මිනිස්සු මාධ්‍ය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්... | සිළුමිණ

මිනිස්සු මාධ්‍ය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්...

අපි අද නවීන තාක්ෂණික ලෝකයක හිටියට අපේ චින්තනය නවීන වෙලා නෑ

ප්‍රේක්ෂකයාට ගරු නොකර කලාකරුවකුට පවතින්න බෑ

‘සත්‍යා‘ ටෙලි නාට්‍ය මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වෙනවා... වෙනස් ආරක නිර්මාණයක්වන එහි අධ්‍යක්ෂවරයා වන්නේ චරිත් අබේසිංහයි. මේ ඉඩ හසර වෙන් වන්නේ ඔහුගේ වත්මන් කලා භාවිතය වෙනුවෙන්... චරිත් කතාවට ප්‍රවේශය ගන්නේ සිය නිර්මාණ ජීවිතයේ සමස්ත අත්දැකීම් කැටි කර ගනිමින්.

“නිර්මාණ කරුවෙක් ලෙස මගේ නිර්මාණ අභිලාෂය ගැන කියනවා නම් ඇත්තටම මම නිදහස් නිර්මාණ කරුවෙක්. රාමුවක සිරවෙන්න අපේක්ෂා නොකරන නිර්මාණ කරුවෙක්. වාණිජ නිර්මාණ කරන අන්තයක හෝ කලාත්මක නිර්මාණ කරන අන්තයක මම නෑ. ‘සත්‍යාට‘කලින් මම ‘ගැමුණු මහරජ‘ ටෙලි නාට්‍යය කළා. ‘මිණිගං දෑල‘නිර්මාණයත් ඉතිහාසයේ එක් කාල වකවානුවක රූපණයක්. නමුත් ‘සත්‍යා‘ වෙනස් අත්දැකීමක්. මගේ කලින් නිර්මාණ නැරැඹූ අය මේ නිර්මාණය පිළිබඳ වෙනස් විදිහටම හිතන්න පුළුවන්. සමහර විට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ වගේම මා එක්ක අලුත්ම ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙන්නත් පුළුවන්. “

ඒ කියන්නෙ ඔබ ඔබේ ප්‍රේක්ෂකයා ගැන තැකීමක් නැද්ද? අප චරිත්ව විමසුවා. “එහෙම නොවෙයි. ප්‍රේක්ෂකයට ගරු නොකර කලා කරුවකුට පවතින්න බෑ. එහෙත් ඔහුගේ වගකීම වන්නේ රසිකයාගේ පරිකල්පනය පුළුල් කිරීමයි. බොහෝ වෙලාවට පොදු ප්‍රේක්ෂකයා කැමතියි රාමුවක ඉන්න. ඒ රාමුවට අපේ නිර්මාණයත් දාගන්න ඔවුන් කැමතියි. ඒත් නිර්මාණ කරුවෙක් එතන සිරවිය යුතු නෑ. නිර්මාණකරුවෙක් නිදහස් පුද්ගලයෙක් විය යුතුයි. ඒ නිදහස නැති කළොත් ඒ නිර්මාණකරුවා සමාජයට අහිමි වෙනවා.“

ඔහුගේ මුල් කාලීන නිර්මාණ ජීවිතය ගොඩනැඟුණු අතීතය වෙතද අප ඔහු රැගෙන ගියා..

"මගේ මුල් කාලීන නිර්මාණ අතර හාස්‍යෝත්පාදක නිර්මාණ තිබුණා. ලංකාවේ හාස්‍යෝත්පාදක නිර්මාණ ගැන යහපත් ආකල්පයක් ගොඩනැගී නෑ. මේ රාමුව ඇතුළට කොටු වුණාම ඉන් මිදෙන්න අමාරුයි. මුල් කාලෙ මමත් හිතුවා මට ඉන්නේ කොමඩි ඕඩියන්ස් එකක් කියලා. නමුත් එහෙම නොවී වෙනස් නිර්මාණ කරන්න මං උත්සහ කළා. ප්‍රේක්ෂකයන් ඉල්ලන නිර්මාණම අපි කරන්න යෑම එක් අතකට ඔවුන්ටත් කරන අසාධාරණයක්...“

අද ටෙලි නාට්‍ය කලාව ගැන ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් චෝදනා නැඟෙනවා. නිර්මාණකරුවන් කිසියම් වගකීමක් ගන්න වෙනවා තම නිර්මාණාත්මක පසුබිම ආරක්ෂා කරගැනීමට. ඒ ගැන ඔහුගේ මතය කුමක්දැයි විමසන්න අවශ්‍ය වුණා..

" මේ සිස්ටම් එක ඇතුළෙ ඒක තරමක අභියෝගයක්. අපේ රටේ ටෙලිවිෂන් නාළිකා වර්ග දෙකක් තියෙනවා. එක්තරා කොටසක් ටෙලිවිෂන් කලාව කරන්න උත්සාහ කරනවා. අනෙක් කොටස ටෙලිවිෂන් බිස්නස් එක කරනවා. නිර්මාණ කරන්න උත්සාහ කරන අයයි, ව්‍යාපාර කරන්න උත්සාහ කරන අයයි ටෙලි නාට්‍ය කරුවන් අතරත් ඉන්නවා. අපි ටෙලි නාට්‍යයක් නාළිකාවකට අරන් ගියහම එය විකාශය කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ඔවුන්.

