ගන්ධබ්බයා | සිළුමිණ

ගන්ධබ්බයා

පෙරහැර සොහොන් පිටියට පිවිසෙනු සමගම, මෙතෙක් එහි තැන් තැන්වල රැඳී සි‍ටියෝ කලබල වන්නට වූහ. මගේ දූ දරුවෝ, හඬමින්ද වැලපෙමින්ද අවමංගල රිය පිරිවරාගෙන එන අයුරු මට පෙනිණි. මගේ ජීවිතයේ අවසන් සමයේදී, නිකමටවත් මා බලන්නට නො ආ මගේ දරුවන්, කිඹුල් කඳුළු සලන්නේ රැස්ව සිටින පිරිස් රවටන්නට විය යුතුය. නොඑසේනම්, ලේ කිරි කර පොවා තමන් හදා වැඩූ ආදරණීය මෑණියන්ට, ඇයගේ ජීවිතයේ අවසන් සමයේදී නොසලකා හැර, වැඩිහිටි නිවාසයක හුදකලාව රැඳී සිට අවසන් ගමන් යන්නට වීමේ ශෝකය නිසාද?

සියලුම දරුවන් විසින් ප්‍රතික්ෂේප කර, එලෙස අසරණව මිය යෑමට සිදු වුවද, මා තුළ ඔවුන් කෙරෙහි කිසිදු වෛරයක් හට නොගනී. අප අතර කුමක් සිදුවුවද, ඔවුන් මගේම දරුවන්ය. ජීවිතයේ අවසන් යුගයේදී, දරුවන් වෙතින් ආදර සංග්‍රහ ලැබීමට තරම් මට වාසනාවක් නොවූවා සේය. මා බඳුම වැඩිහිටි නිවාසවලදී මියයන්නට සිදුවූ මවුවරුන් තවත් බොහෝ දෙනෙකු සිටිනු විය යුතුයැයි මට සිතිණි.

ආගමික කටයුතු සිදු කෙරෙන්නේ සුසාන භූමියේම බව මට වැටහුණේය. කැන්වස් රෙද්දකින් ආවරණය කෙරුණු බිම් කඩක, සුදු තිර සහිත පුටු කීපයක්ද, ඒ ඉදිරියේ මේසයක් මත බීම බෝතල් කීපයක්, වීදුරුද, දැහැත් වට්ටි දෙකක් ද සූදානම්ව තිබිණි. එහෙත් ආදාහනය සඳහා අත්‍යවශ්‍යවූ දර සෑයක් කොතැනකවත් නුදුටු මම විපිළිසරව ඒ මේ අත බලන්නට වීමි.

ආදාහනය කරනවාය කියනවා ඇහුණට වළලනවාද දන්නෑ. පොඩි පුතාලා කැමති නෑ රබර් ගස් කපනවාට, මා එසේ සිතන්නට වූවේ බොහෝ දුකිනි.

ලොකුම රබර් වත්ත එයාගෙ නමට ලියනකොට, අපි දෙන්නාම කතා වුණේ කවදාහරි අපි මළදාක දරසෑය හදන්න රබර් ගස් ඕනෑ නේද කියලා.

සුසාන භූමිය පුරාම බලවත් ඕනෑකමකින් බැලුවද අලුත කැපූ මිනී වළක් හෝ දැකිය නොහැකි වූ මගේ දෙනෙත් හදිස්සියේම යොමු වූයේ, පිට්ටනිය කෙළවර වූ විශාල සතරැස් ගොඩනැගිල්ලක් වෙතය. කලින් එබඳු ගොඩනැගිල්ලක් එහි නොවූ බව සිහිපත් වූ මට, එය මෑතක තනවන ලද්දක් විය යුතු බව අවබෝධ විය. එම ගොඩනැගිල්ලේ උස් වහලෙන් ඉහළට වූයේ දුම් බටයකි.

අනේ‍ දෙවියනේ, දරුවෝ හත් අට දෙනෙක් මේ ලෝකෙට ගෙනැල්ලා හදා වඩා ගත්තු අම්මාට අන්තිමට දරුවෝ දීලා තියෙන්නේ හතර රියනක් විතරයි” ශෝකය, ලැජ්ජාව ආත්මානුකම්පාව මගේ සිත තුළ තෙරපෙන්නේ, දෑස කඳුළින් පිරී යන අතරය. අරලිය ගස මුල සිටින කාන්තාවන් කීපදෙනෙකු, ඔවුනොවුන් හා කතා බහ කරනු මට ඇසේ.

