බිලියන 34ක් පිල්ලි ගැසූ නීති විරෝධී ETI ගනුදෙනුව | සිළුමිණ

බිලියන 34ක් පිල්ලි ගැසූ නීති විරෝධී ETI ගනුදෙනුව

දිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් හි සිදු වී ඇතැයි පැවසෙන මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් මහතා හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකරගේ සාමාජිකත්වයෙන් යුත් 2020 ජනවාරි මස 09 දින පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එකී ගනුදෙනු පිළිබදව සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත්ව පිළියෙල කරන ලද වාර්තාව 2020 ඔක්තෝබර් මස 06 වැනි දින ජනාධිපතිතුමා වෙත බාර දුන් අතර එම සමාගම් (ETI ) පසුගිය සමයේදී සිදු කළ මූල්‍ය හා දේපළ ගනුදෙනු රැසකදීම මූල්‍ය නීති රැසක් කඩ කර ඇති බවත්, අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බවත් එම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් මගින් සිදු කර ඇති බවට මෙම කොමිෂන් සභා වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ බෙන් හෝල්ඩින්ග්ස් නමැති සමාගමකට අලෙවි කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙරදීය.

මෙම විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව ද එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ඇත. ඒ අනුව එම දේපළ රජයට පවරා ගැනීමටත්, එහි හිමිකරුවන් ලෙස කටයුතු කර මෙම නීති විරෝධී ගනුදෙනු සිදු කළ පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙම කොමිෂන් සභා වාර්තාවේ සදහන් වූ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් හී සිදු වී ඇති මූල්‍යමය හා දේපොළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉහත කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම, අධිකරණ අමාත්‍යවරයා මගින් මෙම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන යෝජනාද සමග මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙතද ඉදිරිපත් කරන ලද අතර ඒ අනුව කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම නීතිපතිවරයාට යොමු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම ජනතාව අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඊ. ටී. අයි සමාගම ලෙස වන අතර එම සමාගමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරිකා සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු එහි කඩා වැටීම ඉතා වේගයෙන් සිදු විය.

සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන කටයුතු කළ අතර සමාගමේ ද්‍රවශීලතාවය වේගයෙන් පිරිහීමට පත්වීමත් සමඟ ඊ.ටී.අයි. රු. බිලියන 22ක් සිය තැන්පත්කරුවන්ට වංචා කරන තත්ත්වයට පත් විය. ඒ හා සමගම මෙරට පුරවැසියන් 24,800 කගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිතද අඳුරෙන් අඳුරට පත් විය.

ඊ. ටී. අයි පාලකයන් සිය ගනුදෙනුකරුවන්ගේ මුදල්ද අනතුරේ හෙළමින් ඒ පිළිබදව කිසිදු වගවිභාගයක් නොමැතිව හැසිරෙද්දී ඒ වන විටත් සමාගමේ බාහිර ඔපයට හා ප්‍රචාරණ උපක්‍රම වලට රැවටී දුක් මහන්සියෙන් තමන් හරි හම්බ කර ගත් මුදල් ඊ. ටී. අයි වෙත පූජා කර තිබුණු එහි ගනුදෙනුකරුවන් මේ අවනඩුව එවකට මේ රට පාලනය කළ පාලකයන් වෙතත් සියලු මූල්‍ය සමාගම් අධීක්ෂණය කිරීමේ හා නියාමනය කිරීමේ බලය පැවරී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව වෙතත් ඉදිරිපත් කළද ඒ සදහා ඔවුන්ට සාධාරණ විසදුමක් නොලැබුණු අතර විසදුමක් ලබා දීමට උත්සුක වන ආකාරයක්ද දක්නට නොලැබුණි. මේ නිසාම සිය අරගලය ඉදිරියට ගෙන යාමට ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ සංගමය ද ඔවුන් පිහිටවූ අතර එම සංගමය මූලිකව ඊ. ටී.අයි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, විරෝධතා හා සත්‍යග්‍රහ ව්‍යාපාර පැවැත්වීම,මාධ්‍ය හමු හා සාකච්ඡා පැවැත්වීම, දේව කන්නලව් හා ආගමික පිහිට පැතීමේ වැඩසටහන් සංවිධානය වැනි ක්‍රියාමාර්ග රැසක්ම ගන්නා ලදී.

මෙම ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස ඊට නායකත්වය ලබා දෙන්නේ අනූෂා ජයන්තියි.

ඇය ඊ.ටී.අයි සියලුම තැන්පත්කරුවන්ව ඒකරාශී කර ගනිමින් තමන්ට වංචා කළ මෙකී ඊ.ටී.අයි පාලකයන්ට නීතියෙන් උපරිම දඩුවම් ලබා දීම සදහාත්, එම ඊ.ටී.අයි පාලකයින්ගේ මකර කටට ගිය රුපියල් බිලියන 34 කට ආසන්න මුදල නැවත තැන්පත් කරුවන් අතරේ බෙදා දීම සඳහාත් නොනවතින අරගලයක යෙදෙන්නීය.

