කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ආදරේද මෙතරම්

මුරණ්ඩු මගෙ හිත විලංගු නොදමා
ඔබ පෙම් කරන තරම්
මියදෙන වසන්ත කාලය දැක දැක
ඔබ දුක් විදින තරම්
අදහන්නත් බෑ ඔබ මා ඇත් හැර
මාගෙන් ඈතට නොයන තරම්
මේ තරමට මට ආදරෙ ඇයි දැයි
කියලා දෙන්න ඉතින්....

ඇස්වල බේරෙන ඔබේ සොදුරු බව
මට නොපෙනෙනව නෙවේ
හද තුළ තෙරපෙන ආදර හැඟුමට
මට නොදැනෙනව නොවේ
කියා ගන්න බැරි සිත තුළ ආලය
මම නොකියනව නොවේ...

දරා ගන්න බැරි ඔබගෙන් වෙන් වී
දවසක යන්නම වේ
කඳුළැල් ගලනා නෙත් යුග සඟවා
මා දෙස බලන ඔයා
කිසිවක් නොවනා විලසින් ඉන්නේ
කෙලෙසද කියන් ඔයා
දවසක තනි වී මාගෙන් වෙන් වී
ජීවිත කාලෙ පුරා
මතකෙන් තනි වී මැරි මැරි නොමැරී
ජීවත් වෙන්න එපා

සංජීව විජේසිංහ

----------------

මා සමුගන්නෙමි

 

සුදුමල් පියලිය විසිරුණු මාවත
දෙපිය නගා යන්නට බැරිනම්...

ඒ මල් මාවත දෙපස පිපී ඇති
මල් සුවඳින් මා සැනසෙන්නම්...

සීතල පිරි රෑ මැදියම් යාමෙක
මැණිකෙගෙ රුව සිහිනෙන් දුටුවා
නොලැබෙන ආදරයක් වෙනුවෙන්
ඉකිබිඳිමින් දෙනයන හැඬුවා..

නෙත වැලපෙද්දී හදවත පුපුරා
උණු ලේ දහරා ගලා ගියා
ජන්මෙන් ජන්මේ බැඳි සෙනෙහස් දම
නොපෙනෙන ඈතක ඇදී ගියා
බොඳවුණු පැතුමන් මිලින වූ මල්පෙති
බොල් සුළගේ පාවී යනවා
මේ භවයේ යළි නෙත නොගැටෙන්නට
මා ඔබගෙන් සමුගෙන යනවා

වික්‍රම සෙනවිරත්න

 

----------

උද්‍යාන සිරි

සැඳෑ
කළුවර
පැතිරෙන
පෙම්වතුන්
බොඳකර
කණකොකෙක්
හඬයි
තටුසලනු
අමතක

අජිත් ලියනගේ

------------

කොත්මලේ ප්‍රේමය

වැහි නැතුව ඉකි ගහන අහසක
ලිහිණියක් මඟ බලනවා
කොත්මලේ දිය පිරී ඉතිරී
ගියපු දා සිහි කෙරෙනවා
කැඩුණු සිංහල වචන පෙරලී
ඇගේ කම්පෙති තවනවා
නුහුරු බස් තෙපලමින් උන් නුඹ
පෙම් වදන් ඉඳ ගොතනවා..

පාරමී දම් පිරූ ප්‍රේමය
පරලු වී වැටුණාට මේ බිම
නුඹේ නළලත මැදෙහි තනිවුණා
තිලකයක් නලලතෙහි නැතුවට
ප්‍රේමයේ නම් ශිලා ලිපි මත
කොටා ඉරි අතරකද නැතුවට
දිව'ග නුහුරෙන් බඳින පදවල
ප්‍රේමයක් ඉපදුණේ නොදැනම..

කොත්මලේ නිල් අහසෙ පුපුරන
ගිනි ඇවිත් ඇවිලිලා ප්‍රේමෙට
බැඳි කඩුලු තරවුණේ කොහොමද
බැඳි උන් ඒ අපේ ප්‍රේමෙට
කොත්මලේ දිය පිරී ඉතිරී
ගියේ ප්‍රේමයෙ කඳුළු බිඳුවට
පැටලෙමින් ගෙතු වදන් සිංහල
හඬද්දී කොත්මලේ දිය කඳ
වාවගනු බැරි වේදනාවට
පිරී ඉතිරිනි කඳුළු වැටි බිම

දේශෝදාර ලියනගේ

---------------

අපට වෙච්ච දේ

ගලන ගං මිටියාවතට එපිටින්
මාවතේ දුව පැන කඩුල්ලෙන්
රහසේ ආසයි යන්න පිම්මෙන්
දකින රිසියෙන් රූ සිරිය මනරම්

ගගේ දිය දහරාව ගැලුවේ සරුකර උයන්
පැලේ සිරියාව දැනුණේ රුක් හෙවණකින්
වනේ පල බර වුණේ පෙර පින් මහිමයෙන්
අපේ මේ රට දිලුණේ මිනිස් ගුණ මහිමයෙන්

