ඉඳිආප්ප වෙනස් ආරෙට | සිළුමිණ

ඉඳිආප්ප වෙනස් ආරෙට

උදෑසන ආහාරයට හෝ රාත්‍රි ආහාරයට පිළියෙල කරන ඉඳිආප්ප සමහර වෙලාවට ඉතුරු වෙන්න පුළුවන්. එහෙම වෙලාවකට ඉතුරු වුණු ඒ ඉඳිආප්ප ටික වීසි කරන්නේ නැතිව මේ කෑම ජාති හදලා බලන්න. එහෙම නැත්නම් වෙනදා හදන ඉඳි ආප්ප වෙනස් විදිහකට හදලා බලන්නත් පුළුවන්.

රුලං ඉඳිආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝප්පයක්

වතුර කෝප්ප 2ක්

ලුණු කුඩු තේ හැඳි 1/2ක්

පොල්තෙල් තේ හැඳි 1ක්

භාජනයක් ලිප තබා එයට වතුර දමන්න. වතුර උතුරන විට ලුණු සහ පොල් තෙල් එකතු කර මද වේලාවක් තබා දැන් ලිපෙන් ඉවතට ගන්න. එයට රුලං එක් කර ලී පත්තකින් හොඳින් කලවම් කරන්න. රුලංවල ඇට ගතිය නැති වී මෘදු පිටි ගුලියක් වන තෙක් හොඳින් කලවම් කරගන්න. දැන් හැන්දෙන් අනා ඉඳිආප්ප වංගෙඩියට දමා සාමාන්‍යයෙන් ඉඳිආප්ප සාදන අයුරින් සකසා ගන්න.

 

ඉඳිආප්ප බිරියානි

 

 අවශ්‍ය ද්‍රව්‍ය

ඉඳිආප්ප 50ක්

තම්බා ගත් ඉස්සො

තම්බාගත් ග්‍රීන් පීස් කෝප්ප බාගයක්

ගරම් මසාලා තේ හැන්දක්

මිරිස් කුඩු තේ හැන්දක්

කහ ස්වල්පයක්

කරදමුංගු 5ක්

කරාබුනැටි 6ක්

කුරුඳු පොතු කැබැල්ලක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4ක්

චොප් කරගත් ලොකු ලූනූ ගෙඩියක්

ඉඟුරු, සුදු ලූනූ පේස්ට් තේ හැන්දක්

කොත්තමල්ලි කොළ මිටක්

බැදගත් කජු

සිහින්ව කපා බැදගත් ලූනූ ගෙඩියක්

ගී තේ හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

 

ඉඳිආප්ප පොඩියට කඩා ෆ්‍රෙෂ් මිල්ක් ඉඳි ආප්පවලට ඉස පැත්තකින් තබා ගන්න. පෑන් එකක් ලිප තබා ගී එක් කර රත් වෙන්න තබා එයට ඉඳි ආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ලූනූ හැර අනික් සියල්ල එකතු කරන්න. සුවඳ එනතුරු තෙම්පරාදු වූ පසු එයට ඉඳිආප්ප එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් කජු, ලූනූ සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

 

 

ඉඳිආප්ප පිලාව්

අවශ්‍ය ද්‍රව්‍ය

 

කෑලි කඩා ගත් ඉඳිආප්ප 30ක් විතර

හීනියට කපාගත් කැරට් ගෙඩි 2ක්

හීනියට කපා ගත් ලීක්ස්

සිහින්ව කැපූ ලොකු ලූනූ ගෙඩියක්

කටු ඉවත් කර තම්බා ගත් චිකන් ග්‍රෑම් 200ක් (චිකන් ස්ටොක් එක තබා ගන්න)

කුරුඳු ස්වල්පයක්

කරදමුංගු ස්වල්පයක්

කරාබු නැටි ස්වල්පයක්

කරපිංචා හා රම්පේ

තලා ගත් ඉඟුරු ස්වල්පයක්

තලා ගත් සුදු ලූනූ බික් 3ක්

ලුණු හා ගම්මිරිස්

මුද්දරස්පලම් ටිකක්

බැදගත් ලූනූ

බැදගත් කජු

තම්බා ගත් බිත්තර 2ක්

කොත්තමල්ලි කොළ

පෑන් එක ලිපේ රත්වන විට කරදමුංගු කරාබු නැටි, කරපිංචා, රම්පේ දමා කලවම් කර එයටම කුකුළු මස් එක් කර මඳක් බැදෙන්න හරින්න. පසුව ඉඟුරු, සුදු ලූනූ දමා තෙම්පරාදු වූ පසු මුලින්ම කැරට් සහ පසුව ලූනූ දමා හැඳි ගා එයට ලීක්ස් සහ ඉතුරු කළමණා ද එක් කරගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර චිකන් ස්ටොක් ටිකක් ඉඳිආප්ප වලට දමා කලවම් කරන්න. එළවළු මිශ්‍රණයට ඉඳිආප්ප එකතු කර හොඳින් කලවම් කරන්න. ලිපෙන් බා මුද්දරස්පලම්, බැද ගත් ලූනූ ද එක් කර බෝල් එකකට දමා පෙති කපා ගත් බිත්තර සහ කොත්තමල්ලිවලින් සරසා පිළිගන්වන්න.

 

 

ඉඳිආප්ප වැලිතලප

අවශ්‍ය ද්‍රව්‍ය

රතු ඉඳිආප්ප 20ක් පමණ

සීනි ග්‍රෑම් 200ක්

පැණි කෝප්ප 3/4ක්

තලා ගත් එනසාල්, කරාබුනැටි කිහිපයක්

පොල් කිරි ටිකක්

ලුණු

 

ඉඳිආප්ප හොඳින් පොඩි කර එයට පොල්කිරි එක් කර බෙරි නොවන සේ කලවම් කරගන්න. වෙනත් භාජනයක් ලිපේ තබා පැණි සහ සීනි එකතු කරගන්න. පැණි උතුරන විට ඉඳිආප්ප එකතු කර හොඳින් කලවම් කරන්න. එයට එනසාල් කරාබුනැටි හා කැමති නම් වැනිලා ටිකකුත් දමා මඳ වේලාවක් ලිපේ තබා ලුණු එක් කර ලිපෙන් බා බටර් ස්වල්පයක් තැවැරු ට්‍රේ එකකට සෑදූ මිශ්‍රණය දමා තුනී කර කෑලි කපාගන්න.

 

පාට පාට ඉඳිආප්ප

 අවශ්‍ය ද්‍රව්‍ය

තැඹිලි පාට - අමුවෙන් බ්ලෙන්ඩ් කළ කැරට් යුෂ

රතු පාට - බීට් රූට් තැම්බූ වතුර සහ බීට් රූට් කෑලි දමා

බ්ලෙන්ඩ් කර ගත් යුෂ

කොළ පාට - උණු වතුරේ දමා මඳ වේලාවක් තබා

බ්ලෙන්ඩ් කළ නිවිති කොළ යුෂ

දම් පාට - බ්ලෙන්ඩ් කරගත් දම් අල යුෂ

 

සාමාන්‍ය පරිදි සකසා ගන්නා ඉඳිආප්ප මිශ්‍රණයට වතුර වෙනුවට තමන්ට අවශ්‍ය වර්ණයට අදාළ යුෂ එක් කර ඉඳිආප්ප මිශ්‍රණය සාදා ගන්න.

 

Comments