“සෑහෙන සෙනඟක් ඇවිත්. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ආදාහනයටවත් නෑ මෙහෙම සෙනඟක් ආ‍ෙව්”

“පුදුමයක්යැ - දරුවෝ අටදෙනෙක්නෙ - ඒගොල්ලන් වැඩකරන තැන්වල සෙනඟයි, නෑදෑ හිතේසිවන්තයොයි, ගමේ සෙනඟයි පිරුණාම මේ පිට්ටනිය ඇතැයි”

ආගමික වතාවත් ආරම්භ වීමත් සමඟම, කාගේත් කතා බහ මොහොතකට නැවතිණ. එහෙත් ගුණානුස්මරණ දේශනා ඇරඹෙනු සමඟම ඔවුහු යළිත් දොඩමළු වන්නට වූහ.

“සමරසිංහ හාමිනේ දූ දරුවන් අට දෙනෙකුගේ මාතාවක්. දරුවන් හැමදෙනාම සමාජයේ ඉහළ තනතුරු දරන උදවිය. මේ රැස්වෙලා ඉන්න මහ සෙනඟින්ම පේනවා, මේ මාතාවගේ වැදගත්කම. මේ වගේ උගත්, ගුණවත්, දෙමාපියන්ට ආදරය දක්වන දූ දරු පිරිසකට අම්මා කෙනෙක් වෙන්න, සමරසිංහ හාමිනේ බොහෝම පින්කරලා තියෙනවා.”

ස්වාමින් වහන්සේ එසේ පවසනු සමඟම, අසල රැඳී සිටින කාන්තාවක් නැවත කතා කරන්න විය.

“මවුපියන්ට නම් බොහෝම ආදරේ දූ දරුවො තමයි” ඔවුහු සිනාසෙන්නට වූහ.

“ඒ නිසා නොවෙන්නම් අම්මා වැඩිහිටි නිවාසෙක මැරෙන්න ඇරලා තියෙන්නෙ.”

“අර මිනිය ගෙනාපු කාර් ‍එකේ ඩ්‍රැයිවර් කියලා තියෙන්නේ. ඒ මිනිහා නිවාසෙ ඉඳලා මල් ශාලාවට මිනිය ගෙනැත්, ඊට පස්සෙ මෙහෙට අරගෙන ආවාය කියලා.”

“අනේ, ඒ මිනිහා පුදුම වුනාලු මේ වගේ ලොකු තැනක අම්මා කෙනෙක්ව නිවාසෙක ගිහින් දාපු එක ගැන”

“මදැයි, දොස්තරලා, ඉංජිනේරුවෝ, පෙරකදෝරුවේ, ගුරුවරියෝ දරුවෝ”

“දරුවෝ ‍‍ලොකු රස්සාවල බව හැබෑව - ඒත් එක මනුස්සයෙක් වත් ඒ දරුවෝ අතර නෑ.”

ගමේ කාන්තාවක් ‍එලෙස කතාබහ කරනු අසන විට ඇති වන්නේ මහත් ශෝකයකි.

“දෙයියනේ, මේ කතාවල් පැතිරිලා ගියාම, මගේ දරුවෝ පාරේ බැහැලා යන්නේ කොහොමද? මම හිතුවාට කවුරුත් දන්නේ නෑ කියලා - අර ඩ්‍රැයිවර් ඒ කතාව ගමේ මිනිස්සුත් එක්ක කියලා.”

“මේ දරුවෝ හැමදෙනාටම ඕනෑ වුණා අම්මාව අවසන් කාලෙදි තමන් ළඟම තියාගන්න. අක්කා ඇවිත් අම්මාව අරගෙන ගිය දවසෙ, මේ මහගෙදර පදිංචි බාල පුතා, අපේ පෙරකදෝරු මහත්තයා, මොන තරමට ඇඬුවාය කියනවාද අන්තිමට බාලදුවගෙ ගෙදරදි නැතිවුණේ” ස්වාමීන් වහන්සේ එසේ පවසනු සමගම, මා තුළ ඇතිවූයේ කලකිරීම හා වේදනාව මුසු හැඟීමකි. උන්වහන්සේ සිදුවී ඇති සියල්ල නිසිලෙස නොදැන එලෙස පැවසීම ගැන මම බෙහෙවින් නොසන්සුන් විමි.

