කුඩාවැල්ල ධීවරයන්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක් | සිළුමිණ

කුඩාවැල්ල ධීවරයන්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව යනු, රටට වඩා දහ ගුණයක් විශාල සාගර සම්පතක් හිමි, ලොව විරල රටවල් අතරේ එකකි. එහෙව් රටක්, ටින් මාළු ආනයනය කිරීම පුදුමයට කරුණක් වුවත්, වඩාත් පුදුම සහගත කාරණය වන්නේ, ටින් මාළුවලින් පමණක් නොනැවතී, මාළු, කරවල සහ උම්බලකඩ වැනි මුහුදු සම්පතින් සුලබව නිපදවිය හැකි සෑම මත්ස්‍ය ආහාරය වර්ගයක්ම පාහේ ආනයනය කිරීමයි.

ඒ සඳහා, ශ්‍රී ලංකාවෙන් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය, වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලකි.

මාළු ආනයනය සඳහා වාර්ෂිකව වැය කරන මෙම විදේශ විනිමය අඩු කිරීම සඳහා දිශා කිහිපයකින් සැලසුම් සකස් කළ යුතු බව, ධීවර කර්මාන්තයේ අනාගත කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෑතකදී පැවැත්වූ රැස්වීමක් අමතමින් ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂයන් පැවසීය.

දළ දේශීය නිෂ්පාදිතයට ධීවර කර්මාන්තයේ දායකත්වය 1% කි. රට පුරා මුහුදු තීරය දිගේ මසුන් ඇල්ලීමේ හැකියාව සහ මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනය කිරීමෙන් විදේශ විනිමය රටේ ඉතිරි කර ගත හැකි වන අතර, මෙරට ධීවර කර්මාන්තයත් එවැනි තැනකට රැගෙන ආ යුතු බව, ජනාධිපතිතුමා අවධාරණය කළේය. මාළු ආනයනය සඳහා වැය කරන විදේශ විනිමය අඩු කිරීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගෙන ඇති නියෝග ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස, ධීවරයන් මාළු සැපයුම්කරුවන් සහ දේශීය ටින් මාළු නිෂ්පාදකයන් බලධාරීන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ මෙවැනි පසුබිමක් යටතේය.

පෑලියගොඩ ටෙස් ගෲප් සමාගම, පසු ගිය දා සංවිධානය කළ කුඩාවැල්ල සහ හික්කඩුව ධීවර වරායන්හි ක්ෂේත්‍ර චාරිකාවක දී , අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාගේ එම නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් ටින් මාළු ආනයනය, තමන් වෙත එල්ල කොට ඇති අහිතකර බලපෑම පිළිබඳ ධීවර ප්‍රජාව සිය කනස්සල්ල පළ කළේ මෙලෙසිනි.

'හොඳ හිත' නමින්, බහුදින ධීවර යාත්‍රා කීපයකම හිමිකරුවකු වන විජයසිරි, ගාල්ල සහ හික්කඩුව ධීවර වරායන්ගෙන් ලින්නා මසුන් මිලදී ගන්නා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. එමෙන්ම,'ටෙස්' ටින් මාළු කර්මාන්තශාලාව වෙත මසුන් සැපයීමේ ප්‍රමුඛයකු ලෙස ද කටයුතු කරයි.

" අපි ධීවර කර්මාන්තයේ යෙදී ඉන්නේ, අපේ අත්තා මුත්තා කාලයේ පටන්. අපේ, විල්මට් සිල්වා පරම්පරාවේම බහු දින යාත්‍රා තිහ හතළිහක් ම ධීවර කර්මාන්තයේ යෙදී සිටිනවා. විශේෂයෙන් මේ පළාතේ ජාඩි කර්මාන්තය රැඳී තිබුණේ අපේ පරපුරේ මිනිසුන් අතේ. නමුත් දැන්, ජාඩි කර්මාන්තය කියා දෙයක් ඉතිරි වී නැහැ. රටින් කරවල , උම්බලකඩ, ටින් මාළු විතරක් නෙවෙයි, මාළු ටිකත් ගෙන්වන්න ගත්තට පස්සේ, අපේ මාළුවලට මිලක් නැති වුණා. මිනිස්සු හුඟ දෙනෙක් කර්මාන්තය අත්හැරියා. දැන් දේශීය ටින් මාළු කර්මාන්තය සඳහා මාළු සපයන නිසා තත්ත්වය ටිකක් යහපත් අතට හැර වුණා. නමුත් දැන් ටින් මාළු දිගින් දිගටම පිට රටින් ගෙන්වීමෙන්, අපි ආපහු කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් උදා වී ගෙන එනවා.

