එක් වරක් හෝ දකි­න්නට ඇත්නම්... | සිළුමිණ

එක් වරක් හෝ දකි­න්නට ඇත්නම්...

 භික්ෂුන් වහන්සේලා ගීත ලිවීම අරුමයක් නොවේ. එය අපට අලුත් දෙයක් නොවන්නේ ඉතිහාසයේ පටන්ම ගද්‍ය මෙන්ම පද්‍ය සාහිත්‍යයට භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු දායකත්වය සුවිශාල වීමය. කෙසේ නමුත් එදාටත් වඩා අද නිර්මාණ ක්ෂේත්‍රයේ රැඳී සිටින භික්ෂූන් බුදුගුණ, සමාජ සාරධර්ම, ජාතික අභිමානය පිළිබඳ පමණක් නොව ආදරය විරහව පිළිබඳ ගී ලියන භික්ෂුන් වහන්සේලා අතර මෑතකදී අසන්නට ලැබුණ මේ ගීතය ලියා ඇත්තේ හඳුන්ගමුවේ ජිනානන්ද ස්වාමීන් වහන්සේය.

ප්‍රේමයක් හමු වන්නේ කොතැනදීදැයි කාට නම් කිව හැකි ද? ඒ හමු වූ ප්‍රේමය හඳුනා ගන්නා විදිහ, තේරුම් ගන්නා විදිහ කෙසේ කියන්න ද? ප්‍රේමයක් ඇති වූ විට ඒ හිත් ඇතුළේ ඇති සිතිවිලි එය විඳින ආකාරය කිව හැක්කේ කාට ද? එමෙන්ම ප්‍රේමයක් බිඳී ගිය විට ඒ දුක, ශෝකය, වේදනාව විරහව කියන්නට දන්නේ ද ඔවුන්ම පමණි.

එය එසේ වුවද කෙනකුගේ විරහව ඒ හා බැඳුණු දුක එහි දිග පළල කියන්න දන්නේ ඒ ගැන අත්දැකීම් ඇත්තවුන්මය. එහෙම වුණත් කෙනෙකුගේ අත්දැකීමක් අසා ඒ ගැන ලියන්නට සමත්, නිර්මාණකරුවෝ එදත් අදත් අපේ ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ සිටියහ. කුමා අත්තනායක ගයන ,

“වසන්තයේ මල් විකසිත වී

රොන්සුනු සුවඳයි පාවී එන්නේ

ඈත අතීතෙක මතකය සිහි වී

මා ඈතින් ඈතට ගෙන යන්නේ...“

මේ ගීතය ද එවැන්නකි. මින් පෙර තවත් ගීත කිහිපයක්ම රචනා කර ඇති හඳුන්ගමුවේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ ගීතය පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.

“ මීට වසර කිහිපයකට පෙර මම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අරලගන්විල ගම්මානයේ කුඩා ගමක වස් වැසුවා. ඒ ගමේ පරිසරය බොහෝම සුන්දරයි. මේ හිටපු කාලය තුළ ගමේ තරුණයෝ මා සමඟ බොහෝ හිතවත් වුණා. ඔවුන් ඔවුන්ගේ ජීවිත ගැන මා සමඟ කතා කළා. එක් තරුණයෙක් මට ඔහුගේ හිත් රිඳුමක් ගැන කිව්වා. ඔහු ඒ ගමේම තරුණියකට ආදරය කර තිබෙනවා. ඔවුන් ගමේ සුන්දර පරිසරයේදි ඇතැම් හැන්දෑවන් වල හමු වෙනවා. කතා බහ කරනවා. බොහෝම ළෙන්ගතුව ආදරෙන් බැඳිලා හිටපු ඒ දෙන්නාට වෙන් වෙන්න සිදු වෙනවා. එහෙම වෙන් වෙන්න සිදු වෙන්නේ තරුණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවකට යාම නිසා. තරුණයා බලාගෙන ඉන්නවා කොළඹ ගිය තරුණිය යළි පැමිණේවි කියලා. නමුත් ඇය යළි ගමට එන්නේ නැහැ. තරුණයාට ඇයව හමු වන්නේ නෑ. ඔහුට ඇය අමතක කරන්න බැරිව යනවා. හැම විටම ඔහුට ඇය සිහිවෙනවා. තරුණයා ඔය සිද්ධිය මා සමඟ පැවැසුවා හිත නිදහස් කර ගන්න වගේ. කාලය ගෙවිලා ගියා. මම ඒ ගමෙන් ආවා. මගේ හිතේ අර තරුණයා කියූ කතාව රැඳිලා තිබුණා. මම 2002 වසරේ මේ පද පෙළ ලිව්වා. ගායන ශිල්පි කුමා අත්තනායකව මම හඳුනනවා. ඒ ඔහු සමඟ භක්ති ගීත වැඩසටහන් ආදිය කර තිබෙන නිසා. මම ඔහුට මේ පද පෙළ පෙන්නුවා. ඔහු මෙය ගයන්න බාර ගත්තා.

හඳුන්ගමුවේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ පවසන්නාහ.

ප්‍රේමයක් බිඳී වෙන්වී ගිය පසු යළිත් ඇය ඔහු දකින්න ඕනේ නෑ කියා සිතුව ද එක් වරක් හෝ දකින්නට ඇත්නම් යැයි පෙම්වතුන් යටි සිතින් සිතන වාර ඇත. එය එදා මෙන්ම අද ද පෙම්වතුන්ගේ සිතුවිල්ලකි. කලක් තිස්සේ ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටින මේ ගායන ශිල්පියා ඔබ වඩාත් හොඳින් හඳුන්වන්නේ මේ ගීතයේ පද සිහි කළ විටය. අනූව දශකයේ ඔහු විසින් ගායනා කරන ලද “කඳු අතරින් උදේ හවා රිය සක පදවන මාගේ....එක හිත නැති මගේ හිතත් .. දහ අට වංගුව වාගේ“ ගීතය ගැයු කුමා මේ අලුත් ගීතය පිළිබඳ කියන්නේ මෙවැනි කතාවක්.

“මම පන්සල්වල බෞද්ධ වැඩසටහන්වලට සහභාගී වෙන්න යනවා. එහෙම ගිය ගමනකදි තමයි මම ජිනානන්ද ස්වාමීන් වහන්සේ හඳුනා ගත්තේ. උන් වහන්සේ මට ගීත කිහිපයක්ම ලියා තිබෙනවා. මා ගයා ඇති බොහෝ ගීත සංගීතවත් කර ඇත්තේ මගේ මිත්‍ර රංජන් තිලක් පීරිස්. “වසන්තයේ මල් විකසිත වී ගී පද මම රංජන්ට ලබා දුන්නා. ඔහු අපූරු තනුවක් ඊට යෙදුවා. මම බොහෝම කැමැත්තෙන් ගායනා කළ ගීතයක් තමයි මෙය. එයට බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාර දක්වනවා. මට එය සතුටක්." කුමා පවසන්නේය.

 

Comments