“නෑ නෑ හාමුදුරුවනේ, ඒක එහෙම නෙවෙයි වුණේ. මම ටික දවසක් ඉන්නකොට මට සාත්තු සප්පායම් කරන්න හිටියාම එයාට වැඩට යන්න පරක්කු වෙනවාය කියලා දුව නහයෙන් අඬන්න වුණා. බෑණාටත් කේන්ති ගියා. ඒ අතරට මල්ලිට ගමේ දේපළ වැඩියෙන් දුන්නාය කියලා කියන්නත් පටන් ගත්තා. මල්ලිගෙ නෝනා මම ඉන්නවාට අකැමැති වුණු නිසා එයාට මාව තියාගන්න වුණාය කියලා නෝක්කඩු කිව්වා. ඒ නිසයි මම වැඩිහිටි නිවාසෙට ගියේ. දූ දරුවෝ කවුරුත් ඒකට විරුද්ධ වුණේ නෑ. මම මැරුණේ ඒ නිවාසෙදි.”

මා එලෙස පවසමින් හඬා වැටෙන්නට වූ මුත්, අවට කිසිවෙකුටවත් ඒ විලාපය ඇසුණේවත් නැති තරම්ය.

“හැමෝම නිකම් බොරු කියලා පව්පුරවා ගන්නවා, “මා තුළ ශෝකයටත් වඩා කලකිරීමක් ඇතිවූයේ නිතැතිනි.

“මේ වගේ මහ සෙනග නො ආවාට, සමරසිංහ රාළහාමිගේ මරණ කටයුතු බොහොම හොඳට කෙරුණා. ඒකටත් එක්ක මේක.” කිසිවෙකු කෝපය මුසු හඬකින් පවසනු ඇසුණු මා තුළ ඇති වූයේ බලවත් කලකිරීමකි.

“බදුල්ලෙ ඉඳල මිනිය ගෙනාවෙ ඊයේ. ලොකු පුතා හෙට රට යන නිසා කලබලේට අදට තියාගත්තෙ. ගමේ කොල්ලෝ දරසෑයක් හදන්න ලෑස්ති වුණාම එපාය කිව්වාලු. මහ රබර් වත්තේ මිනී පුච්චන එක හොඳ නෑ කිව්වාලු කිරිකපන නිසා”

“මොනවා!” මම බලවත් ලෙස විමතියට පත්වූයෙමි.

“තාත්තාව ආදාහනේ කරෙත් ඒ රබර් වත්තෙම නේන්නම්. තාමත් ඒකෙ කිරි කපනවා. අනේ මගේ දරුවෝ!” දෑස් කඳුළින් පිරීයන්නට විය.

“ආද­ාහනාගාරේ කටයුතු කරාම හොඳයි කියල පෙරකදෝරු මහත්තයා කිව්වාලු. ආදාහනාගාර හොඳයි ටවුන්වල ආතක් පාතක් නැති, දරසෑයවල් හදන්න ගස් කොලන් නැති මිනිස්සුන්ට. මේ අපේ ගමේ යොදුන් ගාණක් රබර් වතු තියෙන මිනිස්සු.”

“මොනවා! ආදාහනාගාර කිව්වා” මම බෙහෙවින්ම කැළඹීමට පත්ව, ඒ මේ අත බලන්නට වීමි. හදිසියේම මගේ දෙනෙත් රැඳුණේ සොහොන් පිටියේ එහා කෙළවරවූ හතරැස් හැඩයක් ඇති ගොඩනැගිල්ල වෙතය. “ආ! එහෙනම් මේක වෙන්න ඇති ආදාහනාගාරය!”

උත්සව සභාවේ වැඩ කටයුතු අවසන්ව මෘත දේහය ආදාහනාගාරයට ඔසවාගෙන ගෙන යද්දී, මම ද එහි ළඟාවීමි. මගේ දියණියන් මහ හඬින් වැලපෙමින්, එහි ගියේ කඳුළු සලමිනි.

