හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

විවාහය නම් කල් දාන්නෙම නැහැ

ප්‍රකට දකුණු ඉන්දීය නිළි කාජල් අග්‍රවාල් ඇගේ ව්‍යාපාරික පෙම්වතා ගෞතම් කිච්ලු සමඟ ළඟඳිම විවාහ වෙන්නලු යන්නේ. ඔක්තෝබර් 30 වැනිදා මේ දෙපළ විවාහ වෙන බවට කාජල් ඔන්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා. වසර දෙකක් පුරාවට පෙම්වතුන්ව සිටි කාජල් -ගෞතම් පසුගිය අගෝස්තු මාසේ කාටත් හොර රහසේ විවාහ ගිවිසගෙන තිබුණා. විවාහ උත්සවයත් පවුලේ අය සමඟ බොහොම චාම් විදියට ගන්නයි කාජල් ගේ බලාපොරොත්තුව, කොරෝනා වසංගතය නිසා අවුල් සහගත තත්ත්වයක් මතුව තිබුණත් විවාහය කල් දමන්න නම් කිසිම අදහසක් හෝ කැමැත්තක් නැති බව කාජල් විශේෂයෙන්ම කියා තිබුණා.

 

 

වීදි පුස්තකාලෙට කැමැති නම් පොතක් එවන්න

ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා ඇතුළු තවත් කලාකරුවන් කිහිප දෙනකුගේම සහභාගීත්වයෙන් ඔන්න අලුත් වගේම ගොඩක් හොඳ වැඩක් පටන් අරන්. ලංකාව පුරාම වීදි පුස්තකාල ඇති කිරීම තමයි මේ කට්ටිය එකතු වෙලා කරන අලුත්ම සමාජ සත්කාරක ව්‍යාපෘතිය. මේ ක්‍රමය පිටරටවල්වල ජනප්‍රිය වුණත් ලංකාවට මේ දේ තවම අලුත්. ඔන්න ඉතින් බොහෝම ඉක්මනින් මේ වැඩේ ළඟදිම ලංකාවේ විවිධ පැතිවලින් ආරම්භ කරන්න මේ දිනවල කටයුතු කරගෙන යන බවයි නයෝමි කියන්නේ. මේ වෙනුවෙන් පොත් පරිත්‍යාග කරන්න තවමත් හැමෝටම අවස්ථාව තියෙන බවත් ඇය කිව්වා.

 

 

මැටි පිටිවල රජු

සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් පසුගියදා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගන්න සමත් වුණා. මේක නඩාල් ගේ 20 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි. මේවන විට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනා සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් දිනා සිටින ශූරතා 20ක වාර්තාව සමකරන්නට නඩාල් මේ කිරුළත් සමඟ සමත් වුණා. නඩාල් මේ වනවිට ලොව හොඳම ටෙනිස් ක්‍රීඩක ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ පසු වන අතර අනු ශූරතාවය දිනූ සර්බියාවේ නොවැක් ජොකොවික් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටිනවා. මැටි ටෙනිස් පිටිවලදී දස්කම් පාන්න වඩාත් දක්ෂ නිසාම නඩාල්ට 'මැටි පිටි වල රජු' යනුවෙන් අන්වර්ථ නාමයකුත් බැඳිලාලු.

 

අම්මා වගේම දුවත් ලස්සනයි

මෝස්තර නිරූපිකාවක සේම නවක නිළියකදවන ඕෂධී හිමාෂාගේ දැන් කාලය වැඩිපුරම ගත වෙන්නේ ඇගේ පුංචි දියණියත් සමඟම ලු. ඉතින් පසුගියදා පුංචි දියණියගේ උපන්දිනයත් ඕෂධී සහ සැමියා එක්ව හරිම අපූරුවට සමරලා තිබුණා. ඒ වෙනුවෙන් නොසිතූ සුබ පැතුම් ගණනාවක්ම ලැබී තිබුණු අතර ඒ බොහොමයක් සුබ පැතුම්වල ලියැවිලා තිබුණේ අම්ම වගේම ලස්සන දුවෙක් කියලයි. ඉතින් මේ උපන්දින සාදෙට කලින් සිය දියණිය වෙනුවෙන් ඕෂධී ඇගේ සැමියාත් පුංචි දුවත් එක්ක පන්සල් ගිහින් ආගමික කටයුතුවල නියැළෙන්නත් අමතක කර තිබුණේ නැහැ.

 

 

නර්තන ලෝලීන් වෙනුවෙන් නව ඇරැඹුමක්

නර්තන රියැලිටි වැඩසටහන් හරහා ප්‍රෙක්ෂක ජනාදරයට පත් විශ්ව සංඛනාත් නර්තනාචාර්යවරයෙක් ලෙසත් තරුණ පරපුර අතර දැන් බොහෝම ජනප්‍රියත්වයක් දිනා සිටිනවා. ඉතින් විශ්වගෙන් නර්තනය හැදැරීමට කැමැත්තෙන් බලන් හිටපු කන්ද උඩරට නර්තන ලෝලීන් වෙනුවෙන් Eewose Ultimate Dance school නමින් නර්තන පාසලක් පසුගියදා විවෘත වුණා.

විශ්වගේ අලුත් නර්තන පාසලෙන් බටහිර නර්තනය පමණක් නෙවෙයි උඩරට, පහතරට නර්තන සම්ප්‍රදාය, භරත, කතක් වැනි භාරතීය නර්තන සම්ප්‍රදායන්, කර්ණාටක සංගීතය වගේම කරාටේ පුහුණුව, යෝගා අභ්‍යාස, අධික තරබාරුව මඟ හරවා ගැනීමට උපකාරී වන Kalimba නර්තන යෝග්‍යතා ද හදාරන්න පුළුවන්. මෙම පාඨමාලා සඳහා වයස් සීමාවක් හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සහභාගී වෙන්න පුළුවන් බවත් විශ්ව අපට පැවැසුවා.

 

Comments