වන මැද හමු වූ මිනිස් ආත්මය | සිළුමිණ

වන මැද හමු වූ මිනිස් ආත්මය

ග්‍රන්ථය - ගස් හිටවූ මිනිසා

පරිවර්තක - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

සේරි ප්‍රකාශනයකි

මිල රු. 300

විමසීම් 011 2889381

“විශේෂයෙන්ම අභ්‍යන්තර සංහිඳියාව විසින් මෙම මහල්ලාට මනා සෞඛ්‍යයක් පුද කර ඇත්තේ ය. මේ මනුෂ්‍යයා දෙවියන්ගේ මලල ක්‍රීඩකයෙකි. ඔහු තව කොපමණ හෙක්ටෙයාර් ගණනක් වෘක්ෂයන්ගෙන් අාවරණය කරති දැයි මම කල්පනා කළෙමි.”

එය අපුරු වෘතාන්තයකි. ප්‍රංශ ලේඛකයෙකු විසින් ලියන ලද්දකි. මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් අතින් සිංහලට පරිවර්තනය වුවකි. පරිවර්තක හිමි පවසන ආකාරයට එම කෘතිය, “මසිත බෙහෙවින් සංහිඳියාව කරා මෙහෙය වූ පොත් පිංචකි.” තවද එක්තරා කාලයක සොබා දහම පරදවන්නට වෑයම් කළ මිනිසා අද සිය පැරදුම පිළිගෙන සොබා දහම යනු අප සැමගේ උතුම් මෑණියෝය යන හැඟීමෙන් ක්‍රියා කරන බවක් පෙනෙයි.” පඤ්ඤාවංස හිමියන් පොතේ පසුබිම හගින අයරු එසේ යැයි සිතමි. කෙසේ වුණත් මෙය හුදෙත් ගස් හිටවූ මිනිසෙකු ගැන කතා පුවතක් පමණක් නොවේ.

ෂොං ෂිඕනො විසින් ප්‍රංශ බසින් රචිත එම කෘතිය සිංහල බසට නැගී ඇත්තේ “ගස් හිටවු මිනිසා” යන හිසිනි. කතාවට අනුව කථකයා වන තරුණ මිනිසා යන ඒ ගමන අනාගතයේ ඒ පාරිසරික ඛේදවාචකය රූපකාර්ථයට නැගුවාක් මෙනි. එය මෙසේ ය. “

දින තුනක ගමනකින් අනතුරුව වචනයෙන් විස්තර කළ නොහැකි මහා පාළු පෙදෙසකට මම අවතීර්ණ වීමි. මිනිසුන් විසින් අත් හැර දමන ලද ඇටසැකිලලකට උපමා කළ හැකි ගම්මානයක් ආසන්නයේ මම මගේ කූඩාරම ගසා ගතිමි. ....ගරා වැටුණු අත්හැර දමන ලද බඹර කූඩුවක් හා සමාන ගෙවල් අසල දිය හිඳුන ළිඳක් හෝ දිය උල්පතක් පවතින්නට ඇතැයි යන සිතිවිල්ල සිතට ආවේය. වහල ගැලවී ගිය, වැස්සෙන් සහ සුළඟින් හානියට පත් ගෙවල් පහක් ඝණ්ටාරය කඩා වැටුණ කුඩා පල්ලිය සජීවි ගමක පවතින ආකාරයෙන් එක සමාන්තරව පැවතියේය. එහෙත් සියලු ජීවයක්ම එතැනින් අතුරුදහන් වී තිබුණි.”

එහෙත් සිය කූඩාරම එතැනින් ගලවාගෙන තවදුරටත් ඉදිරියට යන්නට කථකයා තීරණ කරයි. හමා එන ප්‍රචණ්ඩකාරී සුළඟට ඔරොත්තු දිමට නොහැකි වීමත්, දින දෙකක පමණ කාලයක සිට වතුර පොදෙක් නොලැබ ආ ගමනේ දීත්, නවාතැන් ගැනීමට සිතූ මෙතැනදීත් ඒ බලාපොරොත්තුව ඉටු නොවීමත් ඊට හේතු වු බව පැහැදිලිය.