ඒ වගේම, ඉස්සර දොඩන්දූව කියන්නේ සශ්‍රීක වරායක්. අද ප්‍රශ්න ගොඩක් තියෙන තැනක්. මේ දොඩන්දූව, අංගසම්පූර්ණ ධීවර වරායක් කළා නම් ඇති වී තිබෙන මේ බෝට්ටු තදබදය අඩු වෙනවා. එහෙම කළොත්, වැඩි දෙනකුට බහුදින ධීවර යාත්‍රාවලින් මුහුදු යන්න අවස්ථාව ලැබෙනවා. දැන් මාළු අස්වනු හොඳයි. සමාගම හොඳ මිලකට අපෙන් මිලදී ගන්න නිසා, ධීවර පවුල් විශාල ප්‍රමාණයකගේ ආර්ථිකය යහපත් වී තිබෙනවා.

නමුත්, හික්කඩුව, දොඩන්දූව, රජ්ගම, අම්බලන්ගොඩ සහ ගාල්ල වරායන් තුළ පමණක් බහු දින ධීවර යාත්‍රා 2000ක් තිබෙනවා. මේ විදියට දිගින් දිගටම, ටින් මාළු පිටරටින් ගෙන්වන්න ගියොත්, දේශීය ටින් මාළු කර්මාන්තය කඩා වැටෙනවා. එතකොට, අපි අපේ මාළු අස්වනු දෙන්නේ කාටද ...?

මේ ධීවර කර්මාන්තයට අදාළව, යාත්‍රාවල කුලී පදනමින් සේවය කරන අයගේ සිට දැල් වියන, අයිස් සපයන... ආදී වශයෙන් කර්මාන්තය වටා ගොඩනැගුණු අමතර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මේ තත්ත්වය තුළ අහිමි වී යනවා. මත්ස්‍ය ආහාර ලෙස මෙරටට ගෙන්වන දේ අතරින් වැඩිම විදේශ විනිමයක් වැය වන්නේ ටින් මාළු සඳහායි.දේශීය ටින් මාළු කර්මාන්තයට ගැළපෙන ලින්නා කියන්නේ, දකුණු මුහුදු තීරයේ බහුලව අහුවන, රසයෙන් සහ ගුණයෙන් අනූන මාළු විශේෂයක්.

ජනාධිපතිතුමා , ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා සැලසුම් හදන්න කියා තිබියදීත්, තවම ඒ පිළිබඳ අවධානය යොමු නොකර, පරණ විදියටම කාරණා සිද්ධවෙන එක ගැන අපිට තියෙන්නේ දැඩි කණස්සල්ලක්. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ටින් මාළු ගෙන්වීම ටික කලකට හෝ අත්හිටුවා, මේ කර්මාන්තය දියුණු කිරීමට මැදිහත්වන ලෙසයි..."

දේශීය සැමන් කර්මාන්තය වෙත මසුන් සපයන, කුඩාවැල්ලේ තවත් සැපයුම්කරුවකු වන, ආර්. විජේසූරිය දැක්වූයේ මෙවැනි අදහසකි.

" ලංකාවේ ලින්නා මසුන් බහුලවම ගැවසෙන්නේ, මේ දකුණු දිග මුහුදු තීරයේ. මේ පළාතේ ධීවර ජනතාවගේ හොඳම ආදායම් මාර්ගය තමයි, ලින්නා මසුන් දේශීය සැමන් කර්මාන්තය වෙත සැපයීම. ඒ නිසා, මේ ප්‍රදේශයේ ජන ජීවිතයට මේ කර්මාන්තය ඉතාමත් වැදගත්.

ඇතැම් විට, ටින් මාළු ගෙන්වීම සීමා කළත්, ලංකාවේ දී ටින් කිරීම සඳහා, මාළු ආනයනය කිරීමත් සිදුවනවා. අප කියන්නේ, මේ දෙක ම නතර කළ යුතු බවයි..."

බොහෝ කලක් පිටරට රැකියාව කළ ඔහු, දැන් තමන්ගේ රටේ හිඳ ධීවර කර්මාන්තයට අදාළව, ටින් මාළු කර්මාන්තශාලා සඳහා මසුන් මිලදී ගැනීමේ යෙදී සිටින්නේ, එහි ඇති යහපත් ආර්ථික තත්ත්වය නිසාය.

" මම පිටරට රැකියාව අත් හැර මේ කර්මාන්තයට යොමු වුණේ, එහි තියෙන ආර්ථික යහපත්කම නිසා. එහෙම හොඳ ඉල්ලුමක් තියෙන අපේ රටේ කර්මාන්තයක් තමයි, දැන් මේ සීමාවක් නැතිව පිටරට දේ ගෙන්වන්න අරන් නැති වෙලා යන්න හදන්නේ. මේ පළාතේ හුඟක් අය, සැමන් කර්මාන්තශාලා සඳහා මාළු සැපයුම් කොට ජීවත් වනවා.

මේ ටින් මාළු ගෙන්වීම නතර නොකළහොත් මේ සෑම කෙනෙකුගේම ජීවිකාව අහිමි වෙලා යනවා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා..."