ඊ.ටී.අයි වංචාව පසුගිය ජනාධිපතිවරණ හා මහා මැතිවරණ වේදිකාවන්හී ඉතාම සංවේදී මාතෘකාවක් බවට පත් වන්නේද මෙම සංගමය ගෙන ගිය නොනවතින අරගලයේ ප්‍රතිඵලයක් නිසා වන අතර 2020 ජනවාරි මාසයේදීම ජනාධිපතිතුමා විසින් ඔවුන්ගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දෙමින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද පත් කරන ලදී.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව,එහි නිගමන හා නිර්දේශ පිළිබදව ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනී අනූෂා ජයන්තිගෙන් අපි අදහස් විමසුවෙමු.

“මෙම කොමිෂන් සභා වාර්තාවේ ඉතා පැහැදිලිවම ඊ. ටී. අයි මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා රාශියක් පිළිබදවම තොරතුරු සඳහන් කර තිබෙනවා. ඒ වගේම සිදු වූ ගනුදෙනු රැසකදීම මුදල් විශුද්ධිකරණය සිදුවෙලා තියෙනවා කියලත් එම වාර්තාවේ සඳහන්. එපමණක් නෙවෙයි ඊ. ටී. අයි දේපළ විකිණීම සිදු කළ ආකාරයන් නීති විරෝධී කියලා නිර්දේශයක් මෙන්ම එම නීති විරෝධී දේපළ ගනුදෙනු නිසාම එසේ විකුණන ලද දේපළ රාජ සන්තක කළ හැකි බවටත් එකී කොමිෂන් සභා වාර්තාවේ සඳහන්.

"මගේ මුදලුත් ඊ. ටී. අයි පාලකයන් කොල්ල කෑවා. මම මේ ඊ. ටී. අයි ගැන හැම දෙයක්ම හොයන්න ගත්තේ මගේ සල්ලි ටිකත් අනතුරේ බව දැනගත් පසුවයි. 2017 සිට අවුරුදු පහක් ආපස්සට මම ඔවුන්ගේ ගිණුම් වාර්තා හොයා ගත්තා. ඊ. ටී. අයි. කඩා වැටීම එම විගණන වාර්තාවල ඉතා පැහැදිලි ලෙසම සදහන් වී තිබෙනවා.

මුල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය පැවරී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සෑම වසරකම මේ ගිණුම් පිරික්සනවා; විගණනය කරනවා. සත්‍ය තමයි මහ බැංකුවටත් ඊ. ටී. අයි වෙත අත් වෙන්නට යන ඉරණම පැහැදිලිව පෙනුණා. එසේ පෙනෙන්නට තිබියදීත් තමයි මේ රටේ ජනතාවගේ මුදල් තැන්පතු තව තවත් අද්දවා ගන්න ඊ. ටී. අයි පාලකයින්ට දිගින් දිගටම අවසරය දී තිබෙන්නේ.

2018 ජනවාරි 01 වැනිදා මහ බැංකුව ගත් තීරණයක් අනුව, ඊ. ටී. අයි. මූල්‍ය ව්‍යාපාරයේ කළමනාකරණ සහ අධීක්ෂණ කටයුතු සඳහා තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්ද මහ බැංකුව විසින් පත් කළා.

මහ බැංකුවේ නියාමනයට අනුව මේ මණ්ඩලය පත් කළාට පස්සෙත්, එදිරිසිංහලා හතර දෙනා රැස්වීම් පවත්වා වරින් වර තැන්පත්කරුවන්ට බොරු බලාපොරොත්තු ‍දුන්නා.

මේ වන විට අප සංගමයේ සාමාජිකත්වය දරන හුඟ දෙනෙක් අවුරුදු තිස් ගණනක් රාජ්‍ය සේවයේ ඉඳලා තමන්ගේ සේවක අර්ථසාධකය අරන් මෙතැනට දාපු අය. වරායෙ සේවකයන්ම තිස් ගණනක් ඉන්නවා. ටිකෙන් ටික එකතු කරලා මිස මේවා අපිට ඉබේ ලැබුණු මුදල් නෙවෙයි. බොහෝ පිරිසක් ගෙයක් දොරක් ඉඩමක් විකුණලා බැරි වයසෙදි කීයක් හරි වැඩියෙන් අතට ගන්න මෙතැනට දැම්මෙ මහ බැංකුව ගැන විශ්වාසය තියලා.’

අනූෂා ජයන්ති ඇතුළු ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් ඊ. ටී. අයි සටනින් තම පාර්ශ්වයට ජයග්‍රහණය හිමි වේ යැයි පැහැදිලි විශ්වාසයක් තබා කටයුතු කරන ලදී.

විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මැදිහත්ව සිය අරගලයට විසදුම් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ ඇති වන්නේ ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කිරීමත් සමඟමය. මේ වන විට තමන්ට සාධාරණයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ තහවුරු වෙමින් තිබෙන අතර සිය අරගලය ජයග්‍රහණයෙන් තොරව ආපසු හැරෙන්නටද ඔවුන් සූදානම් නැත.

Comments