දෙලොවම සැප විඳින ධනවතකු වන්න | සිළුමිණ

දෙලොවම සැප විඳින ධනවතකු වන්න

විවෘත ආර්ථික රටාව තුළ මිනිසාගේ මූලිකම පරමාර්ථය ධනය වේ. ධනය සෙවීමට මිනිසා නොකරන දෙයක් නැති තරම්ය. මේ කොයි හැටි වෙතත් ධන හිමියකු වීමට තම දෛවය බලපාන බව නම් රහසක් නොවේ. කෙනකු උපදින විටම ධනවතෙකි. තවත් කෙනකු කාලයක් ගැහැට විඳ ධනය උපයා ගත්තෙකි. තවත් විටෙක ඔහු හෝ ඇය ජීවිත කාලයම දිළින්දෙකි. ඒ අතර සැමදා ධනය ඇති අයද නැතිවා නොවේ. මේ පිළිබඳ ජ්‍යොතිෂයේ ඇති විග්‍රහය පිළිබඳ අප අද අවධානය යොමු කරමු.

 

ධනය ගැන කියැවෙන විට කේන්ද්‍රයේ 02,09 සහ 11 වැනි කොටුව මූලික වෙයි. 2 වැන්න ධනස්ථානය ද 09 වැන්න පුණ්‍ය ස්ථානයද 11 වැන්න අයස්ථානයද වෙයි. කෙනකු උපතින්ම හෝ කාලයාගේ ඇවෑමෙන් ධනය උපයා ගන්නකුද, ඔහු ස්ථිරත්වයට පත් වීම 2 වැන්නේ හා පෙර පිං පවු අනුව මෙලොවදි හිමි වන ධනය 09 වැන්නෙන්ද, වෘත්තීමය වශයෙන් රැකියා ව්‍යාපාර කරමින් තම ස්වඋත්සාහයෙන් උපයා ගත් ස්ථිර ධනයක් පිළිබඳ 11 වැන්න ද කියවෙයි.

ඒ අනුව කෙනකුගේ ලග්නය මේෂ යයි සිතමු. එම කේන්ද්‍ර හිමියාගේ 2 වැන්න අයත් රාශිය වෘෂභයයි. 9 වැන්න හිමි රාශිය ධනුවයි. එහිම 11 වැන්න කුම්භයයි. ඒ අනුව මේෂ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ සිකුරු 2 වැන්නේද ගුරු 9 වැන්නේද සෙනසුරු 11 වැන්නේද පිහිටි කල ඔහු සැම අතින්ම පෙර පිං මහිමයෙන් යහපත් රැකියා ලබා ස්ථිර ධනයකට හිමිකම් කියන්නෙකි. තවද එම මේෂ ලග්න හිමියාගේම කේන්ද්‍රයේ එම ග්‍රහ යෙදුම් නොමැති වුවද 02 - 09 - 11 යන ස්ථානවලට රවි - සඳු - බුධ - ගුරු - සිකුරු යන සුබ ග්‍රහයන් 01 - 04 - 07 - 10 හෝ 05 වැන්න යන ස්ථානයක සිට දෘෂ්ටි හෙළනවා නම් එයද යහපත් ධන සම්පත් හිමි අයකු බව පෙනෙන්නට ඇත. ඒ අනුව මේෂ - වෘෂභ ආදි ලග්න දොළසටම මෙසේ බලපාන ග්‍රහ යෙදුම් පිළිබඳ විග්‍රහ කිරීමේදී ඒ ඒ ලග්නවලට අනුව ධනයෝග පිළිබඳ දැන ගැනීමට හැකිය.

