පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

ප්‍රවීණ, ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ කෘති හඳුන්වා දීම සඳහා මෙම ඉඩ වෙන්කර අැත. ඔබේ කෘති අප වෙත යොමු කළ හැකිය.

පොත් පුවත්

සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

කෘතිය - සොඳුරු කල්පිතයක්

කර්තෘ - අරියල් ජයසේකර

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

මිල - රුපියල් 350

පිටු - 276

සොඳුරු කල්පිතයක් කෘතිය විද්‍යා ප්‍රබන්ධයකි. වෛද්‍ය විද්‍යාවේ සහ සංගීතයේ මුලාශ්‍රයන් ඇසුරෙන් මෙම නවකතාව නිර්මාණය කර ඇත. පිරිත් සජ්ඣායනයෙන්, මන්ත්‍ර ජප කිරීමෙන්, වසංගත රෝග, ලෙඩ රෝග සුව කළ හැකිද යන ප්‍රශ්නය මතුකරමින් විද්‍යාත්මකව ඒවා විග්‍රහ කිරීමක් ද සොඳුරු කල්පිතයක් විද්‍යාත්මක ප්‍රබන්ධයේදී පාඨකයාට අත්විඳිය හැකිය. කතුවරයා වන අරියල් ජයසේකර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

-----------------

කෘතිය - විදු ඇස් පාදන බුදු රැස්

කර්තෘ- චාමික මුණසිංහ

ප්‍රකාශක- සාහිත පොත් පියස

මිල - රුපියල් 550

පිටු - 335

බුදු දහම, බෞද්ධ දර්ශනය පිළිබඳ බොහෝ පොත පත ලියා ඇති චාමික මුණසිංහයන් විදු ඇස් පාදන බුදුරැස් කෘතිය වෙනස්ම මඟක් ගෙන ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසුරෙන් වර්තමානයේ මෙන්ම මීට කලකට පෙර රට තුළ ලොව තුළ සිදු වූ ව්‍යසන ගෙන හැර දක්වමින් ඒ පිළිබඳ විද්‍යාත්මකව විමසමින් මෙන්ම බුදු දහම ඇසුරින් කරුණූ සනාථ කරමින් මෙම කෘතිය ලියා ඇත.

----------

කෘතිය - තත්තකාර

කර්තෘ - තනුජා ලුම්බිණි තඹවිට

ප්‍රකාශක - සයුර ප්‍රකාශනයකි.

මිල - රුපියල් 500

පිටු - 160

 

මාධ්‍යවේදිනියක, කිවිඳියක වන තනුජා ගේ පළමු නවකතාව මෙය වේ. ඇය මින් පෙර තෙත සුළං අහුරක්, දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද යන කාව්‍ය සංග්‍රහ දෙකක් ද පළකර ඇත.

ගහට කොළට පෙම්බැද මිනිසෙකු කැලෑ පරිසරයක ජීවිතය පටන් ගෙන එය සරුසාර ගම්මානයක් බවට පත් කළ අයුරුත් සිය බිරිඳට දියණියට හා මිනිබිරියට මෙන්ම මහ පොළොවට, ගහට කොළට පරිසරයට ආදරය කරන, ඒ පරිසරය හා තම දුක සතුට බෙදා ගන්නා මිනිසෙකුගේ ජීවිත කතාව තත්තකාර තුළින් ඇය ඔබට කියයි.

------------------

කෘතිය - සරණාගතයෝ

අනුවාදය - බොබී. බී බොතේජු

ප්‍රකාශක- සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

මිල- රුපියල් 600

පිටු - 240

ඉන්දීය ලේඛක ගොපාල් ගාන්ධි විසින් ලියන ලද RFUGE නවකතාව සරණාගතයෝ නමින් ප්‍රවීණ ලේඛක බොබී. බී. බොතේජු විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. ඉංග්‍රීසින් විසින් වතුකරයේ වැඩට ඉන්දියාවෙන් දෙමළ ජනතාව මෙරටට ගෙන්වා පදිංචි කිරීමත් එසේ පැමිණි දෙමළ ජනයා ගෙවූ පීඩිත ජීවිතයත්, සුදු ජාතිකයන් ගත කළ සුඛෝපභෝගී ජීවිතයත් පිළිබඳ මේ නවකතාවට තේමාව වී ඇත.