විකාශ කාල සීමාව තීරණය කරන්නෙ ඔවුන්. ඔවුන් නියම කරන වෙලාවට තමයි ටෙලි නාට්‍යය බලන්න ඕන. මේ තත්ත්වය ඇතුළේ මිනිසුන්ට හොඳ නිර්මාණයක් බලන්න ඉවක් ඇති කිරීම ලෙහෙසි නැහැ වගේම මිනිස්සු මාධ්‍යවල කාල සටහන් ඇතුළෙ හිරවෙන්න කැමැත්තකුත් නෑ. ඒ නිසාම මිනිස්සු දැනටමත් රූපවාහිනි නාළිකා ප්‍රතික්ෂේප කරනවා. තමන්ට පහසු වෙලාවක අන්තර්ජාලයෙන් ටෙලි නාට්‍ය බලන ප්‍රමාණ වැඩි වෙලා තියෙනවා.

මේ මාධ්‍යවල අධිකාරී බලය බිඳ වැටි ගෙන යන කාලයක්. මේ බිඳ වැටීම නිර්මාණ කරුවන්ට යහපත් නිර්මාණ කරන්න පෙලඹවීමක් ඇතිවන පරිසරයක් හදන්න පුළුවන්. නිර්මාණකරුවොත් කැමැති ඇති හොඳ නිර්මාණ කරන්න. ඒත් ඔවුන් ටෙලිවිෂන් බිස්නස් එකට අහු වෙලා. “

තරුණ නිර්මාණකරුවකු විදිහට ඊළඟ පරම්පරාව පිළිබඳ දරන අදහස අපි ඔහුගෙන් ඇහුවා. "ඒ ගැන නම් මට තියෙන්නෙ තරමක කම්පාවක්. අපේ දරුවන්ව සාහිත්‍යයට යොමු කරන පසුබිමක් අපි දකින්නෙ නෑ. දරුවාට අහිමි වෙන සාහිත්‍ය රසය ගැන හෝ පරිකල්පන ලෝකය අහිමි වීම ගැන මාපියන්ට අවබෝධයක් නැහැ. ඔවුන් අධ්‍යාපනය කියලා කුමක්දෝ දෙයක් තුළ යන්ත්‍ර කරලා.

දරුවෙක්ගෙ දක්ෂතා, කලාත්මක හැකියා තක්සේරු වන්නෙත් රූපවාහිනී නාළිකාවකට අවශ්‍ය වෙළෙඳ ව්‍යාපාර හැටියට. ඒ දරුවන් එවැනි වැඩසටහන් වලින් විනාශ වෙලා යනවා මිසක් ඔවුන්ගෙ අනාගත නිර්මාණ ජීවිතයට එයින් අලෝකයක්, පදනමක් ලැබෙන්නෙ නෑ.

මොකද හැම අවුරුද්දෙම වැඩසටහන් වලින් එන අය පරණ වෙනවා. අලුත් අලුත් අය ඒවාට එකතු වෙනවා. ඉතින් කවදාවත් මේ කුඩා පැළ ගස් බවට පත්වෙන්න නෑ. මේ සියල්ල හරහා අප කරලා තියෙන්නෙ අපට නොදැනිම අපේ සංස්කෘතික ජීවිතය අහිමි කර ගැනීම. දියුණු සංස්කෘතික ජීවිතයක් අහිමි ජාතියක් රටක් විදිහට දියුණුව කරා යන්නේ නැහැ. අපි දිළින්දන් බවට පත් වන්නේ රසවින්දනය පැත්තෙන් පවා අපි දරිද්‍රතාවක පත්ලේ සිටීම නිසයි. මේ තත්ත්වය සමාජයක් ලෙස පවත්වාගත යුතු නෑ.

“අපේ රසිකත්වය පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවරසිකත්වය ගොඩ නැගෙන්නෙ සමාජ කාරණා ගණනාවක් එක්ක. ඒ චක්‍රය තුළ බිහිවෙන නිර්මාණකරුවන් ගැඹුරු පරිකල්පනයන් නැති තාක්ෂණ ශිල්පීන්. එදා සයිමන් නවගත්තේගමලා, මහගම සේකරලා, ගමෙන් ගියත් නවීන චින්තනයක් තිබ්බ මිනිස්සු. ඔවුන්ගෙ නිර්මාණ පූර්ණත්වයට, ලෝක සාහිත්‍ය ප්‍රවණතාවලට යොමු වීමට ඒ අයගෙ චින්තන අවකාශය බලපෑවා. අපි අද නවීණ තාක්ෂණික සමාජයක, ලෝකයක හිටියට අපේ චින්තනය නවීන වෙලා නෑ. ඒ හිඩැස නිර්මාණකරුවන් ලෙස අප පුරවාගත යුතුයි. යහපත් සමාජයක් ගැන හිතන්න පුළුවන් වෙන්නෙ ඉන් පසුයි.

Comments