තවද 02 - 09 - 11 යන ස්ථානවලට කුජ - රාහු - කේතු ආදි ග්‍රහයන්ගේ දෘෂ්ටි යොමු වීම නිසා ධනය හිමි වන අවස්ථා උදා වෙතත් එය අයථා මාර්ගවලින් එසේත් නැතිනම් අයහපත් වෙළෙඳ ව්‍යාපාර, අන් සතු ධනය පැහැර ගැනීම් හෝ කිසියම් වංචනික කටයුතු කෙරෙන් හිමි කර ගත් ඒවා ද වෙයි. එබඳු ධන සම්පත් යම් කිසි දිනෙක පාරා වළල්ලක් බවට පත් වෙමින් තමාටම දඬුවම් දෙන ස්වභාවයක් උසුලනු ඇත. පෙර කී පරිදි 02,09,11 වැනි ස්ථාන කෙ‍රේ යොමුවන ග්‍රහ තත්ත්වයක් ස්ථිර සාර දිවියකට පෙරමං සලසනු ලබයි. සමහර පවුල්වල දරුවන් තම මාපියන්ගේ ධනය බූදලය අනිසි ලෙස පරිහරණය කරමින් විනාශ මුඛයට යයි. තවත් සමහර දූ පුතුන් තම මාපියන් නිකරුණේ නාස්ති කරන ධනය බූදලය හරිමඟට යොමු කර සකසුරුවම්ව පරිහරණය කරයි. මේ සියල්ල කෙනකුගේ දෛවය අනුව සිදුවන බවට නම් කිසිඳු සැකයක් නැත. ධනයට තම දෛවය බලපාන්නා සේම. විටෙක කොතෙකුත් වටිනාදේ තමා ඉදිරියේ තිබුණත් එහි පල ලබන්නට පිං නැති වීමද දෛවයේ සරදමක් නොවන්නේ ද?

ජ්‍යොතිෂය මැනවින් ප්‍රගුණ කරන විට එහි පර්යේෂණ පැත්ත දියුණු කර ගැනීමට උනන්දු වන ජ්‍යොතිෂවේදියා සමාජයට සාර්ථක ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට සමත් වෙයි. කේන්ද්‍ර පිටපත් සිය දහස් ගණනක් පරීක්ෂා කරන විට ඉබේටම පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන විවිධ ග්‍රහ යෙදුම් පිළිබඳ දැක ගන්නට ලැබෙයි. මෙලෙස යාචකයන් පිරිසකගෙන් අසා දැනගත් උපන් දින අනුව සකසාගත් කේන්ද්‍ර පිටපත් අනුසාරයෙන් දැන ගන්න ලැබුණෙත් ලංකාවේ ප්‍රබලම ධනයෝග ඇති අය අතර යාචකයන් වැඩි පිරිසක් සිටින බවයි. ඊට හේතුව මාස් පඩි ගන්නා (මාසික වේතනය) අය කොපමණ උසස් වේතනයක් ගත්තත් එයට මාසයක් බලා සිටිය යුතු වූවත් එවන් යාචකයකු මොහොතකට එක බස් රථයකට ගොඩ වුවහොත් දෝත පුරා මුදල් ලැබෙන බවයි. ඒ අනුව ඔහු හෝ ඇය දිනකට බස් රථ දහයකට පහළොවකට ගොඩ වෙද්දි දිනකට රුපියල් හත් අට දහසක මුදලක් උපයයි. එවැනි යාචකයන්ගේ කේන්ද්‍රයේ ක්ෂණික ධනයෝගයක් තිබිය හැකි වූවත් කරුමයකට මෙන් උපයන මුදල ආරක්ෂා කර ගැනීමට පින් නැතිකමෙන් නැවත සිඟමනට වැටී අපා දුක් විඳී. ඒ සඳහා ද අසුබ ග්‍රහ දෘෂ්ටියක් එම කේන්ද්‍රයේ ම තිබෙන බව එබඳු කේන්ද්‍ර මඟින් විද්‍යාමාන වනු ඇත. ධනය ඇතත් එහි පල නොලබා නිකරුණේ මිය යන අය අප අතර කොතෙකුත් වෙති. ධනය නැතත් සුරසැප විඳින අනුන්ගේ පහනින් එළිය බලන්නෝ ද අප අතර කොතෙකුත් වෙති. මේ අනුව බලන විට මෙම විශ්වයේ පවතින ග්‍රහ දෘෂ්ටි ග්‍රහ යෙදුම් මිනිසාට කෙබඳු අයුරින් බලපානවාද යන්න දෛවය අනුව එය සිදුවන අයුරු දැක බලා ගැනීමට හැකිවෙයි. ඒ නිසා අදහන ධර්මයට අනුව මෙලොවට මෙන්ම එලොවට ද සුදුසු ධනවතකු වීමට පින් පුරමු.

Comments