----------

කෘතිය - මගේ පුතා ඉහළම තැනක

කර්තෘ - එම්. බෙනට්

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

මිල - රුපියල් 450

පිටු -160

 

මගේ පුතා ඉහළම තැනක කෙටි කතා සංග්‍රහයට ලේඛකයන් තිදෙනෙකුගේ කතා ඇතුළත්ය. මේ ලේඛකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් වසර ගණනාවක් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේ රාජකාරිය කිරීමය. එම්. බෙනට්, ඒ.ඩී. ජයවීර හා දයානන්ද ගලප්පත්ති යන තිදෙනා තම සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් හා ජීවිතයේ විවිධ අවස්ථාවල ලද අත්දැකීම් ඇසුරෙන් මෙම කතා නිර්මාණය කර ඇත.

----------

කෘතිය- සමුගැනීමත් මරණයක්

කර්තෘ- නිරෝෂිණි ගුණසේකර

ප්‍රකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික)

මිල - රුපියල් 450 පිටු - 160

සමුගැන්ම මරණයක් නොවේ කතාව ප්‍රංශයත් ලංකාවත් පසුබිම් කරගෙන ශ්‍රි ලාංකික ගැහැනියකගේ ජීවිතය පසුබිම් කරගෙන ලියැවුණ කතාවකි. යොවුන් වියේදීම ජීවිතය වරද්දාගත් ඇය අවසානයේ නතර වන්නේ ප්‍රංශයට ගොස්ය. විටෙක ආදරයෙන් දිනමින් තව විටෙක ආදරයෙන් පරාජය වෙමින් අසීරු ජීවිතයක් ගත කරන මාලා නම් ගැහැනියට අවසානයේ සැබෑ ආදරය හමුවේද? ඒ සමුගැනිමත් මරණයක් නවකතාව ලියමින් නිරෝෂා ගුණසේකර අපට මතුකරන ප්‍රශ්නයයි.

-------------

කෘතිය - වැන්ග්‍රා හිල්ස් / 21

කර්තෘ - දමයන්ති ගල්පායගේ

ප්‍රකාශක - සක්නද පබ්ලිකේෂන්

මිල - රුපියල් 500

පිටු - 120

ප්‍රකට කිවිදියක වන දමයන්ති ගල්පායගේ ප්‍රථම නවකතාව වැන්ග්‍රා හිල්ස් / 21 නමින් පසුගියදා එළිදැක්විණි. අද සමාජයේ මහා උවදුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැඳුණු තවත් කතා පසුබිම් කරගෙන ලියැවි ඇති මෙම නවකතාව රහස් පරීක්ෂක කතාවකි. එමෙන්ම මෙහි යම් ගුප්ත බවක් ද ඇත. මෙම කෘතිය ලේඛිකාවගේ පළමු නවකතාව වුවද කතා කලාවේ බුහුටි කමක් දක්වන ඇය පාඨකයා තම කතාව තුළ රදවා ගැන්මට සමත් වී ඇත.

 

--------------

කෘතිය - ගෝඨාභය ආගමනය (විජයග්‍රහණය පෙළගැස්ම)

කර්තෘ - මාධව මිහිඳුකුල

ප්‍රකාශක-පෙරඹර ප්‍රකාශනයකි

මිල - රුපියල් 600

පිටු - 126

 

රටේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉහළ ජනවරමක් ලබා රටේ නායකත්වයට පැමිණිම දක්වා පසුබිම් වී ඇති කතාව මෙන්ම ඒ වටපිටාවේදි මුහුණ දෙන්නට වූ අභියෝගයන්, මාධ්‍ය හැසිරීම ආදී වූ බොහෝ තොරතුරු මෙම කෘතියේ අඩංගු වේ. කිහිප වරක්ම කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීම, තවත් විටෙක කොටි ඩයස්පෝරාව ගෝඨාභය රාජපක්ෂ අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යෑමට උත්සාහ දැරීම, එය ව්‍යර්ථ වීම ආදී කරුණු රාශියක් මෙම කෘතියේ අඩංගු වේ.

Comments