ඒත් සමඟම ඉදිරියේ දී හමු වීමට නියමිත තවත් දිළිඳු ගම්මාන දෙකක් පිළිබඳ විස්තරයක් කථකයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඒ පාරිසරික ව්‍යසනය හා බැඳුන මානව ක්‍රියාකාරකම්හි විකෘතියක් ලෙසින් යැයි සිතමි. ඊට අනුව එගම් වැසියන් “පොදුවේ කිසිම හේතුවක් නොමැතිව එකිනෙකා හා ගැටෙයි. ඒ සියල්ලටම වැඩියෙන් සැඩ සුළඟක් අතොරක් නොමැතිව එක දිගට හමමින් ස්නායු පද්ධතිය ම කුපිත කරවයි. දිවි නසා ගැනීම වසංගත ආකාරයෙන් පැතිරෙයි. ඉතාම දරුණු උමතු ක්‍රියාකාරකම් සිදුවන අතර බොහෝ විට ඒවා මරණයෙන් කෙළවර වෙයි.”

ගස් හිටවන මිනිසා ඔහුට හමුවන්නේ එවැනි පසුබිමක ය. එහෙත් ඔහු වනාහි පුද්ගල හැසිරීමකට එහා ගිය වෙනම ආකාරයේ “කියවීමක්” යැයි සිතෙයි. එසේ එය ගැනීම ද වැදගත් වෙයි. ඒ අනුව මුල දී ගොපල්ලෙකු වශයෙන් හමුවන ඒ මිනිසා සිය ජීවිත කාලයෙන් අඩ සිය වසක් ගෙවා සිටියේය. ඔහු කතා කළේ අතිශයින් අවම අයුරිනි. කාලයත් සමඟ ඔහුට සාමාන්‍ය මිනිසුන් කතා කරන්නා වූ දෙඩුම් අමතක වී ඇතැයි යන හැඟීමක් ධ්වනිත වන්නේ ය. එහෙත් ඒ නිකම්ම නොවේ. ඔහු මනා ඉවසීමකින් යුතුව මහා කාර්යභාරයක නිරතව සිටී. ඒ පසුබිමේ නිකරුණේ දොඩවමින් කටයුතු කරන මිනිසුන්ගේ දොඩමලු ජීවිත කොයි තරම් නම් වැඩකට නැති පැවැත්මක් දැයි තියුණු ලෙස ප්‍රත්‍යක්ෂ වෙයි.

ගස් හිටවන මිනිසා ඒ ආකාරයට භාවනායෝගී අත්දැකීමක් හා සම වෙයි. සම්මා සමාධිගතව ප්‍රත්‍යක්ෂ කරගත යුතු ක්‍රියාකාරී අවබෝධයක් ද ඒත් සමඟම නිර්මාණය වෙයි.

“මෙම අති විශේෂ චරිතය පිළිබඳ යම් නිශ්චිත අවබෝධයක් ඇති කරගනු ඇවැසි නම් ඔහු පූර්ණ නිහැඬියාවක සිටිමින් සිය කාරියෙහි යෙදෙතියි යන කාරණය අප විසින් විශේෂයෙන් සිහිකරගත යුතු වෙයි. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහුගේ කතා කිරීමේ පුරුද්ද ඔහු වෙතින් බැහැර විය. බාගවිට ඔහු කතා කිරීමෙන් කුමන පලයක් දැයි සිතුවා වන්නට නොහැකි ද?”

අප මුලදීත් කී ආකාරයට මෙය හුදෙක් මනුෂ්‍යයෙකු පිළිබඳ කතා පුවතක් ලෙසින් පමණක් ගන්නවාට වඩා මනුෂ්‍යයා සහ පෘථිවි පැවැත්ම අතර පැවතිය යුතු අධ්‍යාත්මය විමසන භාවනායෝගි අත්දැකීමක් නොවන්නේ දැයි විමසීම වටී.

 

Comments