෑමට ඉඩ නොදීම අගය කළ යුතුය.

මේ වන විට චීනය පකිස්තානයට ලබා දී ඇති සම්පූර්ණ වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7කි.

මේ මුදල අතීතයේ සිට මේ දක්වා පකිස්තානයට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබා දී ඇති සම්පූර්ණ ණය මුදලට වඩා වැඩිය.

මෙයට අමතරව චීනය තවත් විශාල මුදලක් පකිස්තානයේ ආයෝජනය කර තිබේ.

චීනයේ මාවතක් සහ තීරයක් ව්‍යපෘතිය යටතට අයත් වන පකිස්තානයේ කරච්චි නගරය වෙළෙඳ, වාණිජ නගරයක් සහ ගුවන් තොටක්, නැව් තොටක් ලෙස සංවර්ධනය කිරීමට සහයෝගය දීම චීන අරමුදල් මගින් සිදුවෙමින් තිබේ. 2016 වසරේදී චීනය තවත් ඩොලර් බිලිය 8.5ක් පකිස්තානයේ ආයෝජනය කරන බව පවසා සිටියේය.

ඒ ඒ වන විටත් ලබා දී ඇති ඩොලර් බිලියන 4.5ක ආයෝජන මුදලට අමතරවය. මේ මුදල යෙදවීම අරමුණු වූයේ කරච්චියේ සිට පෙෂාවර් දක්වා දුම්රිය මාර්ගයක් සෑදීම වෙනුවෙනි. මීට අමතරව බලශක්ති උත්පාදනය, සහ උමං දුම්රිය මාර්ගයක්ද වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 4ක් චීනය පකිස්තානයේ ආයෝජනය කර තිබිණි.

2019 වසරේදී චීනය වැඩිම ආධාර ප්‍රමාණයක් පකිස්තානයට ලබා දී තිබේ. මේ ලබා දුන් ආධාර එරට ජනතාවගේ අධ්‍යාපනට ක්ෂේත්‍රයේ වර්ධනය, සුභසාධනය, ළමා සහ මාතෘ සුරක්ෂිතතාව ඇති කිරීම, තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණුව ලබා දීම, පිරිසිඳු පානීය ජලය ලබා දීම සහ දුප්පත්කම තුරන් කිරීම යන අරමුණු වෙනුවෙන් වැය කිරීම චීන රජයේ අරමුණ විය.

මේ ලබා දුන් ආධාර යටතේ අදාළ කටයුතු එළෙසින්ම ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට පසුගිය වසරේ විශේෂ චීන දූත පිරිසක් පකිස්තානයේ සංචාරයටද එක් වූහ.

මේ හැර මාවතක් සහ තීරයක් ව්‍යපෘතිය යටතේ චීනය පකිස්තානය වෙනුවෙන් අමතරව වැය කර ඇති මුදල ඩොලර් බිලියන 19ක් බවද සඳහන්ය.

මේ මුදල් විශේෂයෙන්ම එරට මාර්ග පද්ධතිය දියුණු කිරීම අරමුණු කර ගනිමින් ලබා දී තිබේ.

මේ සියල්ල අතර පකිස්තානයේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් චීනයේ භුක්තියට නතු කර දීමට ඉම්රාන් ඛාන්ට සිදුවූ බවද අමතක කළ යුතු නැත. ලොව කිසිඳු රටක් තම අරමුණුවලින් බැහැරව පරාර්ථකාමයෙන් පමණක් යුක්ත වෙමින් සහය ලබා දේ යැයි සිතිය නොහැකිය.

කෙසේ වුවද පකිස්තානය මේ වන විල යළිත් පීල්ලේ යමින් සිටින්නේය. එය කොතරම්ද යත් කොවිඩ් වසංගතය ඇති වූ අවස්ථාවේදී පකිස්තානයේ දස දෙසින් රෝගීන් වාර්තා වුවද මරණ සංඛ්‍යාව හැකි තරම් අඩු කර ගනිමින්, රෝගය පාලනය කර ගැනීමටද පකිස්තාන රජයට හැකි විය.

පකිස්තානයේ මේ ක්‍රියාකලාපය අගය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ කොවිඩ් පාලනය කරන අන්දම පකිස්තානයෙන් ඉගෙන ගන්නා ලෙසටය.

මේ අන්දමින් ඉම්රාන් ඛාන්ගේ පකිස්තානය චීනය නිසා ගොඩ ගියේය. එහෙත් එහි අතුරු ඵල කෙසේදැයි අනාගතය තීරණය කරණු ඇත.

Comments