ජනප්‍රිය කියන සංකල්පයට මම එච්චර කැමැති නැහැ | සිළුමිණ

ජනප්‍රිය කියන සංකල්පයට මම එච්චර කැමැති නැහැ

මේ දවස්වල පොඩි ළමයි මාව දැක්කොත් කෑ මොර දෙනවා...

මම දැන් රංගනයට ගොඩක් ලෝබයි...

කාලෙන් කාලෙට මගේ ස්වරූපය වෙනස් කරගන්නවා...

 “මංහිතනවා මම වාසනාවන්ත නළුවෙක් කියලා. මොකද කෙටි කලක් ඇතුළත මට ලොකු පරාසයක් තුළ විවිධ චරිත රඟපාන්න ලැබුණා. ‘සංසාරණ්‍ය අසබඩ‘ ටෙලි නාට්‍යයේ ‘හේරතා‘ කියන්නෙත් ඒ වගේ චරිතයක්. ඒක මගෙ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය කියලා කියන්න පුළුවන්.“

අප සමඟ එහෙම කතාව පටන් ගත්තේ අජිත් ශාන්ත ය. ඔහු වඩාත් කැමැති චරිතාංග නළුවෙක් විදිහට තමන්ව හඳුන්වා දෙනවටයි. “අපි මහා ලොකු නළුවෝ නෙවෙයිනේ. තවම මේ ගමනේ පුංචි දුරයි ආවේ. මම චරිත බාර ගන්නේ ඒ චරිතය මට දැනෙනවා නම් විතරයි. චරිතයක් වෙනුවෙන් මගෙ බාහිර පෙනුම පවා වෙනස් කර ගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. එහෙම කැපකිරීමක් නොකර මේ වෘත්තීයේ නියැළෙන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ.“

මේ දිනවල විකාශය වන ‘මඩොල් කැලේ වීරයෝ‘ ටෙලි නාට්‍යයට ද අජිත් රංගනයෙන් දායක වෙයි. ඒ වගේම ‘බිම්බා දේවි නොහොත් යශෝධරා‘, ‘විජය බා කොල්ලය‘ ඇතුළු සිනමාපට රැසකට ද ඔහු රංගනයෙන් එක් වී ඇත.

“සුනිල් ආරියරත්න සර්ගේ සහාය අධ්‍යක්ෂ විදිහට ඉන්න විමල් දේශප්‍රිය මගේ එක කුස උපන් අයියා. නමුත් ඔහුට මම කවදාවත් කියලා නැහැ මාව සුනිල් සර්ගේ වැඩවලට ගන්න කියලා. දවසක් සර් මම ඉන්න නාට්‍යක් අහම්බෙන් දැකලා අයියාගෙන් ඇහැව්වලු "දේශා කවුද මේ නළුවා" කියලා. එතකොට තමයි අයියා කියලා තියෙන්නේ "ඔය මගේ මල්ලි" කියලා. මට සුනිල් සර්ගේ නිර්මාණවලට ඇරැයුම් ලැබෙන්නේ එහෙමයි“.

චරිතයක් රඟපාන්න පෙර ඒ ගැන පුළුල් අධ්‍යනයක යෙදෙන බව අජිත් සඳහන් කරයි.

“‘හේරතා‘ කියන්නෙත් එහෙම චරිතයක්. ඔහු නියෝජනය කරන්නේ වැඩවසම් යුගය. ‘හේරතා‘ට පණ පොවන්න කලින් මම ඒ කාලේ මිනිස්සුන්ගේ සොබාවය ගැන අධ්‍යනයක යෙදුණා. මුකුත් නොදැන ලොකේෂන් එකට ගියා නම් චරිතෙ ගැන කවුරුහරි දෙයක් ඇහැව්වත් මට උත්තර දෙන්න බැහැනේ.“

අජිත් මෙතුවක් රංගනයේ නියැළුණු චරිත අතරින් ඔහුට වඩාත් ප්‍රිය චරිතය ගැන යමක් කියන්නත් ඔහුට අවශ්‍ය විය.

“ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියාගේ “හිරු දහසක් යට“ ටෙලි නාට්‍යයේ ‘කළු අයියාට‘ මම හරි ප්‍රියයි. කළු අයියට හුඟක් ප්‍රතිචාරත් ලැබුණා. ‘අකඩවාරිය‘ නාට්‍යයේ ටිකිරාත් මට මේ වෙලාවේ මතක් වෙනවා.“

අජිත් රංගනයට පිවිසෙන්නේ ජනප්‍රියත්වය තකා නොවන බව ඔහු අප හා පැවසීය. රංගනයේ දී ඔහුට ඇත්තේ වෙනත් අරමුණකි.

“ජනප්‍රිය කියන සංකල්පයට මම එච්චර කැමැති නැහැ. මොනවා හෝ දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්නෙ. හුදෙක්ම චරිත පිපාසාව සහ මේ මගේ වෘත්තීය නිසා මම රඟපානවා. අනෙක මම කාලෙන් කාලෙට මගේ ස්වරූපය වෙනස් කරගන්නවා. කොණ්ඩේ කපනවා, වවනවා. රැවුලත් එහෙමයි. ඒ හැම දේම කරන්නේ මට ලැබෙන චරිතයට අනුගත වෙන්න. ඒ නිසා මිනිස්සු මාව හඳුනා ගන්නවා කොහොමත් අඩුයි. ඒත් මේ දවස්වල ‘මඩොල් කැලේ වීරයෝ‘ නිසා පොඩි ළමයි එහෙම මාව දැක්කොත් කෑ මොර දෙනවා.“

ඒ සියල්ල අතර අජිත් රංගන ක්ෂේත්‍රයට සපැමිණි මුල් යුගය ගැන කතා කරන්නටද අමතක නොකළේය..

“මම මුලින්ම කළේ නිශ්චල ඡායාරූපකරණය. මේ වෙලාවේ මගේ පියා එච්. එස්. ප්‍රේමචන්ද්‍ර මතක් කරන්නම ඕනේ. ඔහුගේ කලාවේ ඒ ආභාසය මතයි මම වැඩවලට එන්නේ. මුළින්ම ෆොටෝ ගත්තා. ඊට පස්සේ අංගරචනය කළා. ‘බට්ටි‘ ඇතුළු ටෙලි නාට්‍යය ගණනාවක මේකප් ආර්ටිස් විදිහට වැඩ කළා. තෙවනුව තමයි රංගනයේ පරිච්ඡේදය ඇරඹෙන්නේ. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස් දෙකක්. අදටත් මට මේකප් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩකරන්න කතා කරනවා. එහෙම වැඩවලට ගියාම දවස් ගණනාවක් ඒ නිර්මාණය තුළ ඉන්න ඕනේ. බැරිවෙලාවත් රඟපාන්න කතා කළොත් යන්න බැහැනේ. මම වේදිකාවෙත් ඉන්න නිසා එවාට යන්නත් බැරි වෙනවා. දෙයියන්ගේ පිහිටෙන් මට හොඳ චරිතවලට ඇරැයුම් ලැබෙනවා. ඒ නිසා මේකප් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ බාර ගත්තොත් මට ලැබෙන ඒ හොඳ චරිත අතහරින්න වෙනවා. මම දැන් රංගනයට ලෝබයි.

Comments