ඔහු මෙන්ම, කුඩාවැල්ල සහ දකුණු දිග තීරයේ බොහෝ ධීවර සැපයුම්කරුවන් මේ වන විට මුහුණ පා ඇති පොදු ගැටලුවක් වන්නේ, මත්ස්‍ය අස්වනු බහුල වුවත්, දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් සිය අස්වනු මිලදී ගැනීම අඩු කර තිබීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ, කේ.එච්. ජනිත් පැවසුවේ මෙවැන්නකි.

" ගිය අවුරුදුවලට සාපේක්ෂව, මේ වසරේ අපේ මාළුවලට හොඳ ඉල්ලුමක් නැහැ. හොඳ මිලකුත් නැහැ. ඒත්, ලංකාවෙ මිනිස්සු මොන තරම් සැමන් කනවද... එහෙම බලද්දි,සැමන් නිෂ්පාදනය කියන්නේ, කවදාවත් කඩා වැටෙන්නේ නැති කර්මාන්තයක්. තව තවත් සැමන් ෆැක්ටරි ලංකාවේ ඇති වෙනවා නම් තමයි, අපිත් කැමති. මොකද එතකොට අපේ මාළු අස්වනුවලට හොඳ මිලක් ලැබෙන නිසා. මේක සුළුවෙන් තකන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ආර්ථිකයට වගේම, ධීවර ප්‍රජාවගේ ජීවිකාවට සහ ආර්ථිකයට ඍජුව බලපාන ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා දුන් නියෝග ක්‍රියාත්මක කොට, මේ ප්‍රශ්නය විසඳන්න දැන් හොඳටම වෙලාව ඇවිත්..."

මෙරට ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති, ශිරාන් ප්‍රනාන්දු පැවසුවේ, කොවිඩ් -19 බලපෑම හේතුවෙන් ලොව බොහෝ කර්මාන්තවලට හානි සිදුවී ඇති මෙවැනි මොහොතක, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවලින් ආපසු පැමිණෙන්නේ, රැකියා විරහිතයන් ලෙස බවයි.එමෙන්ම, ටින් මාළු කන්ටේනරයක් ශ්‍රී ලංකාවට ගෙන්වන ගාණේ, ක්‍රම ක්‍රමයෙන් ධීවර ජනතාව ද එම රැකියා විරහිතයන් ගොඩට එක් වන බවයි.

දේශීය ටින් මාළු නිෂ්පාදනය වැඩි වන්නේ නම් ටින් මාළු කර්මාන්තයට අදාළ, ටින් නිෂ්පාදනය, ලේබල් මුද්‍රණය, ලුණු සැපයීම... ආදී, ඒ හා බැඳුණු රැකියා රැසක් සුරක්ෂිත වන බවද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම තත්ත්වය තුළ, දේශීය ටින් මාළු නිෂ්පාදකයන්, ධීවරයන් 600,000 කට අධික සංඛ්‍යාවක ගේ ජීවිකාව සහ මිලියන 1.5 ක් ලේබල්, ලුණු, හිස් කෑන් ආදිය ඇතුළු සෑම දෙයක්ම දේශීයව මිලදී ගන්නා බැවින්, මේ රටේ තවත් කර්මාන්ත නඟා සිටුවීම උදෙසා ද සහය වේ. එමෙන්ම, එවිට ඔවුන්ගේ මසුන් සඳහා ඉහළ මිලක් ගෙවීමේ හැකියාවද ඇති අතර, එමඟින් ඔවුන්ගේ මසුන් ඇල්ලීමේ ධාරිතාව ඉහළ නැංවීමට හැකි වේ.

එමඟින් අපගේ මුහුදු තීරයේ මත්ස්‍ය අස්වනු සොරකම් කරන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාකරුවන්ගේ ගැටලුව ද ස්වයංක්‍රීයව විසඳනු ඇත.

" මිනිසුන්ගේ ලොකුම දිරිගැන්වීම වන්නේ, මුදල්. ධීවරයාට හොද මිලක් ලබා දීමෙන් ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවෙනවා.එවිට, දැල්, බෝට්ටු වැනි ධීවර ආම්පන්න ඔවුන්ටම මිලදී ගත හැකියි.

තායිලන්තය වැනි අනෙකුත් සාර්ථක රටවල් මෙන් මෙම කර්මාන්තය දියුණු කර ගැනීමට නම්, අපේ රටේ හදන අපේ ටින් මාළු,සතොස සහ ත්‍රිවිධ හමුදාව වැනි රාජ්‍ය ආයතන සඳහා අනිවාර්ය කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට වඩා, ඉතා කුඩා මුහුදු ස්කන්ධයක් ඇති තායිලන්තය ලොව ටින් මාළු අපනයනය කරන 4 වැනි විශාලතම රට බවට පත්ව ඇත්තේ, තමන්ගේ රටේ දේ, අගය කරන්නට ප්‍රවර්ධනය කරන්නට දායක වීමෙන්.

අපේ රටෙත් දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නම්, ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ද ටින් මාළු අපනයනය කරන රටක් බවට පත් කරන්නට අපට පුළුවන්... ”

ශිරාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ය.

ඡායාරූප විමල් කරුණාතිලක

Comments