සිතේ දිරි දමා හැමදේම එනතුරුම මුහුදින්
ගතේ ලෙඩ වැඩී වීම රැකුණේම පෙත්තෙන්
අත පයේ සවිය, අපේකම අලසකම ළඟ හිරවී තදින්
ගියේ සේදී රටේ පැතුමන් වනසා පරපුරක අබිමන්

ප්‍රියානි පී. රණසිංහ

 

------------

මගේ චාරිකා

නැඟෙමි වලාකුළකට
මගේ කඳුළුවලට ඉහළින් යන්නට
අවැසි නම් වැසි ඔවුනට
පොඟමි ඒවා මගේ කඳුළින....

නැඟෙමි සෛන්ධවයකු පිට
සුළඟෙහි රසය විඳින්නට
ආදරය මා පොරොත්තුව සිටින විට...

පවරමි නදියකට
ගෙන යනුව මා සයුරට
රඳවාගනිමි නෞකා මා මත....

නැඟෙමි සිහිනයකට
නැතිව පා රැඳවුම් හෝ තෝන් ලණුව
ගෙන යනුව මා හෙට වෙත....

පවරමි ගීයකට
ගැයුමට ගමන ගැන
නිශ්චල මොහොතේ සිටම

ඇල්බේනියානු කිවි Xhevahir Spahiuගේ "My Travels" පද්‍යය ඇසුරෙනි.

Xhevahir Spahiu රචකයා 1945 දී උපත ලැබීය. ඔහු 1967දී උපාධියක් ලබා ජනමාධ්‍යවේදියකු, ගුරුවරයකු, ප්‍රකාශකයකු, කවියකු හා නාට්‍යරචකයකු ලෙස කටයුතු කරයි. 1993 දී ඇල්බේනියානු කලාකරුවන්ගේ හා ලේඛකයන්ගේ සංගමයේ ලේකම්වරයා වූ හෙතෙම 1998 දී එහි සභාපති ධුරයට පත් විය.

පරිවර්තනය - දේ.වි. ගාල්ලගේ

-------------

මාවත දිගේ

අතින් අත ගෙන සෙනෙහසින්
ඉදිරියට පිය තබමු දැන්
ගල් බොරලු මඟ හැර හෙමින්
යා යුතුය සන්තෝෂයෙන්

ලැබූ සහනය මට ඔබෙන්
කියන්නට බැරිවෙයි මුවෙන්
හැරමිටිය කුමටද ඉතින්
සරණ වෙමු අල්ලා අතින්

පියසීලි විජේනායක

-------------

නොබි‍ඳුණු කිසිත් වෙද

නොබිඳුණු
තුට බි‍ඳේ
සිතිවිල ද පුපුරයි
කඩතොලු ය හද
විමන් දෙදරයි
පය තැබූ අතු බි‍ඳේ
ඇත්නම් මිහිමත
නො කැඩුණු දෙයක්
නැත එය මෙතෙක් බිහි ව
නොවේ නම් කැඩී ගොස් ය
මිහිමතින්

සුනිල් ලීවානගේ

------------

සැරයටිය...

දෑස පෙනුණත් හොඳින්
ඈත දුටුවත් හොඳින්
නොදුටු එක් දෙයක් ඇත
කුමක්දැයි යන පාර!

පෙනුණත් පාර - මට පෙන්වන්නට පාර
මෙතුවක් කලක් සසරේ හුරු කළ ආර
යවුවන වියේ සිට මගෙ දිවියම බාර
ඒ සැරයටිය වෙයි! හරිකාරිය සූර!

පාන්දර උයන‍කොට නැගී එන හිරු ගෙනෙයි
සඳ නැතත් - තරු නැතත් රෑට ලෝකය පෙනෙයි
මට වඩා ගඳ - සුවඳ - වළ - ගොඩැලි ඉව දැනෙයි
සැරයටිය යන තැනට මගේ හදවත වැනෙයි!

සතුටට හිනාවෙමි - දුක ළඟ කඳුළු බොමී
අනුනගෙ කඳුළු දුටු විගසම සසල වෙමී
නැති දේ විසිකරමි - ඇති දේ ඇහිඳ ගමී
සැරයටියත් එක්ක මේ යන ගමන යමී!

ඉදිරියේ ගැඹුර ඇත කලින් ඒ බව කියයි
කන්ද ළග ළඟ ඇතැයි කල්තියා හඬ තියයි
මේ ලොවේ කිසි කෙනකු මට ඉදිරියෙන් නොයයි
මට පාර සොයා දෙන සැරයටිය නම් ඇයයි!