“අනේ දරුවනේ, උඹලා අඬන්න එපා. අම්මා උඹලා කා එක්කවත් තරහා නෑ” මා හඬා වැටුණේ දරු දුක නිසාමය. මා කවදත් දරුවන්ගේ කඳුළු දකින්නට අකැමැතිය.

දේහය, කුඩා කවුළුවකින් ඇතුළට තල්ලු කරනු බලා සිටි මම හඬනගා කෑගසන්නට වීමි. මිනී පෙට්ටිය එහි තැන්පත් කළ සැණින් මගේ දරුවෝ ගොඩනැගිල්ල වටා වූ කොරිඩෝව වටා හඬමින් ඇවිදින්නට වූහ. කීපදෙනෙකු අනෙක් පසෙක වූ විවරයකින් එබී බලනු දුටු මම, වහා එතැනට ළඟාවීමි.

“හත්දෙයියනේ! මට මේ තරම් දැන උගත් දරුවෝ ඉඳිද්දී වැඩිහිටි නිවාසෙක මැරෙන්න වුණා වගේම, මැරුණට පස්සෙ අර පෝරණුවට.....” මා එසේ කියමින් හඬන්නට වූ මුත්, අවට කිසිවෙකුට එය නෑසිනි.

මගේ දුවලා මේ තරම් දුකෙන් අඬා වැටුණෙ, අම්මාගෙ මිනිය මෙහෙම පුච්චන නිසා වෙන්න ඇති. මේක මගේ දරුවන්ගෙ වැඩක් වෙන්න බෑ. මේක බාල පුතාගේ නෝන‍ාගෙ වැඩක් වෙන්න ඕනෑ.

“මම මහගෙදර ඉන්නවාට එයා කැමති වුණේ නෑ. ඒ පවුලේ මම නිසා ආරවුල් වෙන්නෙ මොකටද කියලා මම මහගෙදරින් යන්න ගියේ.”

වටින් ගොඩින් අඳුරු වැටෙමින් තිබිණ. සොහොනට රැස්ව සිටි පිරිස ආපසු නික්ම යන්නට විය.

“අනේ මගේ දරුවෝ ගෙදර ගිහින් තැන් තැන් වලට වෙලා තාමත් අඬනවා ඇති” දරු සෙනෙහස නිසා සිත තුළ ඇති වූයේ බලවත් ශෝකයකි.

“ගෙදර ගිහින් බලන්න ඕනෑ!” සිතට නැගුණේ පුදුමාකාර නොඉවසිලිමත් බවකි. වහා එහි ගොස් ඔවුන්ගේ කඳුළු පිසදමා ඔවුන් සැනසිය යුතුය.

මා මගේ නිවසට පිවිසියේ බලවත් ලෙස විමතියට පත් වෙමිනි. මා මේ පැමිණ සිටින්නේ මගේ නිවසටද?

සාලයේ එක් කෙළවරක, මේසයක් මත, සුවඳ හමන, රස මසවුළු සහිත බඳුන් රැසකි. බොහෝ දෙන, මා වෙනුවෙන් පිළියෙල වූ මළබත අනුභව කරමින් සිටිති. සාලයට යාබද කාමරයේ මගේ ලොකු පුතා, සිය හිතවතුන් පිරිවරාගෙන වෙනම සාදයකි. එහි මේසයක් මත, රටබීම බෝතල් කීපයකි. උස්හඬින් නැගෙන සිනාවකින් විමතියට පත් මම, ආපසු හැරී බැලුවෙමි. දියණියන් දෙදෙනෙකු, හිතවතියන් පිරිවරාගෙන සිනාසෙනු දුටු මා තුළ වූයේ මහත් කලකිරීමක් හා ශෝකයකි.

“මොනවා! හැබෑටම මේ කැකිරි පලන්නේ දැන් ටිකකට කලින් සොහොන් පිට්ටනිය දෙවනත් වෙන්න විලාප දීලා අඬාපු දරුවෝ නේද?” එය මට අදහාගත නොහැකි පමණ විය.

තවත් මෙහි සිටීමෙන් පලක් නැත. මගේ දරුවන් අම්මා අහිමි වීමෙන් ශෝක නොවන බව අවබෝධ වීම මගේ සිතට සැනසීමකි.

Comments