සඳ කිඳුරිය ද ඇයයි - අමරා ද ඇය තමයි
තනිව නොව ගෙන ගියෙමු මා ඉපිද වූ ළමයි
පැරදුණත් මැරෙනතුරු පරාජය ජය බිමයි
සසර වසනා තුරුම “බිරිඳ” සැරයටියමයි

රටේමුල්ලේ මුදන්නායක

---------------

අපේ එක්කෙනා

දුක විඳගෙන
බර උසුලන
හිත උණූවෙන
තෙක් වෙහෙසෙන

දා බිඳුවක
බත පිසලන
ඒ බත් පිඬ
කුස පුරවන

විටෙක දුකෙන්
කඳුළු අතර
දිනෙක සතුට
උතුරා යන

මගේ රිඳුම තැවුල එක්ක
ගැටී වැටී දැවටීගෙන
දරු පැටවුන්
එක්කම හිඳ

පට සළු පිළි
ගත නොරදන
නිතර අපේ සැපම පතන
අපේ එක්කෙනා

නන්දන පලුකන්දැව

--------------

කඳුළු කැට

රන්වන් හිරු කිරණ සුදු වැලි මතට වැදී
බෙලි කටු බබළවන විට හැම මොහොතකදී
සුදුපෙන පිඬු නගා රළ එන විටදි ඇදී
රන්දම්වැල වෙරළ ලක්මව ගෙලෙහි බැඳී

රළ මත පැන දුවන්නට හෙළ දරුවන්ට
සරුංගල් යවා සුළ‍ඟේ නැළ වෙන්ට
වැලියට සැඟවිලා ගත සිත සනසන්ට
සුන්දර දසුනක්ය මෙය රට වැසියන්ට

කෙකටිය පඳුරු, පොල් ගස් මැද ක‍‍ඬොලානයි
සමගිය බලය පෙන්වන ධීවර රෑනයි
වෙරළට සිසිල කැන්දන පුන් සඳපානයි
සුන්දර වෙරළ මිහිබට සුරපුරගානයි

ජීවන සයුර තරණය ගැන සිතන්නට
රළපෙළ බිඳෙන හැටි මනසින් දකින්නට
බැරිමුත් සමුදුරට පවසක් නිවන්නට
මුහුදු වෙරළ කදිමයි පෙම් වතුන්හට

පොලිතින්, ප්ලාස්ටික්, බෝතල් පිරුණ විට
හිස්ටින්, කුණු කසළ කඳු ගොඩ ගැහෙන කොට
ගංජා, අබිං, කුඩුවල දුම දකින කොට
මේ මහ සයුර නොව නෙත්වල කඳුළු කැට

සුගතදාස කුරුවිට

------------------

මා නික්ම යමි

කවුළුවෙන් බලා
සමුදෙන හැමවිට,
මට නවතින්න'යැයි,

නොකියා කියන
නුවරක් ඇත
පටු වීථි, මාවත්
හුරු හුරුපුරුදු මුත්,
සගවා ඒ බැව්,

නන්නාදුනන සේ
සමුදිය යුතුව ඇත
මෙනුවරින් ඈතක,

මා පැමිණෙනා තුරු
මඟ නොබලන මුත්,
යායුතුම වූ,
නුවරක් ඇත
දෙපස දැල්වෙන
නියොන් එළි අතරින්,
ඇවිද යන විටක දී පවා,

මාව අදුරෙහි දැවෙන
බොහෝ කල් ඇවිද ගියමුත්
මට තවමත් නුහුරු ,

එනුවර පටු මාවතක කෙළවර
ගමනාන්තයේ හි
දොරකඩ ඇත
සුබ සිහිනයක් වත්
මට අකැප එනුවර,

මට උරුම අඩ නිද්‍රාව තුළ,
මට පෙරා ගත හැකි,
එකම සුබ සිහිනය
මෙනුවර මතකයකි
නමුත් මට පුළුවන්ද?

නොගොස්
ගමනාන්තයෙහි දොරකඩට
මේ මතක ළඟින්
බැසගන්න
මෙනුවරට පුළුවන්ද?

නටබුන් අතරින් මතුව
අතීත සෙනෙහසින්ම
නැවත මා
වැළඳගන්න
කවුලුවෙන් එබී බලා
නන්නාදුනන සේ
පසුකරමි
නැවත නැවතත්

නැවත නැවතත්
පසුකර
නික්ම යමි

අනුත්තරා කොඩිකාර

-------------------------

ඔබ සහ මම

ඔබ නිහඬය
ඒ ඔබේ හැටිය
මම කලබලය
ඒ මගේ හැටිය

මම වයස අග්ගිස්සේය
ඔබ තවම තරුණය
සිතුවිලි ආදරය තණ්හාව
මට්ටම් දෙකකය

කෙලෙසකද
එක් මඟක
එක්ව අත් බැඳ
එකට යන්නේ
විඳිමි විඳවමි
විරසකය
සඟවගමි

කඳුළු හද පතුලේ
බලා ඉමි යන්නට හැර
තනිව ඒ මඟ
නුඹට

ජගත් දම්පහලගේ

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
සිළුමිණ, කවි පිටුව,
ලේක්හවුස්, කොළඹ 10.
[email protected]

 

Comments